UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - පෙළ දහම්හි එන “අත්තුපනායික ධම්ම පරියාය” මගින් බුදු දහම අවධාරණය කරන ප්‍රාණඝාතයෙන් වෙන්වීම පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.

පිළිතුර - ස. නි. වෙළුද්වාර සූත්‍රයෙහි දැක්වෙන පෙලෙහි අනුවාදය ප්‍රථමයෙන් හදුනා ගැනීමෙන් අදාළ කරුණු පැහැදිලි කර ගැනීම වඩාත් අපසුය. “ ගැහැවියෙනි! තමා උපමාවක් වශයෙන් දක්වා ඇති ධර්ම න්‍යාය “අත්තුපනායික ධර්ම පරියාය” කවරේ ද යත් ගැහැවියෙනි! මෙහි අරී සර්ව තෙමේ නුවණින් සලකා බලයි. මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුක පිළිකුල් කරන්නෙක් වෙමි. යමෙක් ජීවත් වනු කැමැති , නොමැරෙනු කැමැති, සුව කැමැති , දුක පිළිකුල් කරනු මගේ දිවි තොර කරන්නේ නම් එය මට පි‍්‍රය මනාප නොවන්නේය. මම ද ජීවත් වනු කැමති ,නොමැරෙනු කැමති, සුව කැමති දුක පිළිකුල් කරන මෙරමා (අනුන්) දිවියෙන් තොර කරන්නේ නම් මෙරමා හට ද ඒ දහම අපි‍්‍රය අමනාපය පිණිස වන්නේ ම ය . මෙසේ නුවණින් සලකා තෙමේත් ප්‍රාණ ඝාතයෙන් වැළකුණෝ වෙයි.

ප්‍රාණ ඝාතයෙන් වෙන්වීමේ ගුණය කියයි. මෙසේ ඔහු ගේ මේ කාය සංවරය තුන් කෙළවර පිරිසුදු වූයේ වෙයි.

ප්‍රාණඝාතයෙහි වරද මෙහි දී බුදුරදුන් විවරණය කොට ඇත්තේ කරුණු දෙකක් කෙරෙහි විශේෂ සැලකිල්ල දක්වමිනි. එනම් ඇරයුම්ශීලි අංශය හා සිද්ධි වාචක අංශය යන සදාචාර ප්‍රස්තුත විෂය මූලික කොට ගෙන ය. තමා උපමාවට වශයෙන් ගෙන අනුන්ට හිංසා නොකළ යුතු ය යන්න මෙහි දී ඇගැයුම් ශීලි අංශය වෙයි. එවන් තීරණයක් ගත යුත්තේ සියලු සතුන් දඬුවමට බියය. ජීවත් වීමට කැමතිය. මරණයට අකමැතිය. සැප කැමතිය. දුකට අකමැතිය යන සිද්ධි වාචක අංශය පදනම් කොට ගෙන ය.

ප්‍රශ්නය - බුදු සිරිත සුප්‍රසිද්ධ කවියෙකු දුටු ආකාරය මෙසේය. බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්‍ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත වසර ගණනකට පසුව ය. එයින් වහනය වන ප්‍රඥ සුගන්ධයෙනුත් ඇද හැලෙන දයාව නමැති මකරන්ධයෙනුත් ලෝකය පිරෙයි. මේ සුප්‍රසිද්ධ කවියා ගේ නම කුමක්ද ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථය කුමක් ද?

පිළිතුර - එඩ්වින් අර්නෝල්ඩ් නමැති කවියා ගේ ආසියාවේ ආලෝකය නම් බුද්ධ චරිත කාව්‍යයේ ඉහත සඳහන් ව ඇති අදහසකි.

ප්‍රශ්නය - පැරණි ශ්‍රී ලංකා පුරා විද්‍යා ගවේෂණවල දී බෝධි සත්ව ප්‍රතිමා බොහොමයක් හමු වී තිබේ. විශේෂයෙන් අනුරාධපුර අභයගිරි සම්ප්‍රදායට අයත් විහාර රැසක් එම බෝධි සත්ව ප්‍රතිමා හමු වී ඇත. මේ පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර - අනුරාධපුර අභයගිරි පෙදෙසේ සන්නිපාත ශාලාව අසළ තිබී හමුවී ඇති බෝධිසත්ව ප්‍රතිමා දෙකක පා කොටස් දෙකක පමණක් සොයා ගෙන තිබේ. ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාමයේ ස්තූපයට ඊසාන දෙස විශාල ප්‍රතිමාගෙය බෝධිසත්ව ප්‍රතිමා සඳහා වෙන්වූවක් සේ අනුමාන කළ හැකිය.

