Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා පරිනිබ්බාණ සූත්‍රයේ සාහිත්‍යමය වටිනාකම

මහා පරිනිර්වාණ සූත්‍රය දීඝ නිකායේ මහාවග්ගයට අයත් සූත්‍රයකි. එම සූත්‍රය ආගමික, සංස්කෘතික, ඓතිහාසික වටිනාකමක් ඇති සූත්‍රයකි. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතේ අවසාන භාගය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයට අන්තර්ගත වී ඇත. බුදුන් වහන්සේ පන්සාලිස් වසක් දඹදිව නොයෙක් ස්ථානයන්හි, නොයෙක් පුද්ගලයන් පිළිබඳව දේශනා කළ ධර්මයන්හි කෙටි හැඳින්වීම් හෙවත් ඒ ධර්ම දේශනාවන්ගේ මාතෘකා පාඨ පමණක් මහාපරිනිර්වාණ සූත්‍රයේ දී මතක් කර දුන් බව ප්‍රකාශ වේ. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී කළ දේශනාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති ඒවා බව තේරුම් ගත හැකිවන්නේ එම දේශනාවන් විමසා බැලීමෙන් ය. එසේම එම දේශනාවන් විශාල පශ්චාත්කාලීන බෞද්ධ කලා ශිල්පයන්ගේ මූලාරම්භයට මෙන්ම එහි වර්ධනයට හේතු වූ බව පෙනේ. බෞද්ධ සංස්කෘතික ජීවිතය කෙරෙහි ද මහාපරිනිර්වාණ සූත්‍රයේ එන දේශනාවන් උපයෝගී වී ඇත.

මහා පරිනිර්වාණ සූත්‍රයේ දී භික්‍ෂු සමාජය හා ගිහි සමාජය වශයෙන් සමාජ දෙකක් දැක්වේ. භික්‍ෂු සමාජයේ හැඩ ගැස්මට හා අභිවර්ධනයටත් ගිහි සමාජයේ දියුණුවටත් උපයෝගී වන ධර්ම දේශනා, උපදෙස්, අවවාද, මහා පරිනිර්වාණ සූත්‍රය තුළින් එළි දැක්වේ. අපරිහානිය ධර්ම ධම්මදාස, අභිහායතන, අෂ්ට විමොක්‍ෂ, චතුරාර්ය සත්‍ය, සතර මහා පදෙස, යනාදී දේශනා ඉතා වැදගත් ය. එසේම මේ සූත්‍රයේ එන ආශ්චර්ය අද්භූත, මාරකථා විස්තරය, දේව බ්‍රහ්ම විස්තර කුකුත්‍ථතා නදියෙන් ගෙනෙන ලද, පැන් පිරිසුදු වීම යනාදී තොරතුරු වර්තා, පසුකාලීනව මහායාන ඉගැන්වීම්වල මුලාරම්භ අවස්ථාවක් හෝ මහායාන අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් වීමක් හෝ ලෙසට සිතීමට ඉඩ දෙයි. මේ සූත්‍රයේ සඳහන් වන ස්ථාන හා ග්‍රාම, නගර යනාදියද ආවසථාගාරය, රාජගාරය යනාදී ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ඓතිහාසික මෙන්ම සංස්කෘතික අතින් ද උසස් ස්ථාන ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ වැඩ සිටින අවස්ථාවේදී අජාසත් රජුගේ වස්සකාර බමුණා හමුවෙහි ආනන්ද හිමියන් අමතා වජ්ජින්ට දේශනා කළ අපරිහානිය ධම්ම හත නැවතත් දේශනා කළහ. වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මදේශනාව කළේ, බුදුරජාණන් වහන්සේ වරක් වේසාලියේ සාරන්දද චෛත්‍යයේ වැඩ සිටිද්දී ය. වජ්ජීන්ට, ලිච්ජවීන් යයිද ව්‍යවහාර කරති. ඔවුහු සමුහාණ්ඩු ක්‍රමයක් ඇතිව සිටියෝ ය. එසේම ඔවුන්ගේ බලයද විශාල වන අතර සමගිය නිසාම ඔවුන් පිරිහෙලීම අපහසු බව සඳහන් වේ. බුද්ධ කාලීනව ඉන්දියාවේ ගණ තන්ත්‍ර රාජ්‍යයක් ඇතිව සිටියෝ වජ්ජිහු ය. ඔවුන් බුද්ධ කාලයටත් පෙර සිට උසස් ගුණධර්මයන්ගෙන් යුක්තව විසූ බව සඳහන් වේ. එබඳු උසස් පිරිසකට බුදුන් වහන්සේ අපරිහානිය ධර්මයන් දේශනා කළහ. එම ධර්මය නැවත මහා පරිනිර්වාණ සූත්‍රයේ දී වස්සකාර බමුණා හමුවේ දේශනා කරන්නේ එම ධර්ම කාරණා හතෙහි ඇති වැදගත් කමත්, ඒවා පිළිපදින්නේ ඉක්මනින් පරිහානිය කරා ළඟා නොවන බවත් ප්‍රකට කිරීමට ය.

එම අපරිහානිය ධර්ම හත වජ්ජීන් පිළිපැදීම නිසා ඔවුන්ගේ පිරිහීමක් නොවුන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. සාමාජික වශයෙන් සලකා බලන විට මෙම වජ්ජි ධර්ම කවර සාමාජයටත් ගැලපෙන අතර එම සමාජ සංස්ථාවන්ගේ අභිවෘද්ධියට මේ කාරණා මහත්සේ බලපාන බව පැහැදිලි වේ.

