UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය; එයින්ද උන් වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත් සාමයත්, ශාන්තියත් ලබාදීම අරමුණු කර ඇත්තේ ය. එසේ වුවද භාවනාව තරම් බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙකු වැරදි ලෙස තේරුම් ගත් වෙන අංගයක් බුද්ධ ධර්මයේ නැතැයි සිතිය හැකි තරම් ය. භාවනාව යන වචනය කියනු ලබත් ම අපි කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ පොදු වැඩවලින් ඉවත්ව සමාජයෙන් වෙන් ව ඇතැම් ගුහාවල හෝ විහාරවල හෝ දක්නට ලැබෙන ප්‍රතිමාවල වැනි ඉරියව්වකින් කිසියම් ගුඩ කල්පනාවක නොහොත් ධ්‍යානයක යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව නම් කිසි ලෙසකිනුදු ජීවිතයෙන් එවැනි පලායාමක් නොවේ. මේ පිළිබඳව බුද්ධ මතය කොතරම් දුර වරදවා තේරුම් ගන්නා ලද්දේ ද, නැතහොත් කොතරම් අඩුවෙන් තේරුම් ගන්නා ලද්දේ ද යත් පසු කාලවලදී මේ භාවනා ක්‍රමය පිරිහී ගොස් ශිල්පයක මෙන් කළයුතු වැඩපිළිවෙළක් ඇති චාරිත්‍ර විශේෂයක් බවට පැමිණියේ ය.

- වල්පොල රාහුල හිමි බුදුන් වදාළ ධර්මය 98 පිටුව

මෙම ප්‍රස්තුතය ද සැලකිල්ලට ගනිමින් බෞද්ධ භාවනාව පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර - මේ සඳහා පිළිතුරක් සැකසීමෙහි දී දැනට මුද්‍රිත ධර්ම ග්‍රන්ථ බොහොමයක් පරිශීලනය කිරීමට සිදුවිය. එහෙත් මෙම ග්‍රන්ථාගත භාවනාව පිළිබඳ පැහැදිලි කිරීම් පහත සඳහන් බුද්ධ මතය හා එක්තැන් කිරීම තරමක් අපහසු ය.

මහණෙනි, කායික රෝග හා මානසික රෝග වශයෙන් වැළදෙන රෝග දෙකකි. කායික රෝග වලින් විවිධ ක්‍රමවේදයන් මගින් ආරෝග්‍යය විඳින සත්වයෝ දක්නට ලැබෙත්. එහෙත් ක්‍ෂීණාශ්‍රවයන් (රහතන් වහන්සේ) හැර මානසික රෝගයෙන් මොහොතකදු නිරෝගි බව විඳින සත්ත්වයෝ ලොව දුර්ලභ වෙතියි බුදුන් වහන්සේ වදාළහ. පෙල දහමෙහි එන මෙම දේශනයට අනුව භාවනාව සෘජුව ම මනසට යොමුගත ප්‍රායෝගික වූ ක්‍රියාවලියකි. එය ඉහතින් දක්වන ලද පරිදි ශිල්පයක මෙන් කළයුතු වැඩපිළිවෙළක් ඇති චාරිත්‍ර විශේෂයක් නොවේ. එමනිසා පිළිතුර සැකසීමේදී අපවත් වී වදාළ නාරද හිමිපාණන් වහන්සේ ගේ නිර්දිෂ්ඨයන් සහ මහචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ ග්‍රන්ථාගත තොරතුරු පමණක් භාවිතා කරමින් පිළිතුර සැකසීමට සිදුවිය.

‘භාවනා’ යන වචනයේ සැබෑ තේරුම නම් සිත වැඩීම, සිත දියුණු කිරීම යනුයි. ඒ වනාහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච- කුක්කුච්ච, විචිකිච්චා ආදී කෙළෙස්වලින් සිත මුදා පිරිසුදු කර ඒකාග්‍රතාව ස්මෘතිය, බුද්ධිය අධිෂ්ඨානය, විර්යය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කර සියල්ල තතු පරිද්දෙන් දක්නා උතුම් ප්‍රඥාව ලබා දී පරම සත්‍යය හෙවත් නිර්වාණය, අවබෝධ කරදීම අරමුණු කර ඇත්තේ ය.

බෞද්ධ විමුක්ති මාර්ගයත් බෞද්ධ භාවනාවත් දෙකක් නොව එකක් ම බව බුදුරජාණන් වහන්සේ විසින් ම පෙන්වා දෙන එක් වැදගත් අවස්ථාවක් ප්‍රසිද්ධ දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍රයෙහි දී හමුවෙයි. ‘’එකායනො අයං භික්ඛවේ මග්ගො සත්තානං විසුද්ධියා’’ යන සතර සතිපට්ඨානය නම් වූ යම් දහමක් ඇද්ද, මෙය සත්ත්වයන් ගේ විශුද්ධිය පිණිස ද දුක් දොම්නස් දුරුවනු පිණිසද අරිඅටගි මගට පැමිණෙනු පිණිස ද නිවන් පසක් කරනු පිණිස ද එකම මඟ වෙයි.

