සංශෝධන නැති පිරිපුන් දහම
අම්බලන්තොට බැරගම
ගල්විල පුරාණ රජමහා විහාරවාසී
දෙල්ගොඩ ඤාණසුමන හිමි
වෙසක් පුන් පොහෝ දින පින්බර උදෑසනක සියලු කෙළෙසුන් නසා සම්බුදු බව පසක්
කර ගත් සිදුහත් බෝසතාණන් වහන්සේ සත්වයකු විසින් යමක් කළ යුතුද ? යමක්
දත යුතුද ? ඒ සියල්ල පිරිසිඳ දැන, දැක අප්‍රමාණ වූ දෙවියන්, මිනිසුන්ගේ
දුක් ගිනි නිවාලමින් ලොවට විවරණය කළ සේක.
ධර්මස්වාමි අමාමෑණින් වහන්සේ සම්බුද්ධත්වයත් සමග ලබාගත් ප්‍රමාණකල
නොහැකි මහා ප්‍රඥාවෙන් තුන් ලෝකයත්, තුන් කාලයත් මනාකොට දැන, දැක
ආශ්චර්යවත් වූ පරිපූර්ණ වු මුල, මැද, අග, කලණ වූ උතුම් වූ ශ්‍රී
සද්ධර්මය දේශනා කොට වදාළහ. ඒ ධර්මය තුළ පැවතියේ ජීවිතය හා ලෝකය පිළිබඳව
වූ යථාර්ථයයි. එය කාලයෙන් කාලයට වෙනස් වන්නක් නොවේ. තවත් කිසිවකුට
වෙනස් කරන්නට අඩු පාඩු සකස් කරන්නට හිස්තැන් පුරවන්නට දෙයක් ඒ තුළ
නොමැත.
ත්‍රිපිටක පොත් වහන්සේ අසූහාරදහසක් ධර්මස්කන්ධයෙන් යුක්ත වේ’ මෙම
ධර්මයත් විනයත් ශාසනයේ අනාගත පැවැත්මයි. එය සියලු බොදුනුවන්ගේ
ශාස්තෘවරයාද නිවන්මග උගන්වන ගුරුවරයාද වේ.
බුදුපියාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සීමා පැනවිය නොහැකිය. එය විශ්වය
සේ අනන්තය. මහ පොළව සේ පළලය. මහ සයුර සේ ගැඹුරුය. උන් වහන්සේ සතු වනුයේ
මිනිසත් බව තුළින් ලබාගත් ඥානය, ප්‍රඥාව දක්වා දියුණු කළ මහා අවබෝධයකි.
එය අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් පුරා පුරන ලද බුදුකුරුදම් තුළින් ලද
පන්නරයෙන් ඇති කර ගත්තක් වේ. එසේ අසීමිත වූ උන්වහන්සේගේ අවබෝධය අද සමහර
පුහුදුන් මිනිසුන් වසර පණහක හැටක කාලයකින් ලබා ගත් පටු දැනුමක් තුළින්
විවේචනය කරන්නට යයි. අඩු පාඩු සකසන්නට යයි. භෞතිකවාදීන් තම වාදය හා
බුදු දහම ගළපන්නට උත්සාහ කරයි. ඔවුන් තම ප්‍රාථමික දැනුමට ග්‍රහණය නොවන
නොඑසේ නම් පංචේන්ද්‍රියන්ට ග්‍රහණය නොවන දිව්‍ය, බ්‍රහ්ම, ප්‍රේත ආදී
ආත්මභාවයන්, ලෝකයන් මනඞකල්පිත ඒවා ලෙස විග්‍රහ කරන්නට උත්සාහ කරයි. තවද
විද්‍යාඥයින් ඊළ¼ග නිමේෂයේදී වෙනස් විය හැකි දැනට පවතින සත්‍ය වූ නූතන
විද්‍යාව සමඟ සදාතනික සත්‍ය වූ බුදු දහම ගළපන්නට උත්සාහ කරයි. මේ සියලු
දේ තුළ ඇත්තේ අප තුළ වන මං මුළා වීම හැරෙන්නට අන් කවරක්ද ? ධර්මය
පිළිබඳව අනාගතයේදී මෙසේ වැරදි දෘෂ්ටීන්ගෙන් සිතන්නට ඉඩ ඇති බව බුදු