“සාමග්‍රිය, නිත්‍යානුකූල වීම, වැඩිහිටියන්ට සැලකීම, කුලකාන්තාවන්ට රැකවරණය කිරීම, පූජනීය ස්ථානයන්ට (චෛත්‍ය, දේවාල ආදියට) ගරු කිරීම, පූජ්‍ය පක්‍ෂයට ගරු සම්මාන දැක්වීම” යන මූලික කරුණු පෙරදැරිකොට මෙම අපරිහානිය ධර්ම බුදුන් වහන්සේ දේශනා කළ බව පෙනේ. එම උසස් ධර්මතාවයන් කවර සමාජයකට වූවද කවර රටකද වූවද කවර කාල පරිච්ඡේදයකට වූවද එසේ බලපාන කරුණු ය. ඒ නිසා සංස්කෘතික අතින් විශාල වටිනාකමක් මේ වජ්ජීන්ගේ අපරිහානිය ධර්ම තුළින් උද්ගත වන බව පැහැදිලි ය.

වජ්ජීන්ට දේශනාකළ අපරිහානිය ධර්මයන් උපයෝගී කර ගෙන බුදුරජාණන් වහන්සේ මහ පරිනිර්වාණ සූත්‍රයේ දී, භික්‍ෂූන් උදෙසා ද අපරිහානිය ධර්මයන් දේශනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ වජ්ජි ධර්මය අනුව යමින් මුල් අපරිහානිය ධර්ම හත දේශනා කළහ.

භික්‍ෂුන් නිතර එක්වීම, බහුලව එක්වීම.

භික්‍ෂූන් සමගිව එක්වීම, සමගිව නැගි සිටීම, සමගිව සංඝ කෘත්‍යයන් කිරීම, මෙයින් භික්‍ෂු සමාජයේ සමගිය අපේක්‍ෂා කර ඇත. කෝසම්බි, ධම්මචේතිය යනාදී සූත්‍රවලින් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙත් “සුඛා සංඝස්ස සාමගගි” යන අදහස ප්‍රකාශ කොට ඇත. බුදුන් වහන්සේ සමහර විනය නීති පවා භික්‍ෂූන් වහන්සේගේ සමගිය උදෙසා පනවා ඇත. මහාවග්ග පාලියේ උපොසථක්‍ඛන්‍ධයේදී “අනුජානාමි භික්‍ෂවෙ වාතුද්දසේ පණ්ණජසෙ පක්ඛමියාව අට්ඨමියං සන්නි පතිත්වා” යනාදී ක්‍රමයට රැස්වන ලෙස විනය ශික්‍ෂා පද දේශනා කළේ සමගිය උදෙසා ය. මේ අන්දමට භික්‍ෂුසංඝයාගේ සාමගි‍්‍රය බුදුන් වහන්සේ බලවත් සේ අපේක්‍ෂා කර ඇත.

භික්‍ෂූන් නොපැන වූ නීති නොපැන වීම, පැන වූ නීති නොසිඳීම.

භික්‍ෂූන් වැඩිමහලු සංඝ ස්ථවිරයන් වහන්සේලාට ගරු කිරීම, පිදීම හා ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතීම.

භික්‍ෂූන් තණ්හාවගේ වසඟයට නොපැමිණීම.

භික්‍ෂූන් ආරණ්‍යසේනාසන්නයන්හි සාපේක්‍ෂව වාසය කිරීම.

භික්‍ෂූන් සබ්‍රහ්මචාරිව වාසය කිරීම, ආගන්තුක සත්කාර කිරීම.

යන මේ සප්ත අපරිහානිය ධර්ම භික්‍ෂු සමාජයේ අභිවෘද්ධිය සඳහා දේශනා කර ඇති බව පෙනේ. එම සප්ත අපරිහානිය ධර්ම පොදු භික්‍ෂු සමාජයේ දියුණුවට අදාළ වන කරුණු ය. වජ්ජි ධර්මය මෙන්, ඒවාද සමාජ ධර්මයක් ලෙස සිතිය හැක. බුදුන්වහන්සේ භික්‍ෂූන් උදෙසා අපරිහානිය ධර්ම හතක් පමණක් දේශනාකර නොනැනවතී, තවත් අපරිහානිය ධර්ම (7) හතේ කොටස් හතරක් ද (6) හයේ කොටස් 1 ක් ද වශයෙන් අපරිහානිය ධර්ම (41) හතලිස් එකක් දේශනා කළහ.

බුදුන් වහන්සේ ඊළඟට දේශනා කළ අපරිහානිය ධර්ම (7) භික්‍ෂූන්ගේ බාහිර කරුණු පිළිබඳවය.

