UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිහානියේ දොරටුව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සුරාමේරය පානඤ්ච
යෝ නරෝ අනුයුඤ්ජති
ඉධේවමේසෝ ලෝකස්මිං
මූලං ඛණිති අත්තනෝති

කාරුණික පින්වත්නි

අපේ ජීවිත වල සතුටුවිය හැකි අවස්ථා රාශියක් තිබෙනවා. මේ අතර අප බොහෝ සතුටු වන්නේ ලෞකික වශයෙන් ලබන ලාභ සත්කාරාදිය නිසයි. නමුත් අප වඩාත් සතුටුවිය යුත්තේ කුසල් දහම් සිදු කරන මොහොතේදීය. ලෞකික ජීවිතයේ භෞතික වස්තුන් නිසා ලබන ජීවන මිහිර තාවකාලිකයි. පසඳුරන් පිනැවීමෙන් ලබන සතුටද එසේමයි. ඇතැම් විට භෞතික වස්තූන්ගේ විනාශ නිසා කායික මානසික දුක්වේදනා විඳීමට සිදුවේ. පින් දහම් සිදුකොට එහි අගය වටිනාකම තේරුම් ගෙන ලබන සතුට සැනසුම දෙලොව බොහෝ කලක් විඳිය හැකියි. පෘථග්ජන මිනිසුන් ලෙස අප බොහෝ උත්සාහ ගන්නේ පස්කම් සුව විඳීමටයි. මේ ආශාවන්ගේ සීමාවක් නැහැ. සංසිඳීමක් නෑ. ඇතැම් විට ජීවිතය අවසන් වෙනවා. ආශාවන්ගේ තෘප්තිය නිමවන්නේ නෑ. ලෞකික ලෝකයේ පෘථග්ජන සිතේ ස්වභාවය මෙයයි. මේවා කෙළෙස් රෝග. මෙයින් අත් මිදෙනු සඳහා පැහැදිලි මාර්ගය වන්නේ සම්බුදු රදුන් පෙන්වා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. එනිසා අප සැවොම බණඅසමු දරමු. හැසිරෙමු. ලොව්තුරු දහමින් සදා සැනසෙමු.

මා මුලින් සඳහන් කළ සම්බුදු වදනෙහි අමිල වටිනාකමක් ඇති බව පෙනේ. එබැවින් එහි සරල අදහස විමසා බලමු. යම්කිසි මිනිසෙක් සුරාව පානය කරන්නේද? ඔහු පරලොව ජීවිතය අවාසනාවන්ත කර ගන්නා අතරම මෙලොව ජීවිතයේ සියලු අභිවෘද්ධින්ද මුලිනුපුටා විනාශ කරගනු ලබයි. යනු මෙහි පැහැදිලි සරළ අදහසයි.

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රහමෙර පානයෙහි ආදීනව විවිධ දේශනා වලින් පැහැදිලි කර දෙයි. සිඟාලෝවාද සූත්‍රයෙහි සන්දිට්ඨිකා ධනඤජානි, කලහප්පවඩ්ඪති, රෝගානං ආයතනාවං, අතිත්ති සංජනනී, කෝපීනං නිදංසනී, පඤ්ඤාය දුබ්බලී කරණී, ජට්ඨං පදං භවති ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා සුරාමේරය මජ්ජපමා දට්ඨානුයෝගේ යනුවෙන් දක්වා තිබේ.

ගෘහපතිය මදයට හා ප්‍රමාදය හේතුවන රහ මෙර පානයේ ආදීනව සයක් ඇත. 1. තමා සතු රන්රිදී ගේ දොර මුතු මැණික් ආදි දේ විනාශ වී යනවා. 2. අඩ දබර කලකෝලාහල ඇති වෙනවා. 3. ලෙඩ රෝග වැලදෙනවා, 4. නින්දා අපහාස ඇති වෙනවා, 5. ලැජ්ජා භය නැති වී තිරිසෙනෙක් මෙන් හැසිරෙනවා. 6, නුවණ පිරිහී දුර්වල අයෙකු වෙනවා.

ධනය වස්තුව විනාශ වීමේ මූලික හේතුව මත්ද්‍රව්‍ය පානය කිරීමයි. මිනිසුන් දිවා රෑ දෙක්හි වෙහෙස වී ධනය සම්පාදනය කරන්නේ සතුටින් ජීවත් වීමටයි. නමුත් දෛනිකව මත්පැන් පානය කරන්නේ නම් එබඳු අයට දියුණු වෙන්න බැහැ. සාමය සතුටද අහිමි වෙයි. සදාකාලිකව දුකම උරුමය. සුසුම්ලන්නට සිදුවේ.