පියාණන් වහන්සේ අවබෝධකර ගෙන සිටි බව දේව දූත සූත්‍රයෙන් පැහැදිලි වේ’
එහි නිරය හා එහි සත්වයන්ගේ ස්වභාවය පිළිබඳව කරන විග්‍රහය අවසානයේ
උන්වහන්සේ මෙසේ දේශනා කළහ. ‘පින්වත් මහණෙනි ! මා විසින් දේශනා කරන ලද
මේ දේවල් සමහරෙක් සැක කරන්නට ඉඩ ඇත. නමුත් මේ කිසිවක් තමන් වහන්සේ
කිසිම දෙවියකුගෙන්, බ්‍රහ්මයකුගෙන්, මාරයෙකුගෙන්, ශ්‍රමණයෙකුගෙන් අසා
දැනගත් එවා නොවෙයි. තමන් වහන්සේගේ බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත් ඒවා
වේ’. මේ ආකාරයෙන් එකිනෙකා විවිධකාරණයන් සම්බන්ධයෙන් හැඟීම්බරව,
සංවේදීව, පටුව, ජීවිතය හා ලෝකය පිළිබඳවත්, ධර්මය පිළිබඳවත් ඇතිවන ගැටලු
විසඳීමට යාමේදී ධර්මය හා ගැටේ යැයි සිතා ධර්මයට සංශෝධන ඉදිරිපත් කරන්නට
යයි. බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ කුඩා, අනු කුඩා ශික්‍ෂා පද
කාලානුරූපව වෙනස් කර ගත හැකිය යන දහම් කරුණ පමණක් ඉදිරිපත් කරමින් සමහර
පින්වතුන් භික්‍ෂු විනයටත් ගිහි පැවිදි ශිලයටත් සංශෝධන ඉදිරිපත් කරමින්
සිටී. මෙසේ කරන්නන් දැනගත යුතු කාරණා කිහිපයක් වේ. එනම් පළමු ධර්ම
සංගායනාවේදී ශාසනභාරධාරී, ධර්ම විනයධර, බහුශ්‍රැත, නික්ලේශී, සිව්
පිළිසිඹියාවන්ගෙන්, අභිඥාවන්ගෙන්, ත්‍රිවිද්‍යාවන්ගෙන්, සමන්විත වූ
පන්සියයක් මහරහත් උතුමන්ගේ තීරණය අභියෝගයට ලක් කරන්නට තරම් තම නුවණ
මුහුකුරා ගොස් ඇති බව සමහරෙක් සිතයි. එසේම ධර්මය, විනය පිළිබඳ යම්
නිගමනයකට ඒමේදී තමන් දැන ගත් එකම දහම් කරුණක් මත පදනම් ව විග්‍රහ
කරන්නට යාම සාර්ථක නොවේ. සමස්තයක් ලෙස ධර්මය තුළ පවතින විග්‍රහයන් හා
ගැළපීමෙන් ධර්මානුකූල වන නොවන බව වටහා ගන්නේ නම් මැනවි.
එකම දහම් කරුණකින් ධර්මය තේරුම් ගැනීමේදී සමහර විට වැරදි සිදුවිය හැකි
බවට හොඳම උදාහරණයකි ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ යන බුදුපියාණන්
වහන්සේගේ දේශනය පරිශීලනය කරන ඇතමුන් කර්මය වනුයේ චේතනාව පමණක් බව
සිතයි. නමුත් බෝධ්‍යඅංග හතක්, මාර්ග අංග අටත්, අභිජ්ඣා ව්‍යාපාද,
මිථ්‍යා දෘෂ්ටි යන තුනත්, අනභිද්‍යා, අව්‍යාපාද, සම්‍යග්දෘෂ්ටි, යන
කාරණා තුනත් ඇතුළුව චේතනාවත් සමග ධර්මයෝ විසි දෙකක් කර්මය ලෙස බුදු
පියාණන් වහන්සේ උගන්වයි. මෙහිදී බොහෝ විට චේතනාව කර්මය වීම සිදුවන
නිසාත්, එය මූලික වන නිසාත් බුදුපියාණන් වහන්සේ චේතනාව කර්මය ලෙස වදාරා
ඇත.