එම අපරිහානිය කරුණු බොහෝ විට භික්‍ෂු සමාජයෙන් පරිබාහිර කරුණු කෙරෙහි යොමු වූවා සේ පෙනේ. භික්‍ෂූත්වයට නොගැලපෙන කටයුතුවලට භික්‍ෂූන් නොයැදී සිටීම දියුණුවට හේතුවක් බව දක්වා වදාළහ. ඒ හැර අධ්‍යාත්මික දියුණුව භික්‍ෂූන් තුළ ඇති කර ගැනීමට උපකාරී වන අපරිහානිය ධර්ම ඊළඟ කොටස් වලින් පැහැදිලි කොට ඇත. “ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බාහුසචිඡය, උට්ඨාන වීර්ය, පිහිටුවා ගත් සිහිය, ප්‍රඥවන්ත බව“ යහ කරුණු (7) හතත් “සති, ධම්මච්චය, වීරිය, පී‍්‍රති, පස්සධි, සමාධි, උපේක්‍ඛා යන බොජ්ඣංග ධර්මයනුත්, “අනිච්ච, අනාත්ම, අසුහ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ යන සප්ත සංඥා වනුත්, කය, වචනය, සිත, යන ද්වාරත්‍රය සංවර කර ගැනීම හා ලද දෙය සාධාරණව බෙදා ගැනීම, සිල් වලින් සමානාත්වයට පත්වීම, සාමාන්‍ය දෘෂ්ටියෙන් සමානව විසීම, යන කරුණු (6) හයත්, භික්‍ෂූන් වහන්සේලාගේ අභ්‍යන්තරික ගුණ වගාව පිණිස අපරිහාණිය ධර්ම මාර්ගයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ විසින් අවධානය කොට ඇත. අපරිහානිය ධර්මයන් යම්තාක්කල් භික්‍ෂූන් අතර පවතී නම් ඒතාක් කල් භික්‍ෂූන්ගේ දියුණුවක් මිස පරිහානියක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. භික්‍ෂූන්ගේ අභ්‍යන්තර හා බාහිර දියුණුව පිණිස උපයුක්ත අපරිහානිය ධර්ම දේශනා කළ අතර බුද්ධ ධර්මයේ නිවන් අවබෝධ කිරීමට උගන්වා වදාළ, කය, වචනය, සිත, සංවරණය පිණිස උපකාරී වන ධර්ම පටිපාටිය අපරිහානිය ධර්මයන්හිලා ඉගැන්වීම වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බොහෝ තැන “ඉති සීල, ඉති සමාධි, ඉති පඤ්ඤා, සීල පරිභාවිතො සමාධි මහ පඵලො හොති, මහානි සංසො, සමාධි පරිභවිතා පඤ්ඤාම මහප්ඵලා හොති මහානිසංසා, පඤ්ඤා පරිභාවිතං ට්ත්තං සම්මදේව ආසාවෙහි විමුච්චති සෙය්්‍යටිදං කාමසවා, භවසවා, (දිටිඨසවා) අවිජ්ජාසවාති” යන දේශනාව බහුලව කළ බව පෙනේ. බුද්ධාගමේ මූලික පදනම සීල, සමාධි, ප්‍රඥා තුනයි. මේ කාරණා තුන එකිනෙකට සම්බන්ධ වන බව හා ඒ හේතුකොට ගෙන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වන ආකාරයත් පැහැදිලි කොට ඇත. මේ ධර්ම තුන මත සියලු බුද්ධ ධර්මය පදනම් වී ඇති බව හා සියලු බුද්ධදේශනාවන් එම ශීල සමාධි ප්‍රඥායන ධර්ම තුනට අඩංගු වන බව පැහැදිලි වෙයි. එසේම බුද්ධාගමේ උගන්වන ආර්යඅෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා තුනට බෙදෙන අතර ඒ ආර්ය මාර්ගය පිළිපැදීමෙන් සීල, සමාධි, ප්‍රඥා යන තුන වැඩේ. ඒ නිසා නිර්වාණබෝධය සිද්ධවන්නේ ය. මේ ත්‍රිශික්‍ෂාවට මුළු මහත් බුද්ධ ධර්මයම අන්තර්ගතය. කය, වචනය, දෙක හික්මීම සීලයෙනුත්, සිත හික්මීම සමාධියෙනුත් සිදු කෙරෙන අතර සීල සමාධි දෙක හේතු කොට ගෙන නිර්වාණාවබෝධ ප්‍රඥාව ලැබෙන්නේ ය.

බුදුරදුන් නාලන්දාවෙහි වැඩ වාසය කරද්දී සැරියුත් හිමියන් බුදුරදුන් හමුවට ගොස් බුදුන් වහන්සේගේ සම්බෝධිඤාණය පිළිබඳ කරන වර්ණනාව සිංහ නාදයක් ලෙස උන්වහන්සේ සලකා ඇත. එහිදී සැරියුත් හිමියන් “ධර්ම අනුවෘත්තිය” ගැන කියයි. දීඝ නිකායේ සම්පසාදන සූත්‍රයේත්, සංයුත්ත නිකාය මහා සතිපට්ඨාන සූත්‍රයේත්, ධර්මාශෝක රජුගේ බාභෲ සෙල් ලිපියේත්, මෙම බුදු වරුන් පිළිබඳ වර්ණනාව සඳහන් වන්නේ ය. බුදුන් වහන්සේ හා සැරියුත් හිමියන් අතර කෙරුණු මෙම සංවාදය අතීත, වර්තමාන අනාගත යන කාලත්‍රය පිළිබඳව වූ බුදුවරුන් සිහිපත් කරයි. ඒ බුදුවරුන්ගේ ගුණ ප්‍රකාශ කරන අතර සම්බෝධි ඥානය ගැනද විස්තර වේ.

බුදුරජාණන් වහන්සේ පාටලීගම ආවසථා ගාරයේ වැඩ සිටිද්දී පාටලිගම උපාසක වරුන් උදෙසා සීලවිපත්ති දෝස පහකුත්, සීල සමාපත්ති ගුණ පහකුත් දේශනා කළහ. ඒ ගම උපාසක වරුන් අවසථා ගාරය සැරසූ ආකාරය ඉතා විසිතුරු ය. ආවසථාගාරය නම් අමුත්තන්ට හෙවත් ආගන්තුකයන්ට නවාතැන් දෙන ස්ථානයයි. මෙම ස්ථානය රෙදි අතුරා, අසුන් පනවා, පැන් පෙරා තබා, තෙල් පහන් දල්වා, අලංකාර කොට ඇත. මේ අන්දමට අදත් භික්‍ෂූන් වහන්සේ සඳහා ගිහි අය නවාතැනක් හෝ ධර්මදේශනා ස්ථානයක් සකස් කරන විට මේ ආකාරයට කටයුතු කරන බව පෙනී යයි. බෞද්ධ සම්ප්‍රදායක් ලෙස මේ අවාස, ආසන, පහසු සැලසීමේ දී අනුගමනය කළ වැඩ පිළිවෙල එදා සිට අද දක්වාම නොනැසී පැවතීගෙන එන බව ප්‍රකට ය. එය වැදගත් සංස්කෘතික ලක්‍ෂණයකි.