එකායනො අයං මග්ගො සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්ක මාය දුක්ඛ දෝමනස්සානං අත්ථිංගමාය ඤායස්ස අධිගමාය. නිබ්බාණස්ස සච්චිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා ති ඉති යං තං වුත්තං ඉදමෙත්තං පටිච්චපුත්තන්ති (අවසාන ජේදය)

(ස.නි. මහා සතිපට්ඨාන සූත්‍ර)

භාවනා වර්ග දෙකක් වෙයි. ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාදඤ්ඤායතන වැනි උසස් යෝගී තත්ත්වලට මුල්වන සමථ සමාධිය, සිත එකඟ බව (චිත්තෙග්ගතා) වැඩීම මෙයින් එකකි. මේ පිළිබඳ විවිධ ක්‍රම ධර්ම ග්‍රන්ථවල විස්තර වෙයි. යෝගාවචරයා විසින් ලබා ගන්නා සියලු ධ්‍යානයන් සංස්කාරවලින් හටගත් (සංඛත) මනෝමය තත්ත්ව බව බුදුන් වහන්සේ වදාළහ. තථ්‍ය සත්‍යය හෙවත් නිර්වාණයත් ඒවාත් අතර කිසි සම්බන්ධයක් නැත. මේ භාවනා වර්ගය බුද්ධ කාලයට පෙර ද තිබුණේ ය. හුදු බෞද්ධ භාවනාවක් නොවුවද එය බෞද්ධ භාවනා ගණයෙන් බැහැර නොවේ. එහෙත් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒ අවශ්‍යම යැයි කිවනො හැකිය. බුද්ධත්වය ලැබීමට පෙර ඒ ඒ ආචාර්යවරුන් යටතේ මේ ධ්‍යාන පුරුදු කළ බෝධිසත්වයන් වහන්සේ යෝගී තත්ත්ව වෙත පැමිණියහ. එහෙත් සම්පූර්ණ විමුක්තිය පරම සත්‍යය එමගින් ප්‍රතිවේධ කළ නොහැකි හෙයින් එය උන්වහන්සේගේ සතුටට හේතු නොවීය. මෙ ධ්‍යාන වනාහි ‘ඨානං ඛො පනෙත චන්ද විජ්ජති යං ඉධෙකච්චො භික්ඛු සබ්බ සො අකිඤ්ඤා චඤ්ඤා යතනං සමතික්ක කම්ම - නෙවසඤ්ඤානා සඤ්ඤා යතනං සමතික්කම්ම උපසම්පජ්ජ- විහරෙ යප තස්ස එවමස්ස - සලෙලඛෙන විහාරාති න ඛො සනෙතෙ බුනන්ද අරියස්ස විනයේ සල්ලෙඛාා වුච්චන්ති - සන්තා එතෙ විහරා අරියස්ස විනයෙ වුච්චන්ති ‘ (ම. නි. සල්ලෙඛ සූත්‍ර) අනුවාදය චුන්දය මේ සාසනයෙහි ඇතැම් මහණෙක් සර්ව ප්‍රකාරයෙන් ම ආකිඤ්ඤායතනය ඉක්මවා වෙ සඤ්ඤා නා සඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නේ ය. න යම් කාරණයක් වේද එය විද්‍යාමාන වෙයි. ඒ මහණහට මම සල්ලෙඛයෙන් වසමියි, අධිමානය වෙයි. චුන්දය මෙ ධ්‍යානය ආර්ය විනයෙහි සල්ලඛ යයි කියනු නොලැබෙති. මොහු ආර්ය විනයෙහි ‘ශාන්ත විහරණ’ යැයි කියනු ලැබේ. මේ පෙල දහම පාඨයට අනුව ධ්‍යාන වනාහි මේ ජීවිතයෙහි සුවසේ විසීමක් (දිට්ඨ ධම්භ සුඛ විහාර) සැනසිල්ලේ විසී මක් (සන්ත විහාර) මිස ඊට වඩා උසස් දෙයක් නොවන බව උන්වහන්සේ වදාළහ.

