Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - සංයුත්ත නිකාය ජම්බුඛාදක සංයුත්ත යේ නිබ්බාන සූත්‍රයෙන් උපුටාගත් පාඨ කීපයකි මේ.

නිබ්බාණං නිබ්බාණන්ති ආවුසො සාරිපුත්ත වුච්චති – කතමන්නු ඛො ආවුසො නිබ්බාණංති. ජම්බුඛාදක පිරිවැජියා සැරියුත් තෙරුන් වහන්සේට මෙසේ කීය. ඇවැත් සාරිපුත්‍රයෙනි! නිවන නිවනයි කියනු ලැබේ. ඇවැත් සාරිපුත්‍රයෙනි! නිවන කවරේද? මෙම සූත්‍රයෙහිම අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්චජි කිරියායති. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතක් ඇත. ජම්ඛුඛාද පරිබ්‍රාජක, සැරියුත් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ගැටලුව වැනි ධර්ම කාරණා බෞද්ධ ශ්‍රාවක පිරිස නිරතුරුව පසක් කරගත යුතු ය. මෙම ‘සදහම් දැනුම’ තීරුවෙන් ධර්මාවබෝධය සඳහා එය පැහැදිලි කරන්න.

පිළිතුර - පිළිතුර අවබෝධ කර ගැනීම පහසුව සඳහා දේශනාපාලියෙහි එන පාඨ කිහිපයක් උපයෝගී කර ගනිමු.

නිබ්බාණං පරමං සුඛං

නිවන උතුම් සුවයයි. කතමන්නු බො ආවුසො නිබ්බාණං ති - ඇවැත්නි නිවන කවරේද

යො ඛො ආවුසො රාගක්ඛයො - දොසක්ඛයො මොහක්ඛයො - ඇවැත්නි! රාගය, ද්වේශය, මෝහය වැනසීම නිවන නමින් හැඳින්වෙයි.

බුදු දහමෙහි පරම ආගමික නිෂ්ටාව නිවනයි. බෝසතාණන් වහන්සේ සුමේධ තාපසව විසූ අවස්ථාවෙහි මෙසේ කල්පනා කළ බව ජාතකට්ඨ කථාවෙහි සඳහන් වෙයි. දුකක් තිබෙන විට සැපක් ද තිබෙන්නාක් මෙන් සසරක් ඇත්නම් සසරින් මිදීමක් ද තිබිය යුතු ය. උණුසුම තිබෙන විට සිසිලසක් තිබෙන්නා සේ තුන්වැදෑරුම් ගින්නක් තිබෙන විට නිවනක් ද තිබිය යුතු යි. ලොව නරක තිබෙන විට හොඳ ද තිබෙන්නාක් සේ සසරදුක ඇතිවිට නිවනද තිබිය යුතු ය. ප්‍රස්තුතය තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අපවත් වී වදාළ නාරද හිමිපාණන්ගේ ‘බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ’ නමැති ග්‍රන්ථය ඇසුරු කරමු.

පසිඳුරන් මගින් දතහැකි කිසිවක් නොමැති හෙයින් නිර්වාණය හිස් බවක් (උච්ඡේදයක්) නාස්තිකත්වයක් යයි සිතීම, අන්ධයාට නොපෙනෙන බැවින් ආලෝකය නැතැයි පැවසීම වැනි, අතාර්කික, ප්‍රකාශයකි. ජලය ගැන පමණක් දැන සිටි මත්ස්‍යයෙක් ඉබ්බෙකු සමග වාද කර ගොඩබිම යැයි යමක් නැති බව ජයග්‍රාහී විලාසයෙන් ප්‍රකාශ කළ ආකාරය කියවෙන ජන කතාවක් වෙයි. ඔහු එසේ ජයග්‍රහණය කළේ ඔහුගේ ප්‍රශ්න සියල්ලටම නැත යන පිළිතුර ලබා ගන්නට සමත් වූ හෙයිනි.

මුළු ජීවිතයම ජලයෙහිම ගතකළ නිසා ජලයගැන මිස වෙන කිසිවක් ගැන මත්ස්‍යයා නොදැන සිටියේ ය. දිනක් මත්ස්‍යා පොකුණෙහි ඒ මේ අත පීනමින් සිටිනා අතර ඔහුට ගොඩබිම් සංචාරයක් කර පැමිණි ඉබ්බා මුණ ගැසිණ.