බුදුරදුන් පාටලී ගම උපාසකයන් අරභයා සීල විපත්ති දෝස පහ දේශනා කරමින් දුස්සීලයා 1. භෝග විනාසයට පත්වේ, 2. අපකීර්තියට පත්වේ, 3. නිතර බියෙන් හා ලජ්ජාවෙන් යුක්ත වේ, 4. මුළාව මැරෙයි, 5. මරණයෙන් මතු අපායේ උපදියි. යන දුර්විපාක සීල විපත්තියට පත් දුස්සීලයාට ලැබෙන බව දේශනා කළ සේක. මෙසේ දේශනා කළ උන්වහන්සේ සීලවන්තයා ලබන්නා වූ සම්පත් පහක් ද දේශනා කළහ. 1. මහත් භෝග ලබයි, 2. කීර්තිය වැඩෙයි, 3. ලජ්ජාව හා බියක් නොමැතිව පිරිස් ඉදිරියට යයි, 4. නොමුලාව මැරෙයි, 5. මරණින් මතු ස්වර්ගයේ උපදියි, මේ අන්දමට සීලවන්තයාගේ ගුණ පැහැදිලි කොට පාටලී ගම උපාසක වරුන්ට සිල්වත් වීමේ වැදගත් කම දක්වා වදාළහ. බුදුන් වහන්සේ සිල්වත්කම උසස්කොට දේශනා කළ ශාස්තෘවරයෙකි. උන්වහන්සේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සිල්වත්කම ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වා ඇති බව නොයෙක් දේශනාවන්ගෙන් පැහැදිලි වන්නේ ය.

බුදුන් වහන්සේ භණ්ඩ නාම ග්‍රාමයේදී භික්‍ෂූන් අමතා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කළ සේක. චතුරාර්ය සත්‍ය අවබෝධ සහ ප්‍රතිවේධ නොකිරීම නිසා බොහෝ කළක් මමද ඔබද සසර සැරිසැරූ බව දැක්වූහ. දුක්ඛ සමුදය, නිරෝධය මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම සසරින් එතෙර වී නිවන් ලැබීමට හේතු වන බව පැහැදිලි කළ සේක. මෙයින් බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීත් සූත්‍ර පිටකයේ නොයෙක් තැනදීත්, භික්‍ෂූන් උදෙසා ද ගිහියන් උදෙසා ද දේශනා කළ චතුරාර්ය සත්‍ය දේශනාව ඉතාම ලුහු¼ඩින් දේශනා කළ ස්වරූපයක් දක්වයි. බුදුන් වහන්සේ ආර්ය සත්‍යය ධර්මයට උපයෝගී වන පරිදි සෑම දේශනාවක්ම කර ඇත. ඒ නිසා මහාපරිනිර්වාණ සූත්‍රයේදී එය අවසාන වශයෙන් මතක් කර දුන්හ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ නාදිකාවේදි ආනන්ද හිමියන් විසින් සාළ්හ නන්ද සුදත්ත, යනාදි භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා මරණින් මතු කොහි උපන්නේදැයි ඇසූ ප්‍රශ්නය අරභයා ‘ධම්මදාස’ ධර්ම න්‍යාය දේශනා කළහ.

එම ධම්මදාස මගින් උන්වහන්සේ පැහැදිලි කළේ නව අරහාදි බුදු ගුණයත්, ෂට් විධ ධම්ම ගුණයත්, නව විධ සංඝ ගුණයත් යන සුවිසි මහා ගුණයන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව සිටි කෙනෙකු මරණයට පත් වුවහොත් ඔහු අපායගාමි නොවී යහපත් පුනර්භවයක් ලබන බවය. රත්නත්‍රය කෙරෙහි ස්ථිරසාර ශ්‍රද්ධාව (අවෙච්චපස්සාදන ශ්‍රද්ධාව) ඉතා උසස් බවත්, අපාය ගාමි නොවී සුගති සංඛ්‍යාත වීමට මෙන්ම සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් ලැබීමට ද එය උපස්ථම්භක වන බව විස්තර කොට දක්වා ඇත.

වේසාලියේදි බුදුන්වහන්සේ විසින් සිහියෙන් හා නුවණින් යුක්තව විසීමේ අගය දක්වන ලදී. සිහියෙන් යුක්තව විසීම හා අර්ථ අනර්ථ වැටහෙන නුවණින් යුක්තව විසීම මෙලොවත් පරලොවත් අභිවෘද්ධි දායක ගුණයක් බව ප්‍රකාශ කොට ඇත. මෙහි අගය සාමාජික වශයෙන් වුවද ඉතා විශාලය. සිහි අඩුකම තමාගේ් මෙන්ම, අනුන්ගේද පිරිහීමට විනාසයට කාරණයක් වන්නේ ය. එසේම යමක් තේරුම් ගැනීමේ නුවණක් නොමැති කමද නොයෙක් අන්දමේ පිරිහීම් වලට හේතුවක් වෙයි. ප්‍රඥාගෝචරව කටයුතු කිරීම දියුණුවට උපස්ථම්භක වෙයි. අභ්‍යන්තර හා බාහිර දියුණුව ප්‍රඥාව උඩ රැඳී පවතී. ඒ නිසා එහිදී තථාගතයන් වහන්සේ භික්ෂූන්ට කළ එම දේශනාව ඉතා කෙටි වුවත් එහි අගය නිමක් නැත.