සම්මා දිට්ඨි යැයි කියනුයේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යථා භූත ඥානයට
හෙවත් සත්‍ය ඥානයටයි. ආර්ය යන්නෙහි තේරුම වනුයේ, වෙනස් නොවන, විකෘති
නොවන, සැමදා පවතින යන අදහසයි. බුදු පියාණන් වහන්සේ නිවන සඳහා ආර්ය
අෂ්ඨාංගික මාර්ගය ශිල, සමාධි, ප්‍රඥා ලෙස ප්‍රගුණ කළ යුතු බව පෙන්වා දී
තිබිය දී සමහරකු සුසීම සුත්‍රය ආදිය උපුටා දක්වමින් සම්මා සමාධියෙන්
තොරව ශුෂ්ක විදර්ශනා, ශුද්ධ විදර්ශනා ලෙස නම් කරගත් තමන්ගේ විදර්ශනාවක්
තුළින් ලබන නිවනක් පිළිබඳව විග්‍රහ කරයි. නමුත් බුදු දහම අනුපුර්ව
ප්‍රතිපදාවක් තුළ පවතින බව ඔවුන් අමතක කර ඇත. පහාරාද සූත්‍රයේ
‘සෛ්‍යයතාපි පහාරාද මහා සමුද්දෝ අනුපුබ්බ නිණිනෝ, අනුපුබ්බ පෝණෝ,
අනුපුබ්බ පබ්බාරෝ න ආයත කෙණෙව ප පාතෝ’ ලෙස පෙන්වා දෙමින් ධර්මයත්
විනයත් මහසයුරට උපමාකර පෙන්වා දී ඇති ආකාරයෙන් හොඳින් පැහැදිලි වේ.
මෙහිදී මතුවන ගැටලුව නම් සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය පිළිබඳ
අවබෝධ ඥානය නම් ආර්ය යනු වෙනස් නොවන බව නම් ඔවුන් ආර්ය අෂ්ඨාංගික
මාර්ගයේ ශිල, සමාධි, ප්‍රඥා කොටස් තුනෙන් සමාධි කොටසට අයත් සම්මා
වායාම, සම්මා සති, සම්මා සමාධි යන කොටස් ප්‍රතික්ෂේප කිරීම තුළින්
මාර්ග අංග අටෙන් පහක් පමණක් ප්‍රගුණ කිරීම නිවනට සෑහේය යන අදහසක් ඇති
කරයි. මෙසේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය වෙනස් නොවන්නක් යන
අදහස තුළින් ඇති වන සම්මා දිට්ඨිය එය වෙනස් වන්නේ යැයි පවසමින් අහිමි
කර ගන්නා ඔවුන් මිථ්‍යා දෘෂ්ටියට පැමිණ ධර්මය ලෙස අධර්මය ප්‍රකාශ කොට
ධර්ම රත්නය සැකකර, වෙනස්කර, ශ්‍රද්ධාව අහිමිකර ගැනීම තුළින් තිසරණයද
අහිමිකර ගනී. මේ අයුරින් තමන් මහා ධර්මධර, විනයධර, බහුශ්‍රැත බෞද්ධයකු
යැයි සිතා සිටින්නාට අහිමි වනුයේ තිසරණය පමණක් නොව බෞද්ධකමද වේ.
තවත් සමහරෙක් ශ්‍රී සද්ධර්මය සත්‍ය යැයි පිළිගන්නට තමන්ට ධර්මය අවබෝධ
වන තෙක් සිටී. ඔවුනට සිදු වනුයේ තමන්ට වැළදී ඇති මාරාන්තික රෝගයට
ප්‍රතිකාර දන්නා වෛද්‍යවරයා විශ්වාස නොකර තමන්ම වෛද්‍යවරයකු වී
ප්‍රතිකාර කර ගැනීමට සිතන රෝගියෙකුට අත්වන ඉරණම වේ. අප බොහෝම සිහියෙන්,
අවබෝධයෙන්, විමසීමෙන් ධර්මයත් විනයත් ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්
පිළිගත යුතුය. නොඑසේ නම් උක්ත උදාහරණයේ රෝගියාට සේ අසරණව මිය යන්නට
සිදුවීම කාහට නම් වළකාලිය හැකිද ?
ධර්මස්වාමි වූ බුදු පියාණන් වහන්සේ සත්ථාදේව මනුස්සානං වන සේක.
