Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

තමා ම දල්වා ගත යුතු ජීවන පහන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ භික්‍ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො, තමො තමපරායනො, නමො ජොතිපරායනො, ජොති තම පරායනො, ජොති ජොති පරායනො

පින්වත්නි,

තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය කෙරෙහි මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් නිරීක්‍ෂණයකොට සත්වයාගේ උපතේ පටන් ජීවිතාන්තය දක්වා විවිධාකාර පැවැත්ම අනුව බෙදාවෙන්කොට දක්වා වදාළ සේක. නානත්තකාය නානත්තසඤ්ඤා යන ධර්ම නියාමට අනුව විවිධ රූප කාය මෙන්ම විවිධ චින්තනයන් නිසා සත්වයා ස්වලක්‍ෂණයෙන් හඳුනා ගැනීමට පුළුවන. බුදුරදුන් විසින් මානව සමාජය වර්ගකර ඇත්තේ ක්‍රියාකාරීත්වයෙන් සමානකම් දක්නට ඇති නිසාමය. අතිදීර්ඝ වූ මේ සංසාරයේ භවයෙන් භවයට ගමන් කරන විට හමුවන අපමණ සත්වයන්ට අනුරූපව හැඩ ගැසෙන විට ඇතිවන සමාන අසමානකම් කෙදිනක හෝ ප්‍රකාශයට පත්වීම ඒකාන්ත සිද්ධාන්තයක් වේ.

යමෙක් පෙර ආත්මයේ කළා වූ පස්පව් දස අකුසල් නිසාවෙන් මෙලොව ඉතා දිළිඳුව රූපයෙන් අප්‍රසන්නව සම්පතින් ඌනව ක්‍රියාවෙනුත් පාපීව වාසය කෙරේද? ඔහු ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු සතර අපායේ උපදීද ඒ මේ තමෝ තමපරායන හෙවත් අඳුරෙන් අඳුරට යන පුද්ගලයාගේ ප්‍රධාන ලක්‍ෂණයයි.

යම්කිසි පුද්ගලයෙක් නීච කුලයක ඉපිද දුගී දුප්පත්ව සම්පතින් ඌනව එහෙත් චින්තනයෙන් ක්‍රියාවෙන් කුසල් කෙරේද ඔහු ජීවිත අවසානයේ සැපවත්ව මරණින් මතු සුගති සංඛ්‍යාත දේව මානුෂිකාදී සැප සම්පත් ලබයිද, ඒ තමො ජොති පරායන හෙවත් අඳුරෙන් එළියට යන්නා ය.

පින්වතුනි, මේ ලෝකයේ ජොති තම පරායන පුද්ගලයාගේ ලක්‍ෂණද අප මෙසේ අවබෝධ කරගත යුතු ය. යමෙක් පෙර ජාතිවල කරන ලද කුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණා දී උසස් කුල පරම්පරාවල ඉපිද ධන ධාන්‍යාදී මහා සම්පත් භුක්ති විඳිමින් එහෙත් සිතින් කයින් වචනයෙන් පස්පව් දස අකුසල් සිදු කෙරේද එයින්ම ජීවිතාන්තයේ දී මහත් දුක්වේදනා විඳ මරණින් මතු දුගති සංඛ්‍යාත සතර අපායාදීන්හි ඉපිද අනේක විධ වධ බන්ධන දුක් කම්කටොළුවලට භාජනය වේ. ඒ මේ ජොති තම පරායන පුද්ගලයා සගමොක්සුව ලබන්නේ කවර කලෙකද?

තවද ජොති ජොති පරායන හෙවත් එළියෙන් එළියට යන්නාගේ ලක්‍ෂණ කෙසේද යත්. පෙර භවයන්හි කළා වූ දානාදී කුශල කර්මවල විපාක වශයෙන් මෙලොව උසස් කුලවල ජනිතව, සියලු සම්පතින් අනූනව රජවරුන්, සිටුවරුන් වශයෙන් ගුරුවර, දෙමව්පිය ආදී පිරිවර සහිතව සැප සම්පත් භුක්ති විඳින්නේ උදාර චින්තනයෙන්, ක්‍රියාවෙන්, දාන ශීල, භාවනාදී දස කුසල් කර්මයන්හි නිරතව ජීවිතාන්තයේ සිහියෙන්, සොම්නසින් මියපරලොව ගොස් මතු උපදින ජාතියක් පාසා දේවාමානුෂිකාදී ලෞකික සැපසම්පත් විඳිමින් උතුම් නිවන් සම්පත් ලබාගනී. එවන් පුද්ගලයන් ආශ්‍රය කිරීම පවා උතුම් භාග්‍යයකි. අප බුදුරජාණන් වහන්සේ විසින් මහාමංගල සූත්‍රදේශනාවෙන් පෙන්වා වදාළ පරිදි පණ්ඩිතානංච සේවනා සීලාදී ගුණයෙන් ධ්‍යානවිදර්ශනාදී ප්‍රඥාවෙන් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම සසර සැරිසරණතාක් ලබන ශ්‍රේෂ්ඨතම මංගල කාරණය වේ. එය විමුක්ති මාර්ගයටද මූලික පදනම වේ.