බුදුන් වහන්සේ බේලුව ගමේදී වේශාලිය අසල මිත්‍ර විශ්වාස දැක පුරුදු භික්ෂූන් සමඟ වස් වසන ලෙස භික්ෂූන්ට නියම කළහ. එයින් පෙනී යන්නේ මිත්‍ර බව, විශ්වාසි බව දැක පුරුද්ද එකට වාසය කිරීමට උපකාරි වන බවයි. තම තමාගේ සුඛ විහරණය සඳහා එබඳු මිත්‍ර පිරිස් උපස්ථම්භක වන බව ප්‍රකට කළහ. බුද්ධාගම මිත්‍රත්වය උඩ රැඳුනක් නිසා එම අවවාදය ඉතා අගනේය.

එසේම බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය ඉතා වැදගත් එකකි. ‘ආනන්ද භික්ෂු සංඝයා මගෙන් කුමක් බලාපොරොත්තු වෙද්ද? ආනන්දය, මා විසින් ඇතුලත් හෝ පිටතත් නොතබා මාගේ දහම දෙසන ලදී. ආනන්ද තථාගතයන්ගේ් දහමින් ගුරු මුෂ්ටියක් හෙවත් නොකියා රහස් වශයෙන් ඉතුරුකරගත් දෙයක් නැත. ආනන්ද යමෙකුට මම භික්ෂූ සංඝයා පරිහරණය කරන්නේ්නම් කියා හෝ භික්ෂූ සංඝයා මා උදෙසා වසන කියා හෝ අදහසක් ඇද්ද? ඔහු ඒකාන්තයෙන්ම භික්ෂු සංඝයා අරභයා කිසිවක් කියන්නේ ය. ආනන්ද තථාගතයන්ට මම භික්ෂූ සංඝයා පරිහරණය කරන්නෙමි කියා හෝ භික්ෂූ සංඝයා මා උදෙසා වසන කියා හෝ අදහසක් නැත’ මේ පාඨය අනුව බුදුන් වහන්සේගේ නිහතමානිත්වය කැපී පෙනෙන්නේය. බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදී ශාස්තෲවරයන්් වහන්සේ නමකි.

ඒ නිසා උන් වහන්සේ කිසිම දෙයක් සඟවා නොතබා සියල්ල දේශනා කළහ. එසේම තම ශ්‍රාවක පිරිස තමා උදෙසා බැඳගෙන තබා ගැනීමටද කල්පනා නොකළහ. භික්ෂු සංඝයාට ස්වාධිනත්වය පැවරූහ. ඒ කාරණය තවදුරටත් ඔප්පු වන්නේ බේලුව ගමේදී ‘යෙ කෙචි ආනන්ද එතරහිවා මමංවා අවිජයෙන අත්තදීප විහාරස්සති අත්ත සරණා අනඤ්ඤ සරණ ධම්ම දීපා, ධම්ම සරණා අනඤ්ඤ සරණා තමතගේග මෙ තෙ ආනන්ද භික්ඛු භාවිස්සති යෙකෙ සික්ඛා කාමාති’ යනුවෙන් කළ අනුශාසනා වෙනි. තමාට තමාම පිහිට කරගෙන අනුන් පිහිට කර නොගෙන ධර්මය පිහිට කරගෙන වාසයකරන ලෙස භික්ෂූන්ට අවවාද කළහ. බුදුන් වහන්සේ මාර්ගය කියා දෙන්නෙක් මිස ගැලවුම් කාරයෙක් නොවෙන බව උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත. ‘තමාට තමාම වගකිව යුතුය’ යනු උන්වහන්සේගේ අවවාදයයි. බුදුරදුන් ජීවමාන කාලයේත් ඉන් පසුත් එම අවවාදය පිළිපදින ලෙස මතක් කළහ.

අංගුත්තර නිකායේ ‘කාලාම’ සූත්‍රයෙන්ද බුදුන් වහන්සේ නිදහස් සිතුවිල්ලට ප්‍රධාන තැනක් දී ඇත. එහිදී උන්වහන්සේ කාලාමවරුන්ට පෙන්නා දුන්නේ ආගම් ඉතිහාසයේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන අපූරු උපදේශයකි.

එම කාලාම සූත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීනත්වය පිළිබඳව කාරණා විස්තර කොට දක්වා ඇත. ඒ අයුරින්ම නිදහස් සිතුවිල්ලට ප්‍රධාන තැනක් දෙමින් බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ ‘මහා පදෙස’ විස්තරය කර ඇති බව පෙනේ.

ඒ මහා පදෙස දේශනා කිරීමෙන් උන්වහන්සේ ජනතාවට බුදු දහමෙන් ලැබෙන විශිෂ්ඨ ස්ථාන පැහැදිලි කළ සේක. පුද්ගලයන් හතර දෙනෙක් දක්වා ඔවුන්ගේ් මතකයන් හෝ කියමන් හෝ අනුශාසනා හෝ ඒ අයුරින්ම පිළිනොගෙන ප්‍රතික්ෂේප නොකර සූත්‍රයට, විනයට ගැලපේනම් පමණක් පිළිගන්නා ලෙස අවවාද කළහ. එසේ ස්වාධීන කල්පනා කර බුද්ධ දේශනාවන් හා සසඳා බලා (පොත් පත් හා සසඳා බලා) පිළිගන්නා ලෙස කළ අවවාද අනාගත බුදු සසුනේ චිරස්ථිතියට හා ආරක්ෂාවට ලොකු පිටුවහලක් වූ බව පෙනේ. ‘මේ සහනශීලිත්වය වූ කලී බෞද්ධ සංස්කෘතියෙත් බෞද්ධ සභ්‍යත්වයේත් ආරාමයේ පටන්ම පැවති විශිෂ්ඨ පරමාදර්ශයක්’ බව වල්පොළ රාහුල හිමි කියයි. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී භූමිකම්පා ඇතිවීමට හේතුඅටක් දක්වා ඇත.

