UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෙහෙර විහාර

දූනගහ ගලඋඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කුරු කෝරළයේ දූනගහ පත්තුවේ දූනගහ මං සන්ධියේ සිට නිල්පනාගොඩ දෙසට ගමන් කරන විට සැතපුම් 1/2 ක් පමණ දුරින් මෙම සියවස් පැරණි විහාරස්ථානය පිහිටා ඇත. මිනුවන්ගොඩ සිට බඩල්ගම බස් රථයෙන්ද මෙම ස්ථානයට පිවිසීමේ පහසුකම් ඇත.

මහා මාර්ගයේ සිට මෙම ස්ථානය වෙත නෙත් යොමු කළ විට පළමුව නෙත ගැටෙන්නේ සාංචි තොරණ සහ ඉපැරැණි ධර්මශාලා මන්දිරයි. විහාරස්ථානයට ඇතුල් වූ විට මනස්කාන්ත තපෝ වනයකට අවතීරණ වූවා සේ දැනේ. වම්පස ඇති උස් වූ ගල්කුල මත චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කර ඇත. ඒ සමගම එයට පහළින් සුවිසල් බෝධිරාජයා දකුණු පසින් පිහිටා ඇති අතර, ගලේ පිහිටි දර්ශනීය සංඝාවාසය, ඝන්ඨාර, කුළුණ, ළිඳ සහ පොකුණු දෙක ගල් පර්වතය මත පිහිටා ඇති බැවින් මෙම විහාරස්ථානයට ගලඋඩ පන්සල යනුවෙන් ව්‍යවහාරවී ඇත.

බෝධීන් වහන්සේට පිටුපසින් අලංකාර විහාර මන්දිරය පිහිටා ඇත. මෙම විහාර මන්දිරයට එවකට කෘෂිකර්මාන්ත ඇමැතිව සිටි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් මුල්ගල තබා ඇත. විහාර මන්දිරයේ ප්‍රතිමා සහ චිත්‍ර සියල්ල සුප්‍රකට චිත්‍ර ශිල්පී එම්. සාර්ලිස් මාස්ටර් විසින් නිර්මාණය කර ඇත. මෙතුළ බුදුරජාණන් වහන්සේ ඉඳි පිළිමයක් ද, හිටි පිළිමයක්ද, ඇත. විහාර මන්දිරයේ වට මාලයේ සුවිසි විවරණය, සදිවස ලෝකය සහ සත් සතිය සිතුවමට නගා තිබේ.

මෙම විහාරස්ථානයේ ආරම්භය 18 වන සියවසේ අග භාගයේ දී පමණ මාතර මැද උයන්ගොඩ ධම්මවංශ හිමිගේ මූලිකත්වයෙන් සිදු වී ඇත. ධම්මවංශ හිමිගේ යුගයේ ඉමහත් පරිශ්‍රමයකින් පසු විහාරස්ථානය කෙමෙන් කෙමෙන් දියුණුවට පත් වූ අතර, 1898 දී පමණ බෝධිරෝපණය සහ සීමා සම්මතය සිදු කර තිබේ. 1925 දී ඝන්ඨාර කුළුණ ද, 1930 දී ධර්මශාලාවද ඉදිකර තිබේ.

මෙම ඉදි කිරීම් සියල්ල උයන්ගොඩ ධම්මවංශ හිමිගේ කාලයේ දී නිමා කර ඇති අතර, 1961 දී විහාරස්ථානයට ඉමහත් සේවයක් කළ ධම්මවංශ නාහිමියෝ අපවත් වී ඇත.

ඉන්පසු අපවත් වී වදාළ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය විද්‍යා විශාරද කැළෑපිටිමුල්ලේ ශ්‍රී සංඝපාල නාහිමි විහාරස්ථානයේ නායක ධූරය ;හාබවා ඇති අතර, විහාරස්ථානය දියුණු කර එයට විදුලිය සහ ජලය ලබාදී ඇත. මෙම හිමි විසින් විහාරස්ථාන දහම් පාසැල ආරම්භ කර එය, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන දහම් පාසැල යනුවෙන් නම් කර ඇත. එකල මෙම දහම් පාසැලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250 ක් සහ ආචාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් පමණ සමන්විත වී තිබුණි.

1971 වර්ෂයේ දී සංඝපාල නාහිමි අපවත් වූ අතර, 1958 දී ආරම්භ වූ මෙම දහම් පාසල එම හිමියන්ට උපහාරයක් වශයෙන් අද දින ශ්‍රී සංඝපාල දහම් පාසැල යනුවෙන් නම් කර තිබේ. සංඝපාල හිමිගේ අපවත්වීමෙන් පසුව එම හිමිගේ පැවිදි සහෝදරයෙක් වූ පූජ්‍ය පණ්ඩිත කෙහෙල්ඇල්ලේ ආරියවංශ නාහිමි නායක ධූරය හොබවා ඇත. නාහිමි විසින් චෛත්‍ය ප්‍රාකාරය ඉදිකොට ඇත. මෙම කාලයේ දී පළාතේ අධ්‍යාත්මික වශයෙන් විශාල පිබිදීමක් සිදු වී ඇත.

ආරියවංශ හිමිගේ ඇවෑමෙන් පසු සංඝපාල හිමියන්ගේ ශිෂ්‍ය නමක් වූ දූනගහ ධම්මෝදය හිමි 1996 දී මෙම ස්ථානයේ අභිනව නාහිමි වශයෙන් පත්ව මේ දක්වා සියලු කටයුතු කරගෙන යයි. ඉතාමත්ව ක්‍රියාශීලී හිමිනමක් වූ ධම්මෝදය හිමි කෙහෙල්ඇල්ලේ ආරියවංශ ගුණානුස්මරණ සංඝාවාසය බෝධීන්වහන්සේ වටා අටවිසි බුද්ධරූප සහිත ප්‍රකාරය ඉදි කිරීම දොළොස් මහ පහණ සහ සාංචි තොරණ ඉදි කරන ලදී. දැනට නාහිමි විසින් රුපියල් ලක්‍ෂ හැටක් පමණ වැය වන අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීමට අවශ්‍ය මූලික සැලැස්ම ක්‍රියාත්මක කොට ඇත. පළාතේ සියලුම ආගමික කටයුතු බෝධිපූජා ධර්ම දේශනා සහ පිරිත් පිංකම් සියල්ල නාහිමිගේ ප්‍රධානත්වයෙන් සිදු වීම විශේෂ ලක්‍ෂණයකි. පෝය දිනයන්හි මෙහි විවිධ පිංකම් රාශියක් සිදු කරනු ලැබේ. මෙහි දහම් පාසැල මගින් පළාතේ සහ අවට දරු දැරියන්ට අගනා දහම් දැනුමක් ලබා දෙන අතර, සියලුම ආගමික කටයුතු දහම් තරග ආදියට සහභාගීවීමට මෙම සිසුන්ට අවස්ථාව සලසා ඇත. විහාරස්ථානයට ප්‍රබල දායක සභාවක් ඇති අතර, එමඟින් විහාරස්ථානයේ දියුණුවට විශේෂ සේවයක් සිදුවේ.





 


බුද්ධ ප්‍රතිමාව


චෛත්‍යරාජයා


අනුස්මරණ ශාලාව

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]