උන්වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ගුරුවරයා වන සේත. සත්වයන් දුකින්
නිදහස් කරන දහමක් දේශනා කලා මිස දෙවියන්ට වෙනම දහමකුත් මිනිසුන්ට වෙනම
දහමකුත් දේශනා නොකළ සේක. ඒ ඒ තැන්හිදී අදාල සත්වයන්ගේ ආසයට, අනුසයට
ගැළපෙන පරිදි දේශනා කොට වදාළ මුළු ධර්මස්කන්ධයම දෙව් මිනිසුන් නිවනින්
සනසවන්නට සමත් වේ.
තවත් සමහරෙක් ජීවිතයේ අනිත්‍ය ස්වභාවය අසුභ ස්වභාවය, දුක් සහිත ස්වභාවය
ධර්මය මගින් පෙන්වාදීම නිසා පවුල් ජීවිත අවුල් වන බවත් ලෝකය ආපස්සට
ගමන් කරන එකතැන පල්වන එකක් වන බවටත් පෙන්වා දීමට උත්සාහ කරයි. මෙවැනි
අයට ජීවිතය හා ලෝකය පිළිබඳව පවතින ඇත්ත මෙපමණටම තිත්ත වූයේ ඇයිද යන්න
විශාල ගැටලුවකි. සන්තානයක් තුළ පිරී පවතින තෘෂ්ණා මාන ආදිය සහිතව මෙය
මෙසේ වුවහොත් හොඳ යැයි සිතමින් ධර්මයට පරිභව කරමින් එය කලානුරූපීව
වෙනස් විය යුතු බවට මතයක්ද ඉදිරිපත් කරයි. මෙසේ ප්‍රකාශ කරන්නන්
ගැටෙන්නට උත්සාහ කෙරෙනුයේ තථාගතයන් වහන්සේ අප ජීවත් වන කාලය පිළිබඳව
පමණක් නොව අනාගතය පිළිබඳවද සක්සුදක් සේ දැක වදාල ධර්මය සමඟත්
උන්වහන්සේගේ පරිපූර්ණ වූ අවබෝධයත් සමග වීම විශ්මයට කරුණකි. ධම්ම කථික
සූත්‍රය, ශාස්තෘ පර්යේෂණ සූත්‍රය ආදි සූත්‍ර ගණනාවකම බුදුපියාණන්
වහන්සේ දේශනා කොට වදාළේ ජීවිතය හා ලෝකය පිළිබඳව නොඇලීම ඇති කරන
අවබෝධයෙන් කලකිරීම ඇති කරවන එහි ආදීනවයත් නිස්සරණයත් දකින විදිහේ දහමක්
දේශනා කරන ශ්‍රාවකයා තමන් වහන්සේගේ නියම ශ්‍රාවකයා වන බවයි.
මේ ආකාරයෙන් ධර්මයත් විනයත් කාලයට දේශයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කරන්නට,
සංශෝධනය කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. විනයෙහි කුඩා අනුකුඩා ශික්ෂා
පද එකින් එක වෙනස් කිරීමට යාමෙන් සිදුවන විනාශය මෙසේ පෙන්වා දිය හැක.
බොහෝ කාලයක් තිස්සේ ප්‍රාණඝාතයේ ආදිනව දකිමින් පවට බියෙන් විපාකයට
ලජ්ජාවෙන් සිහියෙන් විර්යයෙන් යුතුව කිසිම සතෙකුගේ ජීවිතය තොර නොකරන
අයෙකු මේ ආකාරයෙන් සිතන්නට පටන් ගනී.