වාතයත්, ජලයත් හේතුකොට ගෙන පොළොව කම්පා වේ. මහා සෘද්ධි ඇත්තෙකුට පොළොව කම්පා කළ හැක. බෝසතුන් මව් කුස පිළිසිඳ ගැනීම, මව් කුසින් බිහිවීම, බුද්ධත්වයට පත්වීම, ධර්ම චක්කප්පවත්ත සූත්‍රය පැවැත්වීම, ආයු සංස්කාරය අත්හැරීම, පිරිනිවන් පෑම යන හේතු අට හා ප්‍රත්‍ය අට මුල්වීමෙන් පොළොව කම්පා වන බව ප්‍රකාශ කොට ඇත. එම දේශනාවෙන් බෝසතුන් පිළිබඳව හා බුදුන් පිළිබඳව විශාල වටිනාකමක් ඇති බව ප්‍රකාශ වේ. එයින් පසු උන්වහන්සේ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි පිරිස් අටක් දක්වා ඔවුන් හමුවට ගිය විට ඔවුන් අමුත්තන් නොවන පරිදි එම පිරිසේ ඵම කෙනෙකු ලෙසින් ධර්ම දේශනා කළ බව දක්වා ඇත.

එම විස්තරයෙන් හා භූමි කම්පාව පිළිබඳව කෙරෙන විස්තරයෙනුත් බුදුන් පිළිබඳ අති මානුෂිකත්වය ප්‍රකාශ වේ. උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයට හෙවත් මිනිස් සමාජයටම අයත් කෙනෙකු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ කීප පොලකින් ආවරණය වෙයි.

එහෙත් බුදුන් වහන්සේ වදාල ‘අභි භායතන’ අට වැදගත් වේ. එමගින් විරුද්ධ ධර්ම හා අරමුණු මඩින එසේම යෝගාවචරයාගේ ස්වාමීත්වය පෙන්වන කරුණු විස්තර කර දක්වයි. කෙලෙස් තැවීමට යෝගාවචරයා වඩන්නා වූ යෝග ක්‍රමයන්ගේ හෙවත් ධ්‍යාන භාවනා ක්‍රමයන්ගේ වැදගත්කම හා අධ්‍යාත්ම ජීවිතයේ විමුක්තිය අවධාරණය කරන පිළිවෙල විස්තර කෙරේ. එයින් අනතුරුව අෂ්ට විමොක්ෂ (සමාපත්ති) විස්තර කර ඇත.

මනාව මිදීම ලක්ෂණය කොට ඇති සමාපත්ති හෙවත් ධ්‍යාන භාවනා කිරීම නිසා ලබන අෂ්ට සමාපත්ති පිළිබඳ පූර්ණ හැඳින්වීමක් මෙයින් ඉදිරිපත් කර ඇත.

මෙම අභිභායතන හා අෂ්ට විමෝක්ෂයන්ගෙන් බුද්ධාගමේ ‘චරන’ පක්ෂය පැහැදිලි කරයි. බුද්ධාගමේ ඇත්තේ දාර්ශනික පක්ෂය පමණක් යැයි කියන අයට මෙම ඉගැන්වීම හොඳම පිළිතුරකි. මේ ගැඹුරු දේශනා දෙකෙන් නිවන් අවබෝධ කිරීමට පිළිපැදිය යුතු ප්‍රතිපදා මාලාවක් විස්තර කර දක්වන අතර සංඥා වේදයිත නිරෝධය උගන්වා ඇත.

බුදුන් වහන්සේ මහාවන කූ®ටාගාර ශාලාවේදී භික්ෂූන් අමතා දේශනා කළේ, පන්සාලිස් වසක් උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හොඳින් ඉගෙන ඒවාට අනුව පිළිපැදීම දෙවි මිනිසුන්ගේ හිත වැඩ පිණිස පවතින බව ප්‍රකට කිරීමටයි. උන්වහන්සේ ලෝකයාට හිත වැඩ පිණිස දේශනා කළ ‘සතර සතිපට්ඨාන, සතර සම්ම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පංච බල, සතර බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් එහිදී මතක් කර දී ඇත. මුළු මහත් ධර්මයම මේ සත්සිත් බෝධි පාක්ෂික ධර්මයන්ට අඩංගු වන්නේ ය. එයින් උන්වහන්සේ දේශනා කළ සියලු දේශනාවන් පිළිබඳව පටුනක් දැක්වූවා යයි සිතීමට ඉඩ ඇත.

අනතුරුව ‘භන්ද දානි භික්ඛවේ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’ මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ වෙනස්වීම් ස්වභාව කොට ඇත්තේ ය.

නොපමාව කුසල් දහම් හි යෙදෙන්න යනුවෙන් කළ දේශනය බුද්ධ ධර්මයේ මූල න්‍යායක් කියා පාන්නකි. එනම් ‘ඇති වූ සියල්ල නැතිවෙයි’ යන මූල න්‍යායයි.

