UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඌරල ශ්‍රී ක්‍ෂේත්‍රාරාම පුරාණ රජ මහා විහාරය


විහාරාධිපති වඳුරඹ අනෝමදස්සි නා හිමි

දකුණු ලක ගාලු පුර දේශයෙන් ඔබ්බට සැතපුම් 13 ක් පමණ දුර පිහිටි ඌරල ශ්‍රී ක්‍ෂේත්‍රාරාම පුරාණ රජමහ විහාරය ඓතිහාසික වැදගත්කමකින් යුත් පුණ්‍ය භූමියක් ලෙස ප්‍රකටව පවතී.

සුන්දරවූ සරු කෙත්යායක් මැද දූපතක් ලෙස පුංචි කඳු ගැටයක ඉදිවී ඇති මෙම විහාරය වසර 100 කට වඩා පැරැණි ය. ක්‍ෂේත්‍රාරාම විහාරය ඓතිහාසික වශයෙන් සඳහන් කරනුයේ පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ සමයට අයත් කාසි වර්ගයක් මෙම භූමියේ දී හමුවීම නිසා වැදගත් බවයි. එකලට වැඩ වාසය කොට ඇති විහාරාධිපති වන්නේ වඳුරඹ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේගෙන් අනතුරුව ශිෂ්‍ය හිමිනමක් වූ ඌරල ශ්‍රී සුමංගල සෝභිත හිමියන් විහාරාධිපතිත්වය දැරූහ. වසර කීපයකට පසුව ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වැලිවිටියේ සිරි සරණතිස්ස හිමි විහාරාධිපතිත්වය දැරූ අතර,එම යුගයේ දී විහාරස්ථානයට අයත් ධර්මශාලා, මල් ආසන, ළිං, පොකුණු ලැගුම් ගෙවල් ආදී සියලු අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ කර හිතකාමී පරිසරයක් හා ධර්මානුකූල සමාජයක් ගොඩනැඟීමට ප්‍රදේශයේ දායක පින්වතුන්ගේ සහයෝගයෙන් වැලිවිටියේ සරණතිස්ස හිමියන් කටයුතු කොට ඇත.

විහාරාධිපති වැලිවිටියේ සරණතිස්ස හිමියන්ගේ ඇවෑමෙන් පසු මෙම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වූයේ විචිත්‍ර ධර්ම කථික ගාල්ල මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සරණාතිස්සාභිධාන ශ්‍රාස්ත්‍රවේදී වදුරඹ අනෝමදස්සි හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසමින් ආගමික හා ශාස්තී‍්‍රය කටයුතු දියත් කරමින් ප්‍රදේශයේ දරු දැරියන් බුද්ධිමත් දැහැමි පිරිසක් බවට පත් කිරීමට ක්‍රියාකාරී වී ඇත. ඒ සඳහා නොකඩවා පවත්වාගෙන යනු ලබන දහම් පාසල විපුල ඵල ගෙන දෙන තක්ෂිලාවක් වී තිබේ.

නාගොඩ ප්‍රා.ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 2 ක පමණ භූමියක පිහිටි මෙම විහාරස්ථානයට ගම්මාන 05 ක පමණ ජීවත් වන පවුල් රාශියක දායකත්වය පවතී. දායක සභාව දහම් පාසල ආදී විවිධ ප්‍රජා සංවිධානවල මූලිකත්වය ගෙන විහාරාධිපති වහන්සේ ඇතුලු හිමිවරුන් කටයුතු කරන අතර ගම්වැසියන් සමග ආගමික හා සංස්කෘතික සබැඳීයාව අඛන්ඩව පවතී.

මෙහි අංග සම්පූර්ණ අලංකාර විහාර මන්දිරය බෝධීන් වහන්සේ සහ ‍ෙචත්‍යරාජයා එකම මළුවක ඉදිකර තිබීම ඉතා වැදගත් ය. භික්‍ෂූන් වහන්සේලාගේ ලැඟුම් ගෙය, ධර්මශාලාව හා විශ්‍රාමශාලාව සහිත අංග සම්පූර්ණ විහාරාංග රැසක් මෙහි ඉදිකොට ඇත. බුදුමැදුර තුළ ඇති සියලුම පිළිම වහන්සේලා, අඹා තිබීම දුර්ලභ සිද්ධියකි. ඒවා තවමත් වර්ණවත්ව දැකුම්කළු බවෙන් පිරී ඇත.

සිද්ධාර්ථ කුමරු බිහිවීම, බුදුවීම හා පිරිනිවන් පෑම බොදු පසුබිමක සියලු සිද්ධීන් අලංකාර ලෙස අඹා ඇත.

වර්ෂ 1978 දී ආරම්භ කළ සිරි සුමංගල පිරිවෙණ ප්‍රදේශයේ දූ දරුවන්ට හා භික්‍ෂූන් වහන්සේලා එකළ තක්‍ෂිලාවක් ලෙස කීර්තිමත්ව පැවැතියත් පසු කලෙක නොවැලැක්විය හේතු මත පිරිවෙණ නතර කළ බව වර්තමාන විහාරාධිපති හිමි පැවසීය.

උන්වහන්සේගේ ගෝලබාලයින් වශයෙන් තෙනමක් මෙහි වැඩ සිටිති. වදුරඹ රතනසාර හිමි විහාර කටයුතු භාරව ක්‍රියා කරයි.

ශාස්ත්‍රවේදී ඌරල චන්දිම හිමි බද්දේගම ඉදුරුපත්විල විද්‍යාරාජ පිරිවනේ ආචාර්ය වරයෙකි.

ශාස්ත්‍රවේදී පොරවගම නාලක හිමි දැනට මාතර දෙයියන්දර විද්‍යාකීර්ති පරිවේණාධිපති වශයෙන් කටයුතු කරයි.

ඓතිහාසික වශයෙන් නම් දරා තිබෙන මෙහි විහාරාධිපති වහන්සේගේ අනුශාසනාව පරිදි නව වසර උදාවීමත් සමඟ 2008 ජනවාරි මස 11 වන දින සිට 18 දින දක්වා රටට ජනතාවට ත්‍රිවිධ හමුදාවට සෙත්පතා සති පිරිත් දේශනයක් සමඟ අලංකාර පින්කමක් පවත්වනු ලැබීය.
 


බුදු පිළිම වහන්සේ


විහාරයේ දසුනක්


විහාරය දුර සිට පෙනෙන අයුරු

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]