තවද අභයගිරි ව්‍යාපෘතියේ කැණීම් වලින් බෝධි සත්වයන් ගේ යැයි සැළකිය හැකි ගල් පිළිමයක උඩ කොටස හමු විය.හිටි පිළිම සඳහන් පද්මාසන එහි දක්නට ලැබෙයි. විශාලම බෝධි සත්ව ප්‍රතිමාව මොනරාගල දිස්ත්‍රික්කයේ දඹේගොඩදී හමු විය.

ප්‍රශ්නය - ඉපැරැණි කලාත්මක කෘතින් අතර සඳකඩ පහණට හිමි වී ඇත්තේ අති විශේෂ ස්ථානයකි. වැදගත් ම සඳකඩ පහණ දෙක පිහිටා තිබෙන්නේ කොහි ද ? ඒවායෙහි අන්තර්ගතය පිළිබඳ ව හැඳින්වීමක් කරන්න.

පිළිතුර - කලාත්මක අතින් වැදගත් ම සඳකඩ පහණ දෙක පිහිටා තිබෙන්නේ අභයගිරි පෙදෙසේය. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩිපෙළ අගවෙයි.

අනික එම ස්ථානයට මදක් වයඹ පැත්තේ කඳු ගැටය මත ඇති බිසෝ මාලිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ දොරටුවෙහි පඩි පෙළ අගවෙයි. සඳකඩ පහණ නිර්මාණයේ ගිනිදැල් සිවුපාපන්තිය - ලොකු ලියවැල - හංසපන්තිය - කුඩා ලියවැල් හා මැද පද්මය ද වෙයි.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිස ගේ ගෞරවය හා ශක්තිය සඳහා මෙන් ම ජනතා අප්‍රසාදයට හේතුවන්නා වූ සුළු හෝ ඉඩක් නොතැබීම සඳහා මනා සුසික්ඛිත බව ම අවධාරණය කළහ. විශේෂයෙන් භික්ෂු සංඝයා ගේ පැවැත්මට මූලික සිද්ධාන්තය වශයෙන් “ අප්පසන් නානං පසාදාය - පසන්නානං භිය්‍යෝ භාවා ය” නොපැහැදුන අය ගේ පැහැදීම සඳහාත් පැහැදුන අය ගේ පැහැදීම වැඩිවීම සඳහාත් පිළිපැදිය යුතු බව අවධාරණය කළහ. මෙහි දී දේශපාලකයන් සහ ස්ත්‍රීන් හමුවෙහි හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් එහි දී සැකය හා අවිශ්වාසයට යොමුගත අවස්ථාවලින් වැලකී සිටින ලෙසත්, එහි ආදීනවත් පහදා දුන්හ. පෙළ දහමෙහි එන නිදසුන් පැහැදිලි කරමින් විමසීමක් කරන්න.

පිළිතුර - රජතුමා හෝ රාජ මාලිගය මෙන්ම අන්තඞපුරය හා ස්ත්‍රීන් ඇමතිවරුන් හා වෙනත් රාජ්‍ය බලධාරින් ඉතා සමීප ව ඇසුරුකිරීමත් ඉතා දුරින් සිටීමත් නොකළ යුතු බවට නිදසුනක් අ:නි රාජන්තෙ පුරප්පවෙස්න සූත්‍රයේ දී මෙසේ සඳහන් වෙයි.

දස ඉමේ භික්ඛවෙ රාජන්තෙ පුරප්ප වෙසනෙ - කතමෙදස ? මහණෙනි, රජු ගේ අන්තඞපුරයට ඇතුල්වීමෙහි ආදීනවයෝ දසයකි.

1. රජ හා මහේසිකාව සමග ආදර කථාබහක යෙදී සිටින විට මහණ එහි පිවිසෙයි. මහණ මෙහෙසිය සිනහවෙන් පිළිගනී. රජු මහණ කෙරෙහි වැරැදි වැටහීමක් ඇති කර ගනී.

2. රජ අතින් අන්‍ය ස්ති‍්‍රයක ගැබ් ගනියි. රජු මෙසේ සිතයි. භික්ෂුව හැර වෙනත් අයෙකු මෙතනට පැමිණීමට අවසර නැත. රජු ගේ උදහසට භික්ෂුව නිර්දෝෂී ව ලක්වනු ඇත.

3. අන්තඞපුර අගනා වස්තුව නැති වූ විට භික්ෂුව කෙරෙහි සැක පහළ කරයි.