බුදුන්ට පවා එයින් මිදීමට නොහැකි බවත් සියල්ල බිඳෙන සුළු බවත් ප්‍රකාශ කළහ. එහෙයින් අනිත්‍ය තත්ත්වයෙන් මිදීම සංඛ්‍යාත නිවන අවබෝධ කිරීම පිණිස අප්‍රමාදව බණ භාවනා වල යෙදෙන ලෙස අවවාද කරයි. මේ අන්තිම බුද්ධ වචනය ඉතාම ශ්‍රේෂ්ඨ කියමනකි. සියලු බුද්ධ ධර්මයම පිඬුකොට ගත්විට මෙම දේශනාවේ වචන කීපයකට ඇතුලත් වන්නේ ය.

බුදුන් වහන්සේ වේසාලියේදි ‘ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය’ යන ධර්ම කාරණා විස්තර කර දේශනාවක් කළහ.

එම ධර්ම හතර අවබෝධ නොකිරීම නිසා සසර බොහෝ කාලයක් සැරි සැරීමට සිද්ධ වන බව ප්‍රකාශ කළහ. සීලය නිසා සමාධියත්, සමාධිය නිසා ප්‍රඥාවත් ඒ තුනම නිසා විමුක්තියත් වශයෙන් ලැබෙන පරිදි එහි විස්තර කර ඇත.

බුදුරජාණන් වහන්සේ පාවා නුවරින් කුසිනාරාවට වඩින අතර මග ‘කුකුත්ථා’ නදිය අසලදී කාලාම ගෝත්‍රික පුක්කුස මල්ල රාජ කුමාරයා, පැවිද්දන්ගේ ශාන්ත විහරණය ගැන කළ ප්‍රකාශය නිසා දේශනා කළ ධර්මය අගනේය. පැවිද්දන් සංඥාව අවධිව, ශාන්ත වූ ඉඳුරන් ඇතිව ඒකාරම්මණව සිටින විට බාහිර ලෝකයේ අරමුණු නොගන්නා අතර ඒවා කෙරෙහි සිත යොමු නොවන බව ප්‍රකාශ කොට වදාළහ.

බුදුන් වහන්සේ චූන්ද කර්මාර පුත්‍රයාගේ සූකර මද්දව දානය බුදුවන දා සුජාතාවගෙන් ලැබුණු කිරිපිඬු දාන මෙන් එකම ආනිසංසදායි පින්කමක් බව පිරිනිවන් මඤ්චකයේදී ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේගේ මහා කරුණා ගුණය හා කෘතවේදි ගුණය ප්‍රකට කරන්නේ ය. චුන්ද රංකරුට මහජනයාගේ දෝසයක් නොපැමිණීම සඳහා එසේ දේශනා කරන්නට ඇතැයි සිතිය හැක.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ සිට ආනන්ද හිමියන් අමතා සැදැහැවත් කුල පුත්‍රයා විසින් දැකිය යුතු සංවේග කටයුතු ස්ථාන හතරක් දේශනා කළහ. තථාගතයන් වහන්සේ උපන් තැන බුදුවුන තැන ධම්ම චක්ක ප්පවත්තන සූත්‍රය දේශනා කළ තැන පිරිනිවන් පා වදාල තැන යන ස්ථාන හතර සංවේග කටයුතු දැකිය යුතු ස්ථාන වශයෙන් පෙන්වූහ.

මෙය පශ්චාත් කාලීන බෞද්ධ සංස්කෘතිය කෙරෙහි මහත් සේ බලපෑ බව පෙනේ.

ධර්මාශෝක රජතුමා එම ස්ථාන වලට ගොස් වැඳපුදා, එම ස්ථාන වල ශිලා ලිපි පිහිට විමෙන්ද ඒ කරුණ පැහැදිලි වෙයි. අදත් ලාංකීය බෞද්ධයින් දඹදිව වන්දනාවේ යාමට මහත් රුචියක් දක්වන්නේ අර ඉහත දැක්වූ දේශනාව අනුව යාමෙනි.

මාගමුන් කෙරෙහි කෙසේ පිළිපදිමු දැයි ආනන්ද හිමියන් ඇසූ ප්‍රශ්නයට බුදුරදුන් වදාළේ සිහිනුවනින් යුක්තව කටයුතු කරන ලෙසය. එසේ උන්වහන්සේ දේශනා කිරීමේ වැදගත්කම පැහැදිලි වන්නේ පළමුවන ධර්ම සංගීතියේදි ආනන්ද හිමියන්ට චෝදනා කළ අවස්ථාවේ දී මාගමුන්වඩා ඇසුරට ගැනීම භික්ෂූන්ට නොයෙක් චෝදනා එළඹීමට හේතු වන බව උන්වහන්සේ අවබෝධ කොට ගෙන තිබිණ.

ඒ නිසා ඉහත දැක් වූ අයුරින් පිළිපැදීමට අවවාද කරන ලදී. එසේම තථාගත සිරුරට පිළිපඳින ආකාරය විස්තර කිරීමද පසුකාලීනව බෞද්ධ අධ්‍යයන ක්‍රම කෙරෙහි බලපා ඇත.

බුදුන්ගේ සිරුරට සත්කාර කළ යුතු ආකාරය සක්විති රජෙකුගේ සිරුරට කළ මනා මෙන් යැයි විස්තර කොට දක්වා තථාගතයන් වහන්සේගේ ථූපයක් කළයුතු බවද පෙන්නු සේක.

ඒ ථූපාභාර කළයුතු අය හැටියට බුදු, පසේ බුදු, ශ්‍රාවක (රහත්) සක්විති රජු, යන සතර දෙනා දක්වා ඇත.