සුබ උදෑසනක් වේවා! මිත්‍රයා, හුග දවසකින් දැක්කෙ නෑ. කොහේද? ඔබ ගිහින් හිටියේ? යැයි ඔහු ඇමතූ ඉබ්බා මම ගොඩබිම රවුමක් ගිහින් මේ ආව විතරයි. “ගොඩබිම” පුදුමයට පත් මාළුවා විමසීය. මොකද්ද ඔය ගොඩබිම? එහෙම දෙයක් මම දන්නේ නෑ. මම එහෙම දෙයක් දැකල නැහැ. තියෙනවද එහෙම දෙයක් ? වෙන්න බෑනේ? යැයි තවදුරටත් විමසීය. කමක් නෑයි කැරණාවෙන් පැවසූ ඉබ්බා ඔබ එහෙම නෑ කියල හිතනව නම් එහෙම හිතන්න හැබැයි තැනක් තියෙනවා. මම එහේ ගිහින් ආවායැයි කීවේ ය. හැබෑද අපි තේරුමක් ඇති විදියට කතා කරමු. මට කියන්න ඔය ගොඩබිම හැටි කොහොමද කියලා.එහේ වතුර තියෙනවද? නෑ එහෙ වතුර නෑ. එහේ සීතලයි. ප්‍රණීතයි. නැවුම් කියන්න පුළුවන්ද? බෑ එහෙම කියන්න බෑ. එළිය වදින්න, විනිවිද යන්න තරම් පැහැදිලිව පිරිසුදුව තියෙනවද? නෑ එළිය විනිවිද යන්නේ නෑ. මෘදුද? මට වරල්ගහල ඕන ඕන විදියට එහාට මෙහාට පීනන්න පුළුවන්ද? නෑ මෘදු නෑ. එහේ පීනන්න බෑ. එහාට මෙහාට දියපාරවල් වගේ ගලනවද? හෙල්ලෙනවාද? නෑ එහාට මෙහාට දිය පාරවල් වගේ ගලන්නේ නෑ. හෙල්ලෙන්නේ නෑ. පෙණ නැගි නැගී රළගහනවද? නෑ.එහෙම වෙන්නෙත් නෑ. මාළුවා සතුටින් ජයග්‍රාහීව කියා සිටියේ හා ඒක තමයි මම කිව්වේ. ඔයා ඔය කියන ගොඩබිම නෑ. මගේ ප්‍රශ්න සේරටම උත්තර නෑ. කියලමනේ ලැබුණේ. සීතලත් නැත්නම්, ප්‍රණීතත් නැත්නම්, පැහැදිලිත් නැත්නම්, පීනන්නටත් බැරි නම්, කිමිදෙන්නටත් බැරිනම්, ගලන්නෙත් නැත්නම්, හෙල්ලෙන්නෙත් නැත්නම්, ඉතින් ඒක නැතිදෙයක් නේ ? එන්න එපා මට ඒ ගැන කියන්න. හරි, හරි, ගොඩබිම කියල දෙයක් නෑ. ඔබ කැමැති නම්, එහෙම කියාගන්න. මං හිතනව ඔබ දිගටම එහෙම කියයි කියල. ඒ වුණාට වතුර ගැනයි ගොඩබිම ගැනයි දෙකම දන්න අය කියයි. ඔයා තමන්ට දකින්නට නො ලැබුණු හැමදේම නැති දේවල් විදියට හිතන මෝඩ මාළුවෙක් කියල.

එසේ පැවසූ ඉබ්බා මාළුවා වතුරේම එහා මෙහා පීනද්දී ගොඩබිම තව රවුමක් යන්නට පිටත් විය. ජලය සහ ගොඩබිම යන දෙකම දැන සිටි ඉබ්බා ගැනත්, මාළුවා ගොඩබිම ගැන තේරුම් ගන්නට අසමත් වූ අයුරුත් මේ කතාවෙන් පැහැදිලි වේ. මේ අයුරින් ලෞකික ලෝකෝත්තර යන උභය තත්ත්වයන්ම දත් රහතන් වහන්සේ පුහුදුන් පුද්ගලයාට ලෝකෝත්තර යථාර්ථය ගැන ලෞකික පද ව්‍යවහාර වලින් විවරණය කරන්නට අසමත් වෙති. එමෙන්ම හුදු ලෞකික නුවණින් ලෝකෝත්තර යථාර්ථය දැනගන්නට නොහැකියි . ජම්බුඛාදක පරිබ්‍රාජක ඇසූ දෙවන ප්‍රශ්නයට ඉතාමත් සරලව පිළිතුරු දී ඇත. ‘අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො’ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම නිවන සඳහා ඇති මගයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, යන අටයි.

ප්‍රශ්නය - මහා ධර්මපාල ජාතක දේශනාව අසා අනාගාමී ඵලයට පත් වූ ශ්‍රේෂඨ පුද්ගලයා කවුද?

පිළිතුරු - ශුද්ධෝදන රජතුමා.

ප්‍රශ්නය - සංඛ්‍යාත්මක ව අකුසල සිත් 12 කි. මෙය වෙන් ව දක්වා ඇති කොටස් එකතුවකි. ඒ ඒ කොටස්වලට වෙන්කොට දක්වන්න.

පිළිතුර - ලෝහ මූලික සිත් – 08, දෝෂ මූලික සිත්, 02 මෝහ මූලික සිත් 02, එකතුව 12.

ප්‍රශ්නය - දුකෙහි පැවැත්ම ඇත්තේ ස්කන්ධ පංචක යෙහි පැවැත්ම මතය. “සංචිත්තෙන පංචුපා දානක්ඛන්ධා දුක්ඛා” මේ ධර්ම පාඨය පැහැදිලි කරන්න.

පිළිතුර - රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකයයි. මේවා එකිනෙක වෙන්කොට සලකා බලන විට ඒවායේ පවතින ගති ලක්‍ෂණ 03 කි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාව යනු ඒතුනයි. යමක් අනිත්‍ය නම්, වෙනස් වන සුළු නම් (යදනිච්චං තං දුක්ඛං) එය දුක පිණිස වේ.

ප්‍රශ්නය - කාමච්ඡන්දය - කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - නීවරණ ධර්ම පහෙන් පළමුවැන්න, කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම කැමැත්ත, ආශාව,

ප්‍රශ්නය - සුප්ප බුද්ධ රජතුමාගේ වැඩිමහල් සොහොයුරිය මහාමායා දේවියයි. බාල ම සොහොයුරිය කවුද?

පිළිතුර - මහා ප්‍රජාපතී ගෝතමියයි.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.