සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
-
ව්‍යග්ඝපජ්ජ සූත්‍රා ගත පෙළ දහමට අනුව දිනක් දීඝාජානු කෝලිය පුත්‍රයා
බුදුහිමියන් හමු වී මෙසේ ඉල්ලීමක් කරයි. “ස්වාමීනි! කාමභෝගී ගිහියන් වන
අපි අඹුදරුවන් ගේ සම්බාධ සහිතව ගෙහි වසමු. කසී සළු සුවඳ සඳුන් පරිභෝග
කරමු. මල්ගඳ, විලවුන් රන්රිදී ඉවසමු. ඒ අපට මෙලොව හිත පිණිස සැප පිණිස
යෝග්‍ය දහමක් දෙසනු මැනවි” යන්නයි. මෙම පාඨයෙහි හිත පිණිස, සැප පිණිස
යෝග්‍ය දහමක් යන්නට යොදා ඇති සූත්‍රාගත වදන් වර්තමාන ශ්‍රාවකයනට
බෙහෙවින් වැදගත් වනු ඇත. භගවා තථා ධම්මං දෙසෙත යෙ අම්භාකං අස්සු ධම්මා
, දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය, සම්පරාය සුඛාය” හිත, සුව මෙලොව හා
පරලොව සඳහා දහම් දෙසන ලෙස කරන ලද ආරාධනාව බුදුරජාණන් වහන්සේ එය, කළ
නොහැක්කක් ලෙස ප්‍රතික්‍ෂේප කළේ නැත. සිටුපුත්‍රයා ගේ ඉල්ලීම පරිදි
බුදුහිමියන් දෙසා වදාළ ධර්ම කරුණු පිළිබඳ ව පැහැදිලි කරන්න.
පිළිතුර - අ.නි. උජ්ජය සූත්‍රය ද මෙම දේශනා පාඨවලින් ම දේශනා කොට වදාළ බුදුරජාණන්
වහන්සේ 1 දිට්ඨ ධම්ම හිත 2 දිට්ඨ ධම්ම සුඛ සලසන කරුණක්
1.උට්ඨාන සම්පදා
2. ආරක්‍ෂා සම්පත්තිය – ආරක්ඛ සම්පදා
3. කලණ මිතුරු ඇසුර – කල්‍යාණ මිත්තතා
4. සමසේ දිවි පැවැත්ම සමජීවිකතා නමින් දේශනා කොට අනතුරුව පරලොව හිත
(සම්පරාය හිත) පරලොව සැප (සම්පරාය සුඛ) සඳහා ඉවහල් වන ශ්‍රද්ධාව
(සද්ධා) ශීලය (සීල) ත්‍යාගය (වාග) ප්‍රඥාව (පඤ්ඤා) යන සතර කරුණක් ද
විස්තර කළහ. ගිහි විනය නමින් සැදැහැවතුන් තුළ ප්‍රකට වූ සිඟාලෝවාද
සූත්‍රයෙහි එන පරිදි “උභයලෝක විජය” (උභය ලෝක විජයාය) සඳහා අනුගමනය කළ
යුතු පිළිවෙත් සමුදාය මෙසේ විස්තර වෙයි.
ආර්ය ශ්‍රාවකයා සතර කර්ම ක්ලේශ ප්‍රහීණ කර සතර අගතියෙන් ඈත්ව භෝග
විනාශමුඛ දොරටු වසා මෙසේ තුදුස්ළාමක ක්‍රියාවලින් බැහැර ව සදිසා
වසාලන්නේ ඉහතින් සඳහන් කළ සම්පරාය හිත සුව සහ දිට්ඨ ධම්ම හිත සුඛ සඳහා
පිළිපන්නේ වෙයි. හේ මරණින් මතු මනාප ගති ඇති දෙව්ලොවට පැමිණෙයි වදාළහ.