මෙසේ ථූපාභාර කළයුතු යැයි දේශනා කිරීම නිසා අනාගත බෞද්ධ කලා ශිල්පීන්ගේ හා බෞද්ධ සංස්කෘතියේ ආරම්භය හා වර්ධනය පිණිස මූලාරම්භ වුන බව පැහැදිලි වේ. දඹදිව සාංචි භාරුත් ආදි චෛත්‍යයන් ද කනිෂ්ක රජුගේ චෛත්‍ය නිර්මාණයන්ද බිහිවීමට පමණක් නොව ලංකාවේ චෛත්‍ය කර්මාන්තයන්ගේ වර්ධනයටත් එම දේශනාව මුල් වූවා යැයි සිතීමට අවස්ථාව ලැබේ.

බුදුන් වහන්සේ ආනන්ද හිමියන් කෙරෙහි ආශ්චර්ය අද්භූත ධර්ම හතරක් පවතින බව ප්‍රකාශ කොට ඒවා සක්විති රජෙකු තුල ඇති ආශ්චර්ය අද්භූත ගුණයන්ට සමාන කර දක්වයි. එයින් උන්වහන්සේ තම උපස්ථායකයාගේ ගුණවර්ණනාව කිසි පැකිලීමක් නොමැතිව අනෙක් භික්ෂූන්ට දේශනා කළ බව පෙනේ. ඇති ගුණ කීම හෙවත් උපකාර කළ අයගේ් ගුණ කීම බෞද්ධ සමාජයට මේ නිසා පුරුදු පුහුණු විය. බුදුන්ගේ ශ්‍රී මුඛයෙන්ම එබදු ගුණ ප්‍රකාශ වීම ආනන්ද හිමියන්ගේ උසස් ගුණ හා වැදගත් කම අනෙක් භික්ෂූන්ට අවබෝධ වීමට උපකාරයක් වූවා යැයි සිතීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවක සුභද්‍ර නම් පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය ඉතාම කෙටි එකකි. උන්වහන්සේගෙන් අන්තිම ශ්‍රාවක සුභද්‍ර ඇසූ ප්‍රශ්න පැත්තකින් තබා ඔහුගේ් සිත දියුණු කිරීම සඳහා ආර්ය මාර්ගය හා බුදු දහමේ ගැඹුර දැක්වෙන ධර්ම දේශනාවක් දේශනා කළහ. එයින් සුභද්‍ර පැහැදි රහත් විය. සුභද්‍රගේ සිද්ධිය ගැන සලකා බලන විට අන්තිම මොහොතේ පවා තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස වෙහෙසුන බව පෙනෙන අතර උන්වහන්සේගේ මහා කරුණා ගුණය පැහැදිලි වෙයි. උන්වහන්සේගේ වෙහෙස නොබලා අනුන්ගේ යහපත පිණිස අවසාන මොහොත දක්වාම පර වැඩ නිරත වූහ.

‘සියා ඛො පනානන්ද, තුම්භාකං එව මස්ස අතීත සත්ථුකං පවචනං නත්ථි නොසත්ථාති? න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබබං යො වො ආනන්ද මයා ධමේමාච විනයොච දෙසිතො පඤ්ඤතේතා සො වො මමච්චයෙන සත්ථා යනුවෙන් බුදුන් වහන්සේ කළ දේශනාව අනාගත ශාසනය දෙස බලා කළ එකකි.

එයින් බෞද්ධ ශාසනය අශාස්තෘක යැයි නොසිතා බුදුන් වහන්සේගේ ධර්ම ශාස්තෘත්වයෙහි ලා තබාගන්නා ලෙස අවවාද කර ඇත.

බුදුන් වහන්සේගේ ධර්ම විනය දෙක ශාස්තෘ ලෙස සලකන්නට යැයි කළ අවවාද අනුව යමින් දඹදිව පලමුවන හා දෙවන ධර්ම සංගීති දෙකට ධර්ම විනය සංගිති යන නාමය පවා ලැබුණු බව පෙනේ.

බුදුන් වහන්සේ එම දේශනාව කළේ බුද්ධ ශාසනයේ චිර ජීවනය අපේක්ෂාවෙනි. ‘ආකංඛමානො ආනන්ද සංඝො මමච්ජයෙන බුද්ධානු බුද්දකානි සික්ඛා පදානි’ බුද්දකානි ශික්ෂා පද සමුහනය කළ හැකිය’ මෙයින් උන්වහන්සේ සංඝයාට ශාසනයේ බර පැවරූහ. මුලදී උන්වහන්සේ විසින් විනය නීතිරීති වෙනස් කිරීම පැන වීම ලිහිල් කිරීම ආදිය කරන ලදී.

නමුත් උන්වහන්සේගේ ඇවෑමෙන් සංඝයාට එම බලය පැවරින.

එහෙයින් කුඩා කුඩා සික පද වෙනස් කිරීමට පමණක් එම බලය පවරා ඇත්තේ එක්කෙනෙකුට පමණක් ශාසනභාරධාරි ප්‍රමුඛත්වය නොදී මුළු සංඝයාටම එම තත්ත්වය පැවරීමෙන් අනාගතයේදී ශාසනයේ පැන නගින විවිධ ගැටලුවලට පිළියමක් කල් ඇතුවම බුදුන් වහන්සේ යෙදුවා යැයි සිතීමට ඉඩ ඇත. එසේම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ ප්‍රතිපදා කෙරෙහි හෝ සැකයක් විමතියක් ඇති නොකර ගන්නා ලෙසද උන්වහන්සේ අනුදැන වදාරා ඇත.

එබඳු අදහසක් ඉදිරිපත් කරන්නට ඇත්තේ බුදුන් පිරිනිවීමෙන් පසු විවිධ පුද්ගලයින් ඉහත දැක්වූ සැක ඇති කිරීම හේතු කොට ගෙන ශාසනය කිලිටි වේය යන සැකය උඩ යැයි සිතීමට පුළුවන.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.