Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සසුනේ කතුනට ලැබුණේ සම තැන නොව - නිසි තැනයි

උදුවප් පසළොස්වක පොහෝ දිනය ලාංකික බෞද්ධ කාන්තාවට ඉතා වැදගත් වෙයි. එයට හේතුව සිරි ලක්දිව්හි මෙහෙණි සසුන පිහිටුවීම සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස එදින මෙහි සම්ප්‍රාප්ත වීම ය. එ හෙයින් මෙරට කාන්තාවට හිමි තැනත් මෙහෙණි සසුනත් පිළිබඳ මේ අවස්ථාවේ දී සලකා බැලීම යෝග්‍ය යැයි අපට සිතෙයි.

අද බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ පුරුෂ පක්‍ෂයට හිමි තැනම කාන්තාවට ද ලබාදුන් බව ය. එසේම සමාජයේ කාන්තාවට හිමි විය යුතු සම තැන පිළිබඳ අද බොහෝ සෙයින් අදහස් ප්‍රකාශ වෙයි.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට බුදු සසුන ගෙන වැඩීමත් සමඟම වාගේ මහමෙවුනා උයන සඟ සතු කොට පිදිණි. එදින අනුලා දේවිය සකෘදාගාමි ඵලයට පත් වූවා ය. ඇය පැවිද්ද ඉල්ලා සිටි හෙයින් ඒ සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට වැඩමවා ගැනීම මිහිඳු හිමියන් තුළ ඇති වූ අදහස යි. ස්ත්‍රීන් පැවිදි කිරීම සඳහා භික්‍ෂූණීන්ම මුල් විය යුතු ය. භික්‍ෂූන් වහන්සේ ඒ කාර්යය කිරීම විනයානුකූල නොවන හෙයිනි. දේවානම්පියතිස්ස රජු විසින් ධර්මාශෝක රජතුමා වෙත මේ ගැන දැන්වීමට දූත පිරිසක් යවන ලද හෙයින් සඟමිත් තෙරණිය ඇතුළු පිරිස උඳුවප් පුන් පොහෝ දින මෙහි සම්ප්‍රාප්ත වීමට කටයුතු සැලැසිණි.

එ සේ ලක්දිව මෙහෙණි සසුන ඇති වූ අතර, සිව් වන සියවසේ දී චීනයට වැඩමවන ලද මෙරට භික්‍ෂුණී පිරිසක් එරට ද මෙහෙණි සසුන පිහිටුවා වදාළහ. එහෙත් පස් වන සියවසේ දී ලක්දිව මෙහෙණි සසුන අභාවයට පත් විය. ඉන් අනතුරුව ලක්දිව මෙහෙණි සසුන යළි පිහිටුවීමට නොහැකි වූයේ අනෙක් ථෙරවාදී බුදු දහම පවතින රටවල ද අද මෙහෙණි සසුන නොපවතින හෙයිනි. ථෙරවාදී භික්‍ෂූණීන් වැඩමවා ගත නොහැකි ව මෙරට මෙහෙණි සසුන යළි පිහිටුවිය නොහැකි බව අපේ උගත් ධර්මධර විනය ගරුක සංඝපීතෲන් විසින් පෙන්වා දී ඇත. බුදුරදුන් ලොව පහළ වූ කාලයේ භාරතයේ පැවැති සමාජය බෙහෙවින් බ්‍රාහ්මණ ධර්මයට නතු වූයේ විය. ඒ සමාජයේ සමස්තයක් වශයෙන් කාන්තාවට හිමි වූයේ පහත් තැනකි.

බුදුරදුන්ගෙන් ලද තැන තරම් උසස් තැනක් එතෙක් කාන්තා පක්‍ෂයට ලැබී නොතිබිණි. සුදොවුන් රජු රහත් ඵලයට පත්ව පිරිනිවන් පෑමෙන් අනතුරුව - සෝවාන් ව සිටි මහා ප්‍රජාපතී ගෝතමී බිසව පැවිදිවනු රිසිව ස්ත්‍රී පක්‍ෂයට ද බුදු සසුනේ පැවිද්ද අයැද සිටියත් බුදුරජාණන් වහන්සේ ඒ අවසරය ලබාදීම තෙවරක්ම ප්‍රතික්ෂේප කළහ.