බුදුරදුන් ධරමාන කාලයේ හතළිස් කෝටියක් ධනැති මහධන සිටාන කෙනෙක් වාසය කළා. ඔහු ඇසුරු කළේ සුරාව සූදුව ජීවන චර්යාව කරගත් පාපතර මිනිස් ප්‍රතිරූපකයන්. ටික කලකදී ඔහුගේ ධනය පිරිහුණා. ගේ දොර ඇඳුම් පැළඳුම් ආදියත් විකුණා මත්පැන් පානය කළා. අම්බලමක මියැදෙන්න සිදු වුණා.

බුදුරජාණන් වහන්සේ ඔහුගේ ජීවන තොරතුරු දැන කරුණු පැහැදිලි කළා. කළණ මිතුරු ඇසුරක් තිබුණානම් එනුවර පළමු සිටු තනතුරත්, මැදිවියේ ජීවිතය පිළිබඳ සිතුවානම් දෙවන සිටු තනතුරත්, අවසන් කාලයේ සිතා බලා විමසා ක්‍රියාකළේ නම් තෙවන සිටු තනතුරත් ලබන්න ඉඩ තිබුණා. පළමුව දෙවනුව තෙවනුව ධර්මානුකූ®ලව ක්‍රියා කළානම් පිළිවෙළින් අනාගාමි සකෘදාගාමි , සෝවාන් යන මාර්ග ඵල ලැබීමේ වාසනාව තිබුණා. නමුත් සිදුවූයේ කුමක්ද? සුරා ලෝලිත්වය නිසා මෙලොව ඉමහත් කායික මානසික දුක් දොම්නස් උරුමකොටගෙන පරලොව වශයෙන් අපායගාමි වීමයි.

සුරාවේ ආදීනව අතර දෙවැන්න කලකෝලාහල ඇතිවීමයි. පළමුව නිවසින් ආරම්භ වන අසමගිය දෙවනුව අසල්වාසීන් අතරටද ගොස් ඥාති ධර්ම හා අන්‍යොන්‍ය සබඳතා පළුදු කර ගනී. සාමය සතුට සහජීවනය ද විනාශ කරගනු ලබනවා. කායික මානසික වේදනා උරුම කොටගෙන බොහෝ කලක් වෛරයෙන් ක්‍රෝධයෙන් පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කරනවා. ඇතැම්විට නීතිමය ප්‍රශ්න ඇති කරගෙන අධිකරණය සිපිරි ගෙය දක්වා ඒවා ව්‍යාප්ත කරනවා.

තුන්වැන්න දරුණු ලෙඩ රෝග වැලදීමයි. මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනිම නිසා ඇතිවන බොහෝ රෝග සුවකළ හැකි මට්ටමක නැහැ. ජීවිතයෙන් සමුගැනීමට තරම් ඒවා බරපතල විය හැකියි. අක්මාව දියවී විනාශ වෙනවා. පෙනහළු රෝග උගුරේ හා ආමාශ ගත රෝග වැලදෙනවා. ආහාර අරුචිය, මන්ද පෝෂණය රුධිර පීඩනය, හෘදයාබාධ, මොළයේ ශෛල විනාශවීම, වැනි බරපතල රෝග වැලදෙනවා.

සිව්වැනි ආදීනවය නින්දා අපහාස ලැබීමයි. මත්පැන් බොන්නන් හඳුන්වන්නේ බේබද්දන් කියල. මෙබඳු අයට සමාජයේ කිසි තැනක් නැහැ. ඔවුන් පිළිකුල් කරනවා. ගමේ සමාජයේ පන්සලේ කටයුතු වලට ඒ අය සුදුසු නැහැ. ඔවුන්ට ආවාහ විවාහ වෙන්න අපහසුයි. ‘මතට තිත’ මනාලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙයින් තරමක් හෝ නිදහස් කර ගැනීමට හැකිවේවි. රිය අනතුරු අවම වේවි. මිනිස් ඝාතන අඩුවේවි.

පස්වැන්න ලජ්ජා භය නැති වී යාමයි. මත් වුණාම තිරිසන් ගති මතුවෙන අවස්ථා ඇතිබව පේනවා. ඇ¼ඳුම ඇති නැති බව, කියන දේවල හරයක් නැති බව වැටෙහන්නෙ නැහැ. තම බිරිඳට දරුවනට මවුපියාදීන්ට පවා අසභ්‍ය පරුෂ වචනයෙන් අමතනවා. පියා-දුව නොහදුණන සොහොයුරා සොයුරිය නොහඳුනන, තරමට මානසිකත්වය අවම වෙනවා. බේබද්දට සදාචාරයක් නැහැ. ඔවුන් බලන්නේ තාවකාලික ආශ්වාදය පමණයි. මෙයින් කුමක්ද සිදුවන්නේ මවුපිය දූ දරු සබඳතා පිරිහී යනවා. ගෞරවය කෙළෙසෙනවා.