4. රාජ්‍ය රහස් මෙම අන්තඞපුර ස්ත්‍රීන් වෙතින් පිටතට පැමිණි විට භික්ෂුව කෙරෙහි රජු සැක කරයි.

. රාජ්‍යත්වය පිළිබඳ කුමන්ත්‍රණ ඇති වූ විට භික්ෂුව සැකයට භාජනය වෙයි.

6. රාජ්‍ය පාලනයෙහි දී තනතුරු වෙනස්කම් රජු විසින් කළ විට රාජ්‍ය නිලධාරිහු භික්ෂුව ගේ උපදෙස් මත කළ බවට සැක පහළ කරති.

7. තවත් අවස්ථාවක සමහර රාජ්‍ය නිලධාරින් බලයෙන් පහළට දැමීමත්, රාජ්‍ය සේවයෙන් ඉවත් කිරීමත් සිදු වූ විට රාජ්‍ය නිලධාරින් ගේ උදහසට භික්ෂුව ලක්වනු ඇත.

8. රජු හදිසි අවශ්‍යතාවයකට සේනා රැස්කරයි. මේ සඳහා අකැමැති වූවන් භික්ෂුව කෙරෙහි සැක කරයි.

9. ඇතැම් අවස්ථාවක දී සේනාව යුද මෙහෙවරක යොදවා පසුව ආපසු කැඳවයි. මේ සඳහා අකැමැති වූ රාජ්‍ය නිලධාරින් රජගෙදර නිතර ඇසුරු කරන භික්ෂුව කෙරෙහි අමනාපයෙන් සැක පහළ කරයි.

10 . චතුරංග සේනාව පුහුණු කිරීම හා රහස්‍ය උපදේශයන් නිරතුරු ව රාජකීයයන් අතර සිදුවෙයි. මේවා සතුරන් අතරට භික්ෂුව වෙතින් පත්වීම පිළිබඳව සැක පහළ කරයි. මෙබඳු හේතුන් රැසක් මත රාජ්‍ය පාලකයන් ඇසුර සමීපව නොකළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළහ.

ප්‍රශ්නය - පොදුවේ සියලු දෙනාටම ඉට්ඨාකන්තා මනාපා පිහිට වන්නා වූ දර්ශනීය වූ ප්‍රසන් වූ ධර්ම දසයක් පෙළ දහමෙහි දක්වා ඇත. ඒ මොනවාද?

පිළිතුර - 1 ධනය (භොගා)

2. පැහැය (වණ්ණො)

3. ආරෝග්‍ය (ආරොග්‍යං)

4. සීලය (සීලං)

5. බ්‍රහ්ම චරියං (බ්‍රහ්මචරියං )

6. මිත්‍රයෝ (මිත්තා)

7. ප්‍රඥාව (පඤ්ඤා)

8. ධර්මය (ධම්මා)

9. බහුශ්‍රැත බව (බාහුසච්චං)

10. ස්වර්ගය (සග්ගා)

ප්‍රශ්නය - පෙළ දහමෙහි පුද්ගල සද්ගුණ විවිධ ආකාරයෙන් සඳහන් වෙතත් “සප්පුරිසො - විචක්ඛණො දිට්ඨෙව ධම්මෙ උභයෙන වඩ්ඪති “ යනුවෙන් සඳහන් වන විචක්ෂණ (තියුණු නුවණක් ඇති) සත් පුරුෂයා මෙලොව පරලොව දෙකේහිම අභිවෘද්ධිය ළඟා කරගත් ඉසුරුමත් මිනිසෙකු වන්නේය. මෙම සුවිශේෂ මිනිස් ගුණ පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර - අංනි වඩ්ඩී සූත්‍ර ධනෙන - ධඤ්ඤෙන ච යොධ වඩ්ඪති

ඵුත්තෙහි - දාරෙහි චතුප්පදෙහි ච ස - භෝගවා හොති යසස්සි පූජිතො

ඥාතීහි මිත්තේහි අථොපි රාජුහි සද්ධාය - සීලෙනච යොධ වඩ්ඨති පඤ්ඤාය චා ගෙන සුතෙන චූ භයං

ධන ධාන්‍යයෙන් - අඹුදරුවන් ගෙන් ගව මහීෂාදීන්ගෙන් නෑසියන් ගෙන් මිතුරන්ගෙන් රාජානුග්‍රහයද ඔහුට ලැබී, ශ්‍රද්ධාව , සීලය, ප්‍රඥාව ශ්‍රැතවත් බවින්ද යුක්ත වූයේ කීර්තියත්, නුවණැති සත් පුරුෂයකුදු ඔහු දෙලොව ජයග්‍රාහී තැනැත්තකු වන්නේ ය.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]