යළි එම ඉල්ලීම සඳහා ප්‍රජාපතී ගෝතමී බිසවුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන සර්වඥයන් වහන්සේ වෙත පා ගමණින් ම ගියේ තවත් ශාක්‍ය වංශික කාන්තාවන් පන්සියයක් ද සමඟ ය. ඒ අවස්ථාවේ දී ද එතුමිය ගේ ඉල්ලීම බුදු හිමියෝ ප්‍රතික්‍ෂ්ප කළහ. මෙයින් පෙනෙන්නේ බුද්ධ ශාසනයෙහි කාන්තාවට සම තැන් නොලැබුණු බව ය. යම්, යම් අවස්ථාවන්හි දී අතිශයෝක්තියට බරව කරුණු දක්වන සමහරු තමන්ගේ ජනපි‍්‍රයතාව ද අපේක්‍ෂා කරමින් බුදු සසුනේ ස්ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයම සමතත්ත්වය ලද බව පවසතත්, එය යථාර්ථය නොවේ.

ආනන්ද හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තා පිරිසට පැවිද්ද ලැබුණේ ගරු ධර්ම අටකට (අෂ්ට ගරු ධර්මය) එකඟවීමෙන් අනතුරුව ය. මේ කරුණු අට භික්‍ෂුණීන් සඳහා පැනවීමෙන් පැහැදිලි වන්නේ භික්‍ෂුවට ඇති ස්වාධීනත්වය භික්‍ෂුණියට ඉඳුරාම නොමැති බව ය. එයින් පළමුවැන්න හා අටවැන්න පමණක් දෙස බැලීමෙන් වූවද ඒ බව මනා සේ පෙනේ.

1. උපසම්පදාවෙන් වස් සියයක් ගත වූවද මෙහෙණක විසින් එදිනම උපසපන් වූ භික්‍ෂුවට වැන්ද යුතු ය. හුනස්නෙන් නැඟී සිටීම් ආදි ගරු සරු දැන්වීම් කළ යුතු ය.

8. භික්‍ෂුණීන් විසින් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය. භික්‍ෂූන් විසින් භික්‍ෂූණීන්ට අවවාද කළ යුතු ය.

මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේට වූවද ස්වභාව ධර්මයට පටහැනිව කටයුතු කළ නොහැකි බව ය. ස්ත්‍රී යනු ස්වභාව ධර්මයෙන් ලද දෙයකි. පුරුෂ බවද එසේම වෙයි. ඒ ස්වභාව ධර්මයෙන් පුරුෂයාට ලැබී ඇති තත්ත්වයට වඩා අවාසිදායක බවක් ඉතිරියට ලැබී ඇත. එය බුදුවරයකුටවත් සම්පූර්ණයෙන් වැළැක්විය හැකි නොවේ.

ස්ත්‍රියට බුදු සසුනේ සම තැන නොදෙන ලද්දේ, බුදු සසුනේ ද ස්ත්‍රියගේ ද ආරක්‍ෂාව තකා මිස ඇයට අගෞරවයක් සඳහා නොවන බව නුවණින් විමසා බලන අයට වැටැහෙනු නොඅනුමාන ය. සිය මව සේ කටයුතු කළ ප්‍රජාපතී ගෝතමියට පවා ඉල්ලූ සැණින් පැවිද්ද තථාගතයන් වහන්සේගෙන් නොලැබුණේ සකාරණ ව බව පෙනෙයි.

බුදුරජාණන් වහන්සේගෙන් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට, හෝ දිය යුතු තැන් හා තනතුරු ලැබෙන්නේ කුලය, බලය, නෑදෑකම ආදී ලෞකිකත්වය හා බැඳුණු කරුණු සැලැකීමෙන් නොවේ. ඊට වඩා ආධ්‍යාත්මික පක්‍ෂය පිළිබඳ සුදුසුකම්වලට අනුව ය.

යම් යම් අවස්ථාවලට අනුකූලව ස්ත්‍රිය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් විවිධ ප්‍රකාශ කොට ඇති බව ත්‍රිපිටකයේ සමහර තැන්වලින් පෙනෙයි.

ඒවා ඒ ඒ අවස්ථාවට හා ප්‍රස්තූතයට උචිත වූවද, සියලු තැනටම වලංගු නොවේ, හෙවත් යෝග්‍ය නොවේ.

කෝසල සංයුත්තයේ ධීතු සූත්‍රය එවැනි අවස්ථානුකූල ප්‍රකාශයකි. එහි මෙසේ සඳහන් වෙයි.

“ ඉත්ථි පිහි ඒකච්චියා
සෙය්‍යා පෝඝ ජනාධිප
මෙධාවිනී සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යෝ ඡායතී පෝසෝ
සූරෝ හෝති දිසම්පතී
තාදිසා සුභගියා පුත්තෝ
රජ්ජම්හි අනුසාසතීති
මෙහි අර්ථය මෙසේ ය.

රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ද, ශ්‍රේෂ්ඨ ය. එනිසා පෝෂණය කරනු මැනවි. නුවණැති, සිල්වත්, නැදිමයිලන් දෙවියන් ලෙස සලකන පතිවත රක්නා යම් ස්ත්‍රියක් වේද, උතුම් ය.

රජතුමනි, එවැනි කාන්තාවකට පුතෙක් උපන්නේ නම් හේ දක්‍ෂයකු වෙයි. එබඳු පුත්‍රයා රජ්‍යානු ශාසනයෙහි ද යෙදෙයි.

මේ ප්‍රකාශය බුදුරදුන්ගේ මුවින් නිකුත් වූයේ විශේෂ අවස්ථාවක දී ය. කොසොල් රජු බුදුරදුන් වෙත පැමිණි සාමීචි කථාවෙහි යෙදී සිටියදී පැමිණි දූතයෙක් මල්ලිකා දේවිය දුවක වැදූ බව එතුමාට ළං වී සැළකර සිටියේ ය. ‘දුවක’ යන්න ඇසූ පමණින් රජුගේ මුහුණ දුක්බර කළකිරීම් ස්වභාවයකින් යුතු විය. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවට උචිත ලෙස ඉහත සඳහන් ප්‍රකාශය කළේ රජු ගේ සිත සැනසීමත්, උපත් දැරියගේ යහපතත් අපේක්‍ෂාවෙනි.

එතැන දී ද බුදුරදුන්ගේ ප්‍රකාශය වූයේ සියලු ස්ත්‍රීන් පිළිබඳ නොව, ඇතැම් ස්ත්‍රියක් පිළිබඳව ය. නුවණැති විය සිල්වත් නැන්දා හා මාමාට මනාසේ ගෞරවයෙන් සලකන පතිවත ද රකින ස්ත්‍රිය උතුම් වන බව ය. එහෙත් රාජ්‍යානුශාසනයට සුදුසු වන්නේ ද ඈ නො වේ. ඇයට උපදින පුත්‍ර රත්නයයි.

මෙවැනි තැන් විමැසිලිමත් ව හැදෑරිය යුතු තැන් මිස, යන්තමින් අරුත් ගෙන හුවා දැක්විය යුතු නොවෙතියි හැඟේ.

කුණ්ඩලකේසී අරභයා දේවතාවකු විසින් දේශිත ගාථාව ද මෙවැන්නකි.

“ න සෝ සබ්බේසු ඨානේ සු
‍පුරිසො හෝති පණ්ඩිතෝ
ඉත්ථිපි පණ්ඩිතා හෝති
තත්ථ තත්ථ චිචක්ඛනා”

මේ ගාථාව කියැවුණේ තමා මරණයට පත් කිරීමට සැරසෙන (තම ස්වාමියා වූ) හොර දෙටුවා උපක්‍රමශීලීව පර්වතය පහළට තල්ලු කර දමා ජීවිතය රැකගත් කුණ්ඩලකේසියගේ අවස්ථාවෝචිත නුවණ පිළිබඳ ය.

මෙවැනි තැන් බුදු සසුනේ කාන්තාවට සමතැන් ලැබුණු බවට සාධක වශයෙන් ගත නොහැකි බව අපට හැඟෙයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ පස් වන කොටසේ එකොළොස් වැනි ඡේදය, මෙසේ ය.

“ කථං මයා භන්තේ, මාතුගාමේ පටිපජ්ජාමාති? අදස්සනං ආනන්දාති, දස්සනේ භගවා සති කථං පටිපජ්ජතබ්බන්ති? අනාලාපෝ ආනන්දාති, ආලපන්තේන පන හන්තේ, කථං පටිපජ්ජිතබ්බන්හි? සති ආනන්ද, උපට්ඨාපේතබ්බාති”

මෙය සංවාදයකි. එය සංවාද රූපයෙන්ම සිංහලයෙන් දක්වතොත් මෙසේ වෙයි.

අනඳ හිමි, ස්වාමීනී, අප ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු ද?

බුදු රද – ආනන්ද, ඔවුන් නොදැක්ම හොඳ ය.

අනඳ හිමි – භාග්‍යවතුන් වහන්ස, ඔවුන් දුටු විට කෙසේ පිළිපැදිය යුතු ද?

බුදු රද – ආනන්ද, (ඹවුන් හා) කතා නොකිරීම යහපත් ය.