සමථ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය නම් ධ්‍යාන අභිඥාවන් උපදවා ගැනීමයි. මේ ධ්‍යාන අභිඥා සංඛත හෙවත් සංස්කාර ධර්ම නිසා ජාති ජරා මරණාදී සංසාරික දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෝ සියලු කෙලෙස් වෙතින් මිදීමක් සිදු නොවන්නේ ය. තමන් ලබා ගත් ධ්‍යානයන් නැති කර නොගෙන ධ්‍යානයන්ගෙන් නොපිරිහී කලුරිය කළහොත් ඒ ඒ ධ්‍යානයන්ට අනුව නියමිත බ්‍රහ්ම ලෝකවල ඉපිද කල්ප ගණනක් වුවද ජීවත් විය හැකි ය. එහෙත් එහි ආයුෂ ගෙවී යෑමෙන් මේ මිනිස් ලොව ඉපදීමට සිදුවෙයි. එමනිසා ඉහතින් සඳහන් කළ පරිදි සත්‍ය හෙවත් නිර්වාණය කෙරෙහි අවධානය යොමු කිරීම සදහා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාරකාලාම, උද්දකරාම පුත්ත දෙපළ වෙතින් ඉවත්ව වෙනත් භාවනා ක්‍රමයක් ගැන කල්පනා කළහ.

ඒ අනුව උන්වහන්සේ විපස්සනා (විදර්ශනා) භාවනාව සොයා ගත්හ. විපස්සනාව නම් සිත පිළිබඳ ව සම්පූර්ණ නිදහස ලැබීමටත් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් ඉවහල් වන ප්‍රතිවේධයයි. මෙය සහමුලින් ම බෞද්ධ භාවනාවකි. තාවකාලික නීවරණ යටපත් කර ධ්‍යාන උපදවා ගත් යෝගාවචරයා ගේ සිත හැම දෙයක් ම යථා පරිදි පිළිබිඹු කරන කැඩපතක් සේ නිර්මල වෙයි. එහෙත් සමාධිය මගින් අකුසල ප්‍රවණතා තාවකාලිකව මර්දනය කරගත් පමණින් සිත මුළුමනින් ම කෙලෙසුන්ගෙන් මිදී නැත. සමථ භාවනාවෙන් ලැබෙන ලෞකික ධ්‍යානයන් ගෙන් පමණක් සසරින් විමුක්තිය ලබන්නට නොහැකි බව සැලකිය යුතුය. සියලු දුක් නැති කිරීමෙන් ලැබෙන නිවන් සුවපසක් කරගන්නට අවශ්‍යවිදර්ශනා භාවනා යනු සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීමට උපකාර වූ නුවණ වඩන භාවනාවයි.

භාවනාව පිළිබඳ ව බුදුන් වහන්සේ කළ දේශනා අතරෙන් ඉතාමත් වැදගත් වන්නේ ‘සතිපට්ඨාන ‘ සූත්‍රයයි. බෞද්ධ ගෘහ ජීවිතය හා ඬරතුරුව බැඳී පවත්නා මෙම සූත්‍ර දේශනාව බොහෝ විට කෙනකුගේ අවසාන මොහොත ලංවූ විට භික්ෂූන් වහන්සේ ඇඳ ළඟ වැඩ හිඳ ඔහුගේ අන්තිම සිතුවිලි පිරිසුදු කරවාලීම සඳහා කියවති. මෙම සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ඇතුළත් භාවනා ක්‍රම ජීවිතය සමීපව සමගාමී වෙයි. සාමාන්‍ය ජීවිතයට සහ බැඳී පවතී. අප දිනපතා කරන පොදු වැඩවලටත් අපි සිත් තුළ නිරතුරු ව වෙලාගත් දුක්ඛ දෝමනස්සයන් දුරලීම සඳහාත් කය, සිත, වචනයේ, ධාර්මික බව හා බුද්ධිමත් කාර්යයන් සඳහා ද ප්‍රයෝජනවත් වෙයි.

මහා සතිපට්ඨාන සූත්‍රය කොටස් හතරකට බෙදා තිබේ. කාය, දෙවැනි කොටසට විඳීම (වේදනා) තුන්වැනි කොටසට සිත (චිත්තද) සතර වැනි කොටසට ධාර්මික හා බුද්ධිමය විෂය (ධම්ම) ද ඇතුළත් ය. මෙයින් කවර භාවනා ක්‍රමයක් තෝරාගත්තත් සිහියක් (සති) අවධානය, නිරීක්ෂණයත් (අනුපස්සනා) අතිශයින් ම අවශ්‍ය බව සිතිය යුතුය.

බක් අව අටවක
පෝය

අපේ‍්‍රල් 28 වැනිදා සඳුදා පූර්ව භාග 07.08 ට ලබයි.
29 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 08.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 28 වැනිදා සඳුදාය

මීළඟ පෝය මැයි මස 05 වැනිදා සඳුදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]