UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |


අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තහංචිය විසැඳුමක් ද?


නුතන කාර්මික ශිෂ්ටාචාරය මුහුණ දෙන බරපතළ අනතුරක් පිළිබඳ ව බිනර අව අටවක (2007. 10. 03) කතු වැකියෙහි අපි මෙ සේ සටහන් කළෙමු.
“ජංගම දුරකථන උපයෝගී කැර ගෙන සිදුවන සමාජ විරෝධී ක්‍රියා ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. විශේෂයෙන් ම නාගරික පාසල් ආශ්‍රිත අත්දැකීම් ඉතා අයහපත් ය. අසැබි දර්ශන නැරැඹීම සඳහා ඇබ්බැහි වූ ශිෂ්‍යාවන් පිළිබද ව ද ලැබෙන තොරතුරු අනුව තත්ත්වයේ බැරෑරුම්කම අපට වටහා ගත හැකි ය.
මෙහි දී කරුණු දෙකක් වෙත අප ගේ අවධානය යොමු විය යුතු ය. නූතන තාක්ෂණය නිසි ලෙස පරිහරණය කළ නො හැකි වැඩිහිටි පරපුරක් යටතේ මේ තරුණ පරපුර හැදී වැඩීම පළමු වැන්න ය. දෙවැන්න නම්, තාක්ෂණික උපකරණ පරිහරණ දැනුම සමඟ ශික්ෂණය හා සාරධර්ම තරුණ පරපුර වෙත ලබා නො දීම ය.
මේ අයහපත් තත්ත්වයෙන් අප ගොඩ එන්නේ කෙ සේ ද? අප ගේ ගොවිතැන, කලාව හා ආචාර ධර්ම ආදී සියලු අංගයන් පෝෂණය පිණිස උපයෝගී කැර ගත් බුදු දහම තාක්ෂණික ශිෂ්ටාචාරයේ ප්‍රගතිය උදෙසා ද යොදා ගත යුතු ය. එහෙත් පන්සල නමැති සංස්කෘතික මධ්‍යස්ථානය ද තාක්ෂණිකාධිපත්‍යයට ගොදුරු වන අයුරු නිහඬ ව බලා සිටීමට අපි පුරුදු වී සිටිමු. ඒ පිළිබඳ ව කතා කිරිම ද දහමට නො ගැළපේ යැයි අරුත් දක්වනු ඇත”.
අප ගේ පිළිගැනීම එ බඳු වුව ද තාක්ෂණය සමඟ ශික්ෂණය වෙනුවට ‘තහංචිය විසැඳුමකි’ යන විශ්වාසය මත ක්‍රියා කැරෙන සමාජයක් නිර්මාණය වී තිබේ. වයස අවුරුදු දහ අටට අඩු දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමේ යෝජනාව එ වැනි සමාජ මානසිකත්වයක් නිසා මතු වූ බව අප ගේ විශ්වාසය යි.
අසභ්‍ය ඡායාරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන ආදිය නැරැඹිය හැකි නව තාක්ෂණික පහසුකම් සහිත ජංගම දුරකථන භාවිතය නිසා ළමා මනස දූෂණය වීමෙන් වළක්වා ගැනීම එහි අරමුණ වී තිබේ. ස්වෙච්ඡා සංවිධාන හා ඇතැම් දෙමාපියන් විසින් ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනී, සුමේධා ජී.ජයසේන මහත්මිය ගෙන් දිගින් දිගට ම කළ ඉල්ලීම් සලකා මේ ක්‍රියා මාර්ගයට යොමු වූ බව ද පැවැසේ.
එහෙත් මෙය සාර්ථක විසැඳුමක් යැයි කිව හැකි ද? මෙහි දී අප ගේ අදහස් පළ කිරීම වෙනුවට ලාදා අයිදාරොවා ගේ ළමා වර්ධනය සහ අධ්‍යාපනය නමැති කෘතියෙහි සඳහන් මේ කරුණු උපුටා දැක්වීමට කැමැත්තෙමු.
“ ගැටවර වියේ දී ප්‍රධාන ගණයේ වැටෙන ක්‍රියාකාරකම් වෙන් කැර දැක්වීම දුෂ්කර කාර්යයක් බව ඔප්පු වේ. වයස අවුරුදු දහතුන - පහළොව අතර ළමයින් ගේ කටයුතු අතුරින් පාසලේ අධ්‍යාපනය මූලික වේ. එහෙත් තුන් හැවිරිදි ළමයින් මෙන් ම ඔවුහු ද මිනිසා මත තම අවධානය කේන්ද්‍ර කැරෙති. මිනිසා විශාලතම වටිනාකම වන අතර, මිනිසා පිළිබඳ අධ්‍යයනය කැරෙමින් ඔහු සමඟ සම්බන්ධයක් ඇති කැර ගැනීම ගැටවරයාට ඉතාමත් වැදගත් ය. මේ වයස් සීමාවේ ඉතාමත් ආවේණික ලක්‍ෂණය වන ස්වයං විශ්ලේෂණය , අන් සියල්ලටම වඩා, වෙනස් පුද්ගලයන්ට ප්‍රතිකූලව , තමා පිළිබඳ තුලනාත්මක තක්සේරුවකි. ඔවුහු කවරහු ද, මම වෙනස් ද? ගැටවර වියේ දී ගැටවරයන් අතර සමීප සබඳතා එකිනෙකා කෙරෙහි පූර්ණ විශ්වාසය මත, ගැටවරයා ගේ අභ්‍යන්තර ජීවිතය සංයුක්ත කැරෙන ආකල්ප හා ලැදිකම් සමුදාය මත රඳා පවතී. අන්‍යෝන්‍ය ඇසුරේදී ගැටවරයෝ ඇතැම් සදාචාර ප්‍රතිපත්ති සහ චර්යා නියමයන් සෙසු පුද්ගලයන් සමඟ ස්වීකරණය කැර ගන්නා අතර , ජීවිතය කෙරෙහි තමන් ගේ ආකල්පය සහ තම අනාගතය සකස් කැර ගනිති.”
එ සේ නම් නීතිමය තහංචි මඟින් පමණක් ගැටවරයා යහමඟට ගැනීමට උත්සාහ දැරීම මුළාවක් නො වේ ද? ආගම වෙත පැවැරී ඇති වගකීම අධිකරණයට ඉටු කළ හැකි ද?

ඉල්
පුර අටවක

 
ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 17 වැනිදා සෙනසුරාදා අපර භාග
04.04 ට ලබයි.
18 වැනිදා ඉරිදා අපර භාග 03.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 17 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
24 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]