අනඳ හිමි –කතා කරන්නට සිදුවන්නේ නම්, කෙසේ පිළිපැදිය යුතු ද, ස්වාමීනී?

බුදු රද – ආනන්ද, සිහිය මනා සේ පිහිටුවාගෙන කතා කළ යුතු ය.

මෙතැනින් ගම්‍ය වන්නේ ද බුදුරජාණන් වහන්සේ විසින් ස්ත්‍රී, පුරුෂ දෙපක්‍ෂය සම තත්ත්වයෙහි ලා නොසලකන ලද බව ය. මේ හැර බුදුබව ලැබිය හැකි වන්නේ පුරුෂයකුට පමණක් ම බවත්, ස්ත්‍රියකට ඒ උත්තම තත්ත්වය ලද නොහැකි බවත් කියැවෙයි.

බුද්ධත්වයට පත්වන ආත්ම භවයේ දී බෝසතුනට මවු වන කාන්තාවගේ කුසින් තවත් දරුවකු බිහි නොවීමත්, එනිසා එතුමිය දින සතකට වඩා ජීවත් නොවීමත් තවත් නියත ධර්මතාවකි. මේ හා බැඳුණු තවත් නියත ධර්මතා තිබේ. ඒවායින් පෙනී යන්නේ පුරුෂ භාවයට වඩා ස්ත්‍රීභාවය කිසියම් අවාසිදායක ස්වභාවයක් ගන්නා බව ය. එය බ්‍රාහ්මණ ධර්මය අනුව ඇති වූවක් නොව, ස්වභාව ධර්මයට අනුව ඇති වූවකි. මෙයින් පෙනෙන්නේ බුදුවරුනට වුව ද ස්වභාව ධර්මය ගැන නොතකා කටයුතු කළ නොහැකි බව ය. ස්වභාව ධර්මය නොතකා හැරීම මහත් ව්‍යසන හා ගැටලු ඇති කරන්නක් බව, පැහැදිලි කරුණකි.

විනය නීති පැනවීමේ දී පවා ස්ත්‍රී, පුරුෂ දෙපක්‍ෂය සම කොට සලකා නැති බව විනය නය පිළිබඳ විමැසිලිමත් වන්නවුන්ට වැටැහෙනු ඇත. මෙවැනි කරුණු නොසලකා සියල්ල සමාජවාදී කෝවේ දමා සකස් කරන්නට යෑම ධර්මානුකූල නොවනු ඇත. මහ ප්‍රජාපතී දේවිය මුලින් ම පැවිද්ද අයැද සිටි අවස්ථාවේ දී, ‘ගෝතමිය කම් නැත. තථාගතයන් වහන්සේ විසින් දෙසා වදාළ ධර්ම විනය අනුව ගිහිගෙයින් නික්ම අනගාරික වූ ශාසනයෙහි ස්ත්‍රියගේ පැවිද්ද නුඹට රුචි නොවේව. යනුවෙන් බුදුරදුන් පළ කළ බව චුල්ල වග්ගයේ සඳහන් වෙයි. එහිම බුදුරජාණන් වහන්සේ විසින්, ස්ත්‍රිය අනගාරික ශාසනයෙහි පැවිද්ද නො ලැබුවා නම්, මාර්ග බ්‍රහ්ම චර්යාව බොහෝ කලක් පවතින්නට හැකිව තිබුණු බවත් අවුරුදු දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතින බවත්, දැන් එය අවුරුදු පන්සියයක් පවතින බවත් අනඳහිමියන්ට බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලද බව සඳහන් වෙයි. ඒ අනුව ද බුදු සසුනේ ස්ත්‍රී පක්‍ෂයට, පුරුෂ පක්‍ෂයට හිමි තැනම ඇතැයි පැවැසිය හැකි ද?.

එසේ වූවද ස්ත්‍රීත්වය නිසා ම කෙනකු පහත් කොට සැලැකීමට බුදුරජාණන් වහන්සේ නො අනුදත් සේක. ගෙදර බුදුන් මව වූයේ එහෙයිනි. එහෙත් බුද්ධ ශාසනික බුද්ධත්වය ස්ත්‍රියට හිමි නොවේ. අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය හැඩ ගැසුණේ බුද්ධ ධර්මයේ ආභාෂයෙනි. ඒ අනුව සමහර තනතුරු හා වෘත්තීන් ලැබීමේ දී ස්ත්‍රිය පිළිබඳ සැලැකිය යුතු සීමා තිබිය හැකි ය. සමහර තැනකදී ඒවා ඇයට අවාසිදායක විය හැකි ය. එහෙත් සමහර තැනෙකදී වාසිදායක වන්නට ද පුළුවන. ආනන්ද හිමියන් පවා බුද්ධ පරිනිර්වාණ අවස්ථාවේ දී පළමුවෙන් ස්ත්‍රීන්ට බුදුරදුන් වැඳීමට අවස්ථාව සැලැසූ බව සඳහන් ය. පසුව එය අනඳ හිමියන්ට චෝදනාවක් වශයෙන් එල්ල විණි. එහෙත් බුදු දහමට අනුව ඒ චෝදනාව උචිත නොවනු ඇත.