සයවැන්න නුවණ පිරිහී යාමයි. මහත් අභිමානයෙන් කෑදර කමින් දෙතොලින් මුවගට ගන්නා ගිනි වතුර ආමාශයට ඇතුළු වෙනවා. ආමාශයේදි මේවා ලේ වලට ඇතුළු වෙනවා. ලේ සිරුර පුරාම ගමන් කරනවා. බලන්න පින්වතුනි මේ තරම් බලසම්පන්න ක්‍රියාකාරි මොළය මත්පැන් නමැති අධික විෂ සහිත ගිනි වතුර යොදා විනාශ කර ගන්නවා. ඉන්පසු මොකද වෙන්නෙ. මතක ශක්තිය ධාරණ ශක්තිය නෑ. ශාරීරික මානසික ශක්තිය නෑෑ. යමක් නිසියාකාරව නිවැරදිව නිරවුල්ව ක්‍රමානුකූලව කරන්න බෑ. මොළය යොදා කරන සෑම ක්‍රියාවක්ම අඩපන වෙනවා. ඉන්පසු මන්ද බුද්ධිකයෙක් පිස්සෙක් වගේ් ජීවත් වෙනවා. වටිනා ජීවිත නිකරුණේ් විනාශ කර ගන්නවා.

පින්වතුනි, බුදුපියාණන් මහා පිරිනිබ්බාන සූත්‍රයේ දී දේශනා කළා සුරාවට ලොල්වීම නිසා ශ්‍රද්ධා , ශීල, ලැජ්ජ, භය , බහුශ්‍රැතභාවය ආදී ආර්ය ධන විනාශ වන බව. එසේම අනන සුත්‍රයට අනුව පෙන්වා පුද්ගල දියුණුවට හේතුවන කරුණු හතරක් ඇතිබව. අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ , අනවජ්ජ සුඛ යනුවෙන් මේවා හැඳින්වෙනවා. සුරාසොඩාට බේබද්දාට මේ සිව් ආකාර දිණුව ලබා ගත නොහැකි වොනවා. සිගාලෝවාද සූත්‍රයේදී සුරාව පානය කරන්නන් පාපමිත්‍රයන් ලෙස හැඳින්වූවා. වසල පරාභව සූත්‍රවලදී ‘සුරාදුත්තෝ’ යනුවෙන් ඔවුන් හ¼ඳුන්වා තිබෙනව.

පින්වත් සාධුනි, මේ දහම් ලිපිය කියවන ඔබ ඉඳහිටවත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන අයෙක් නම් එයින් අත්මිදෙන්න උත්සාහ ගන්න. ඔබ මත් පැන්වලට යොමු කළේ ඔබට බේබද්දා යන නරක නම ගෙන දුන්නේ ඔබේ යටි හිතයි. ඔබ එයින් ගලවා මුදවා ගත හැක්කේද ඔබේ යටි හිතටයි. ඔබ නිතර ඔබේ සිත සමඟ සාකච්ඡා කරන්න. ගැලවීමේ මිදීමේ වෙන්වීමේ මඟ සොයන්න. මෙහි අහිතවත් අනර්ථකාරී අවැඩදායි නිෂ්ප්‍රයෝජන බව නිතර සිහි කරන්න.

මෙලොව ඉර හඳ ගස් ගල් පවතිනා තුරා අප ජීවත් වෙන්නෙ නැහැ. ඉතා ටික කාලයයි ජීවත්වීම. අපට හොඳ මිනිසත්කමක් ලැබී තිබෙනවා. පිරිසුදු දහමක රස විඳින්න මඟ පෑදී තිබෙනවා. එසේනම් ඇයි මත් වතුර මත්ද්‍රව්‍ය නිසා ජීවිත විනාශ කර ගන්නේ. වැරදි කරන අය හිතේ දුක උරුම කරගෙන මැරී ගොස් උපදින්නෙ බොහෝ දුක් ඇති බිහිසුනු අපාය භූමි වල. මේ පිළිබඳ සිතා මෙලොව පරලොව දෙලොව පිරිහෙන මත් පැනින් ඉවත්ව මනා හැසිරීමෙන් යුක්තව කටයුතු කිරීමට අදිටන් කර ගනිමු. දහම් රසද මෙනෙහි කිරීමෙන් ලැබෙන පින දෙවියන් සහිත ඔබ සියලු දෙනාටම ලැබීමෙන් නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් සැනසීම ලැබේවා!

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]