“අනේපිඬු” සිටාණන් අමතා දේශනා කරන ලද “අණන” සූත්‍රය කාමභෝගී ගිහියා
විසින් ලබාගත යුතු සැප හතරක් පෙන්වා දෙයි. මෙයින් අත්ථි සුඛ, භෝග සුඛ,
අණන සුඛ යන තුනම භෞතික ආර්ථික දියුණුව ලබා ගැනීම පිළිබඳවයි. දැහැමින්
භෝග ලැබීම (සහ ධම්නෙ) අත්ථි සුඛය වන අතර භෝග හරි හැටි ප්‍රයෝජන ගැනීම
භෝග සුඛයයි. ණය නැති බව අණන සුඛයයි. සිව්වැන්න අන වජ්ජසුඛයයි. අනේපිඬු
සිටාණන් අමතා දේශිත ‘පත්තකම්ම’ සූත්‍රය හෙළි කරන ලොව දුර්ලභ වූ
ඉෂ්ටකාන්ත මනාප කරුණු ද පුද්ගලයා ගේ භෞතික ආර්ථික සමාජ සංවර්ධනය සඳහා ම
යොමුගත ඒවා ම බව “චත්තාරො මෙ ගහපති ධම්ම ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා
ලොකස්මිං - කතමෙ චත්තාරො බොග මෙ උජ්පජන්තු සහ ධම්මෙනාති අයං පඨමො -
දුල්ලභො ලොකස්මිං භොගෙ ලද්ධා - යසො මෙ අඛිභග්ගච්චතු - යසං ලද්ධා - චිරං
ජීවා දීඝ මද්ධායුං පාලෙත්වා - කායස්ස භෙදා පරම්මරණාසුගතිං සග්ගං ලොකං
උප්පජ්ජාමි” දහැමින් ලබන ලද භෝග ඇතිබව පළමුවැන්න වන අතර ඒ භෝග සැප නෑදෑ
හිතවතුන් සමඟ විඳීමද එසේ දිගු කලක් ජීවත් වී අනතුරුව බියෙන් තොරව මරණයට
පත් වීම ද අනෙක් කරුණ වෙයි. කාමභෝගී ගිහියාගේ මෙලොව ලෞකික දියුණුව ද
අමාරුවෙන් හෝ ලබාගත යුතු බව මෙසේ පිළිගැණෙයි. එසේම මේ දුර්ලභ ධර්මය
ප්‍රතිලාභයට ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන සතර අවශ්‍ය බව කියවෙයි.
ගිහියා ගේ ආධ්‍යාත්මික ගුණ සමුදායයි. ඒ මෙහි දී වැදගත් වන දේශනයක් නම්
ව්‍යග්ගපජ්ජ උජ්ජය, සිඟාලක අණණ පත්තකම්ම සූත්‍ර ගිහියන් වන අප අඹු
දරුවන් සමඟ වැස කසී සළු සුවඳ සඳුන් මල් ගඳ විලවුන්, රන්රිදී, මසු කහවනු
පරිභෝග කරන අපට දහමක් දෙසන්නැයි අයැද සිටි ගිහි සිටු පුත්‍රයා
ඉදිරියෙහි ලෞකික ලෝකෝත්තර අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යොමු කොට දහම්
දෙසීමයි.
ප්‍රශ්නය -
(ඛුද්දක, උදාන, මේඝිය වග්ග සුන්දරී සූත්‍ර) භාග්‍යවතුන් වහන්සේ
භික්‍ෂූන්ට මෙසේ ප්‍රකාශ කරන ලෙස ඉගැන්වෙයි. “බොරු කියන්නා නිරයට යයි.
යමක් කොට, “මම නොකළෙමි” කියන්නාත් නිරයට යයි. පරලොව නිරාගත දෙදෙනා සම
වෙති” මෙසේ බොරු කියන්නාත් බොරු කරන්නාත් සමසේ දඬුවම් ලබන බව පෙන්වා දී
භික්‍ෂූව වෙත අභූත චෝදනා එන විට ඉවසීම පුහුණු කළ යුතු බව ද පෙන්වා
දුන්හ. යුද පිටියට ගිය ඇතුට දස දෙසින් හී පහර දෙන්නාක් මෙන් නොහික්මුණු
මිනිස්සු වාග් ප්‍රහාර දෙති. හී පහර ඉවසන ඇතකු මෙන් පරුෂ කතා අසා
නොකිපිය යුතු ය. සාසනික ඉතිහාසයේ විශේෂ අවස්ථාවන් මේ පුවතින් අනාවරණය
වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර - විමුක්තිය සොයා ගිය කාන්තාවන් බාහිර සාසනවල ද සිටි බව ත්‍රිපිටක
සාහිත්‍යයේම දක්නට ඇත. ස්වකීය ධර්ම දර්ශන වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයට
පවා පෙළඹණු කාන්තාවන් සිටි බව උදාන පාලියෙහි සඳහන් සුන්දරී
පරිබ්‍රාජිකාව ගේ පුවතින් සිතා ගත හැකි ය.
සුන්දරී පරිබ්‍රාජිකාවකි, අභිරූපිකාවකි. බුදු සසුන ජනපි‍්‍රය වීමෙන්
ලාභ සත්කාර වැඩ වසන්නට පටන් ගත්තේ ය. සෙසු ආගමිකයන් ලාභ සත්කාරයෙන්
පිරිහෙන්නට විය. මෙයින් පසුබෑමට ලක් වූ පරිබ්‍රාජිකයෝ බුදු සසුන
අවමානයට ලක් කිරීමට කුමන්ත්‍රණ කළහ. ඔවුහු සුන්දරී පරිබ්‍රාජිකාව සමඟ
සාකච්ඡා කර ඇය සවස දෙව්රමට යන බවත්, උදෑසන පිටව එන බවත් ඇඟෙන්නට
සැලැස්සූහ. ටික දිනකින් සුන්දරී මරා දමා දෙව්රම් අසල දිය අගලක සැඟවූහ.