බෞද්ධ සභ්‍යත්වය හා සංස්කෘතිය අනුව ගිහි සමාජයේ බොහෝ තනතුරුවලට කාන්තාව සුදුසු වෙයි. එහෙත් ඇයට අනුචිත තනතුරු හා වෘත්තීන්ද ඇත. බෞද්ධ සංස්කෘතියට ගැලපෙන ඕනෑම උසස් තනතුරකට අවශ්‍යතා සපුරා ගත් කාන්තාවකට අප රටේ පත්වීමට අවහිරයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද ඊට ඉඩ ලැබෙන බැවින් රටේ පාලන තන්ත්‍රයේ ද ඉහළට තනතුරට පත්වීමට මේ රටේ අවහිරයක් ඇයට නොවූ බවට අපේ ජනතාව අත්දැකීම් ද ලබා ඇත. අගමැති තනතුර ද ජනාධිපති තනතුර ද මෙරට කාන්තාවට ලැබී ඇත.

ශාසනික වශයෙන් එසේ ඉහළම තැන ලැබීමට නොහැකි වීම, එයින් වෙනස් වෙයි. ජනාධිපති තනතුර වූව ද ලෞකික පක්‍ෂයට අයත් වෙයි. එහෙත් බුද්ධ ශාසනය හා සම්බන්ධ තනතුරු ලෝකෝත්තර වීම ඉලක්ක කරගත්, ආධ්‍යාත්මික පක්‍ෂයට අයත් වෙයි.

කෙසේ වූව ද සිල් රැකීමට පුරුෂයාට මෙන් ම ස්ත්‍රියට ද කිසි අවහිරයක් නැත. මෙහෙණි සසුන ඇතිවීමෙන් පසු භික්‍ෂුණීන්ට ද බුදුරදුන්ගෙන් අග්‍රස්ථාන ලැබිණි. දැන් මෙහෙණි සසුන් ථෙරවාදී රටවල නැතත්, සිල් රැකීමටත්, භාවනාදියෙන් ආධ්‍යාත්මිකව උසස් තත්ත්වයකට පත්වීමටත් අවහිරයක් කාන්තාවට නැත. එයින් ප්‍රයෝජන ගනිතොත් සසර ගමන කෙටිකර ගැනීමට ස්ත්‍රියට ද හැකි ය. බොහෝ විට පුරුෂ පක්‍ෂයට වඩා අපේ කාන්තා පක්‍ෂය එයින් ප්‍රයෝජන ගන්නා බව, නූතන සමාජයෙන් පෙනෙයි. මැද පෙරදිග ගොස් දුක්විඳ උපයන මුදල් බිරියන් විසින් මෙහි එවුණු විට ඒවා සුරාවට වැය කරන බිරියන් අප අතර තවම ඇත්තේම නැති තරම් ය. යහගුණ දම් රැකීමට ස්ත්‍රීත්වය අවහිරයක් නොවේ. භික්‍ෂුභාවය ලැබීමට මේ ආත්මභවයේ ලද ස්ත්‍රීත්වය අවහිරයත් වෙනත්, පුනර්භවය ලබන විට සසර පුරාම ස්ත්‍රීභවයේ රැඳෙන්නේ නැත. මේ ආත්මභවයේ පුරුෂයකුව උපන් සත්වයා ඊළඟ ආත්ම භාවයේ ස්ත්‍රියකවද, මේ ආත්ම භවයේ ස්ත්‍රියක වූ සත්වයා ඊළඟ ආත්ම භවයේ පුරුෂයකු ව ද උපත ලැබීම අවහිරයක් ඇතැයි බුදු දහමින් නො කියැවේ. ඒ හැකියාව ලැබෙන්නේ පුද්ගලයාගේම කර්මයට හෙවත් ක්‍රියාකාරීත්වයට අනුව ය. ඒ සඳහා කළ යුත්තේ, පින් දහම් සිදු කිරීම ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.