මදුරුවකු මැරීම එතරම් බරපතළ කරුණක් නොවේ’ සමාජයද එතරම් පිළිකුල්
නොකරයි. අනෙක් අතට මදුරුවා මට කරදර කරන නිසාත් ඌ කුඩා සතකු වන නිසාත්
උගෙන් කිසිවකුªට ප්‍රයෝජනයක් නොමැති නිසාත් සමාජයේ අන්‍යයන්ටද හානියක්
වන නිසාත් මම මදුරුවන් පමණක් මරමි. මෙසේ තම වීර්යය පහ කරගත්, සීලය
බිඳගත්, සිහිය විසුරුවා ගත්, අධර්මය ධර්මය ලෙස සලකාගත් තැනැත්තා කුඩා
වූ වරදෙහි ලැජ්ජාව, භය නැති කරගනිමින් එම වරද සිදු කරයි. කරුණාව,
මෛත්‍රිය ටිකෙන් ටික සිතින් මැකී යයි. මදුරුවා මැරීම සඳහා යොදා ගත්
සියුම් ද්වේෂය ටිකින් ටික සිතේ වගා වේ. මෙසේ කුඩා වරදෙහි බිය නැති කර
ගන්නා තැනැත්තා මදුරුවාගේ සිට සර්පයින්, මාළුවන්, සාවුන්, ඌරන්, ගවයන්
ලෙස ප්‍රාණගාතයට සිත කය හුරු කර ගනී.
බුදුපියාණන් වහන්සේ විනය සඳහා ශික්ෂා පැන වූයේ තම ශ්‍රාවකයන් අපහසුවකට
පත් කිරීමටවත් ඔවුන් තම අණසකට යටත් කර ගැනීමට වත් ශ්‍රාවකත්වය එපා වන
ආකාරයේ සිල් පද තුළ සිර කර තැබීමටවත් නොව ප්‍රථම කොට නොපැහැදුණු අයගේ
පැහැදීම ඇති කර ගැනීම සඳහාත් පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු කිරීම
සඳහාත්ය. පි‍්‍රයමනාප, සන්සුන්, උතුමන් පසසන ආකාරයේ ශ්‍රාවකයන් බිහි
කිරීමත් තෘෂ්්ණා ප්‍රහාණය නමැති යුද්ධය දිනීමට අවශ්‍ය සංයමයත්,
ඉවසීමත්, වීර්යයත් ඒ තුළින් ඇති කිරීම සඳහාය. කෙලෙසුන්ගෙන් වන දැවිලි
පීඩා වලින් මිදීමට ටිකෙන් ටික හුරු කිරීම සඳහාය. සිත සමාහිත කර ගැනීමට
පහසු කිරීම සඳහාය. මෙසේ බුදු පියාණන් වහන්සේ විශාල පරාසයක විහිදී ගිය
අභිමතාර්ථයන් සාක්ෂාත්කර ගැනීම සඳහා හික්මීම පිණිස සිල් පද පැනවූ සේක.
බුදුපියාණන් වහන්සේ අල්පේච්ඡ බවත් සතුටින් සිටීමත් අගය කළහ. බොහෝ තැන්
වල තමන් වහන්සේ එක වේලක් වළඳා සුවසේ සතුටින් නිරෝගීව වාසය කළ ආකාරයත්
එයින් ලැබෙන සුඛ විහරණය පිළිබඳවත් පැහැදිලි කළ සේක. අධික ලෙස ආහාර
ගැනීමෙන් නිවනෙන් ඈත් වන ස්වභාවයක් (නීවරණ වලට මග පෑදිමෙන්) මිල මුදල්
භාවිතයෙන් ශාරීරික මානසික විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදු වන
ස්වභාවයත් බහු භාණ්ඩික වීම තුළින් සමාජයේ අප්‍රසාදයත්, තෘෂ්ණා වර්ධනය
වීමත් විවිධ කරදර පැමිණීමත් සිදුවන ආකාරය උන්වහන්සේ මනා කෙට පෙන්වා දී
ඇත. මෙසේ සියලු සංවර ශීලයන් හේතු සහිතව පනවා තිබියදී ඇතමෙකුට ඒවා වෙනස්
කිරීමේ, සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පෙනෙනුයේ කුමක් නිසාද යන්න
ගැටලුවකි. කෙසේ වෙතත් අධික ලෙස පංචේන්ද්‍රියන් පිනවීමත්, අධික ලෙස
ශරීරයට දුක් දීමත් යන දෙකම අන්ත දෙකක් වේ.
බුදු පියාණන් වහන්සේගේ සංවර ශීලයන් තුළින් මේ එක අන්තයකට හෝ නොයයි. එය
පහසුවෙන් සංසාර ගංගාව තරණය කර නිවන නමැති ක්ෂේම භූමිය කරා ළඟාවීමට ඉදි
කළ දැවැන්ත සුව පහසු ආරක්ෂිත පාලමකි. |