ඇගේ අතුරුදහන්වීම රජුට ද දන්වා සෙවීමට පටන් ගත් අතර, සැඟ වූ තැනින්
මිනිය ගෙන එය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් ගේ වැඩකැයි චෝදනා කරමින් මහා
උද්ඝෝෂණයක් ඇති කළහ. ඔවුන්ගේ චෝදනාවත්, භික්‍ෂූන්ගේ නොසන්සුන් බවත් දත්
භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මෙසේ ප්‍රකාශ කරන ලෙස ඉගැන්වූහ.
ප්‍රශ්නය -
පුනර්භවය පිළිබඳව ගිහි භවතුන් කිහිප පලක් ම තම මතවාදයන් (ස්වයං
නිර්ණයන්) පොත්පත් මගින් එළිදක්වන නිසා පෙළ දහමෙහි එන කරුණු පිළිබඳ ව
පැහැදිලි කිරීමක් විද්වත් මත ද ඉදිරිපත් කරමින් සමාලෝචනය කරන්න.
පිළිතුරු - පුනර්භවය පිළිබඳව අපේ උසස් ම අධිකාරිය භාග්‍යවතුන් වහන්සේ ය. බුද්ධත්වය
සාක්ෂාත් කර ගත් රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි දී උන්වහන්සේ සිය පූර්ව
ජන්මයන් දැක ගැනීමේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය ලබා ගත්හ. ම.නි.
මහාසච්චක සූත්‍රාගත දේශනා පාඨයකට අනුව, මගේ අනේක විධ පූර්ව ජන්මයන් මම
මෙසේ ආවර්ජනය කළෙමි. එක් පෙර ජන්මයක්, අනතුරු ව ජන්ම දෙකක් අනතුරු ව
තුනක්, හතරක්, පහක්, දහයක්, විස්සක් ආදී වශයෙන් සිය දහසක් සිහි කළ හැකි
බව විස්තර කර ඇත.
රාත්‍රියෙහි දෙවන යාමයෙහි දී උන්වහන්සේ සුවිසුද්ධ වූ අතිමානුෂික
ඤාණයෙන් සත්වයන් ඒක භාවයකින් චුත ව තවත් භවයක පිළිසිඳ ගන්නා ආකාරය දැක
ගත්හ. පහත්, උසස් හා සුරූපී, විරූපී, සුඛිත දුක්ඛිත බොහෝ දෙනා කර්ම,
කර්මානු රූපවී ගමන් කරන අයුරු දුටහ.
පුනර්භවය පිළිබඳව මේ බුද්ධ මතය නොපිළිගන්නා ඇතැම් පුද්ගල කණ්ඩායම්
බුද්ධ චරිතය ද විකෘති කරමින් වර්තමාන ‘චාර්වාක දර්ශන’ ඉදිරිපත් කරයි.
පුනර්භවය පිළිබඳ ව මේ ස්ථාවර සත්‍යයන් උන්වහන්සේ විසින් වෙනත් ප්‍රාග්
බෞද්ධ ප්‍රභවයකින් ණයට ගත්තා නොව තමාම වර්ධනය කළ නිර්මල වූ ලෝකෝත්තර
ඤාණයෙන් දැන වදාළ බව මේ සූත්‍ර පාඨවලින් මනාව සනාථ වේ. මේ ඤාණය වෙනත්
ඕනෑම කෙනෙකු විසින් ද වර්ධනය කර ගත හැකි ය. සිය ප්‍රථම උදානයෙහි දී
භාග්‍යවතුන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. මේ ගෘහය නිර්මාණය කරන්නා සොයා
ආත්ම විශාල සංඛ්‍යාවක් මම සසර සැරිසැරිමි. නැවත නැවත උපදින්නට වීම
දුකකි.
ප්‍රථම ධර්ම දේශනය වූ ධම්ම චක්ක පවත්වන සූත්‍රයෙහි දී දෙවන ආර්ය සත්‍යය
ගැන සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. පුනර්භවය ඇති කරන්නේ
මේ තෘෂ්ණාව විසින්ම ය. “යායං තණ්හා පොනොභවිකා” බුදුරජාණන් වහන්සේ මේ
දේශනා සමාප්ත කරන්නේ “මේ මාගේ අවසාන උපතයි. මෙයින් මතු පුනර්භවයක්
නොමැත යනුවෙනි.
(බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ ගරු නාරද හිමි ග්‍රන්ථය ඇසුරෙනි.) |