Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධ පූර්ව ප්‍රතිපදා

සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ලොව පහළවීම අතිශය දුර්ලභ කරුණකි. බුද්ධවංසය දෙස විමසිලිමත්ව බලන විට බුද්ධ ශූන්‍ය කල්ප වැඩි බව පැහැදිලි වෙයි. “කලෙකිනි බුදුකෙනකුන් උපදින්නේ” යනුවෙන් ලෝවැඩ සඟරා කතු හිමිපාණෝ ද එය පෙන්වා වදාළහ. එහෙත් කාලාන්තරයෙන් කාලාන්තරය හෝ බුදුවරුන්ගේ පහළවීම ද සිදුවෙයි.

මේ කල්පය මහාභද්‍ර කල්පය නමින් හඳුන්වනු ලැබේ. මහාභද්‍ර කල්පයෙහි බුදුවරු පස් නමක් පහළ වෙති. පස් නමකට වැඩියෙන් පහළ වන කල්පයක් නැත. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යනුවෙන් බුදුවරු හතරනමක් පහළ වී ඇති මේ කල්පයෙහි ම අනාගතයෙහි දි මෛත්‍රී සම්බුදු රජාණන් වහන්සේ පහළවෙති.

සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය නමින් හඳුන්වනු ලැබේ. “ වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ.

සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසිම ශාස්තෘවරයෙක් තමන්ගේ තත්ත්වයට ශ්‍රාවකයන්ටත් පත්විය හැකි යැයි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑම කෙනකුට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්,ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම ත්‍රිංසත් ආකාරයෙන් සම්පූර්ණ කළ යුතුය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ.

බුදුවන සෑම බෝධිසත්වයෙක්ම සම්බුදු රජාණන් වහන්සේ නමක් හමුවේ නියත විවරණය ලබා ගත යුතුය. එසේ නියත විවරණ ලබන බුදුවරයන්ගේ ගණන මෙපමණැයි නියමයක් නැත. බෝසතාණන්ට මුණගැසෙන බුදුවරුන්ගේ ගණන අනුවය එය තීරණය වන්නේ. බෝසත්වරු ප්‍රඥාධික, ශ්‍රද්ධාධික , වීර්යාධික යැයි තුන් කොටසකි.

නියත විවරණය ලබාගත්තායින් පසු ප්‍රඥාධික බෝසත්වරයෙක් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරිය යුතුය. උන් වහන්සේගේ ප්‍රඥාව තියුණුය. ශ්‍රද්ධාව මඳය. වීර්යය මධ්‍යම වේ. නියත විවරණ ලැබීමෙන් පසු ශ්‍රද්ධාධික බෝධිසත්වවරයෙක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. උන්වහන්සේ ගේ ශ්‍රද්ධාව තියුණු වේ. ප්‍රඥාව මධ්‍ය වේ. වීර්යය මඳ වේ. නියත විවරණයෙන් පසු විර්යාධික බෝසත්වරයෙක් සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ යුතුය. උන්වහන්සේගේ වීර්යය තියුණු වේ. ප්‍රඥාව මඳ වේ . ශ්‍රද්ධාව මධ්‍යමවේ.

නියත විවරණය ලබාගැනීමට පෙර සෑම බෝසත්වරයෙක්ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතුය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේවායි සිතින් සිතීමයි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙසේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟට වාග් ප්‍රණිධානය පුරන්නට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේවා! යැයි වචනයෙන්ම ප්‍රකාශ කිරීමයි. මෙසේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතුය.

එක් කලෙකදී බ්‍රහ්ම ලෝකය හිස් වේගෙන හිස් වේගෙන යන්නට විය. සිටින බ්‍රහ්මයන්ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක්ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙයට හේතුව කුමක් දැයි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගතවී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැයි බැලීය. අනන්ත අප්‍රමාණ සිටින බවත් උන්වහන්සේ තවම පෙරුම් දම් සපුරණ බවත් දුටුවේය. එසේ නමුත් තමාත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමුකළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවීය.

එවිට ගමන් කළ නැව කැඩී මුහුදු බත්ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකුට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැයි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිමට සේන්දු කොට මවට ආරූඩ වී “ පුතේ නුඹ බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එයයි.

එදින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹීය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැයි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙසේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතුය.

මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති

යනුවෙන් දක්වා ඇත්තේ එම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීමයි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවලට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක්ව සිටියදීය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක්ව සිටිය දීය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දීය.

ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීමයි.

හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීමයි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නොහැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතුය.

පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතුය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගයයි. එදා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි.

ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්තය. බුදුවීම සඳහා ඕනෑම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ. ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාද මූලයේදී මෙකී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙහි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක්ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුනයි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේම පවතී.ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන්ද ප්‍රඥාධික බුදුරදුන්ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන්ට වඩා විර්යාධික බුදුරදුන් වැඩිය. හේතුව? පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිකි. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේගේ ශාසනය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නොපවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එසේම උතුම් මනුෂ්‍ය ආත්මයක්ද ලැබී ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතුය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.