මෙම පුද්ගලයන් සතර දෙනාගෙන් තමොජොතිපරායන පුද්ගලයාත් ජොති ජොති පරායන පුද්ගලයාත් සමස්ත මානව සමාජයට ඝනාන්ධකාරයට උදාහිරු මඬලක්සේ යහපත් ගතිගුණින් එකම ආලෝකයක් වන වග බුදුරදුන් විසින් විස්තර කර ඇත.

සසර උපදින සෑම සත්වයාගේම ජීවනය රඳා පවත්නේ දුක සැපට හේතුවන කුසලා කුසල කර්මය පදනම් කරගෙන නිසා එයින් සත්වයාගේ සංසාර ගමනේ ස්වභාවය භවයක් පාසා ප්‍රකාශනය වේ.

මව්කුසක ප්‍රතිසන්ධියේ සිට මෙලොවට බිහි වී ජීවිතාන්තය දක්වා චින්තනය ක්‍රියාත්මක වන්නේ පෙර කළා වූ හෝ කරන්නා වූ හෝ කර්ම බලවේගය විසිනි. නිර්මාණවාදීන් එම බලයේ සියලු පරාසයන් බාහිර ජීවාත්මයකට ආරෝපණය කරන්නේ ද එයින් අපමණ අකුසල් සිදු කරන්නේ ද අවිද්‍යාදී හේතූන් පිළිබඳ බුද්ධියක් නොමැති නිසාමය. සත්වයාට ස්වයංචින්තනයේ ශ්‍රේෂ්ඨත්වය තේරුම් ගැනීමට අප බුදුරදුන් විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්මය මහෝපකාරී වේ.

තමෝ තමපරායන හා ජෝති තම පරායන පුද්ගලයන් දෙන්නා සත්‍යාලෝකයේ අන්ධභූතව ක්‍රියාකොට තමන්ගේ ජීවිතයන් අන්ධකාරයට පමුණුවා එයින් ඉතා නරක අනර්ථකාරී චරිතයන් ප්‍රකට කරමින් අනුගාමිකයන්ද නොමඟ යවමින් කෙසේ හෝ ජීවත්වීමේ එකම පරමාර්ථය කරගන්නේ අවිද්‍යාදී සංකීර්ණ අදහස් නිසා ය.

මිනිසාට බුදුදහම අවශ්‍ය වන්නේ කෙසේ හෝ භෞතික අපේක්‍ෂාවෙන් පමණක් සම්පූර්ණ කර ගැනීමට නොව ලෝක සිද්ධාන්ත අභිබවා පියවරෙන් පියවර ජීවන දර්ශනයක් ලබා ගැනීමටය . මේ නිසාම අප බුදුරජාණන් වහන්සේ විසින් ස්වයං චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය පහදා දී ඇත. අත්තදීපාවිහරථ, අත්ත සරණා, අත්තාහි අත්තනො නාථො ආදී දේශනාවලින් ප්‍රකට වන්නේ තම ජීවන පහන දල්වා ගත යුත්තේ තමා විසින්ම බවය.

අප ගෞතම සර්වඥයන් වහන්සේද අවිද්‍යාන්ධකාරය නැතිකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ විද්‍යාඥාණය ලබා තුන්ලෝකය ආලෝකමත් කරගත්තේ පෙරදීපංකරාදී, බුදුවරුන්, ශ්‍රාවකයන් ආශ්‍රය කරගෙනය. මේ නිසා යුගයෙන් යුගයට වෙනස් වන මානව පරපුරට පරමාදර්ශයක් වශයෙන් සිතා බලා සිහිබුද්ධියෙන් අනුගමනය කළ හැකි එකම පිරිස බුදු පසේබුදු රහතන් වහන්සේලා පමණි.

තම ජීවිතය අඳුරෙන් එළියට යන්නට උපරිමයෙන් ප්‍රයත්න දරන බෝධි සත්වයන් තමන් මෙන්ම මෙරමාද තමො ජොති පරායන වීමට හා ජෝති ජෝති පරායන වීමට එමෙන්ම සත්ගුණයෙන් මානව සමාජය අතරින් දීප්තිමත්ව බැබලීමට කරුණාවෙන් හා ප්‍රඥාවෙන් සුවිශේෂ වීමට යන්නා වූ ප්‍රයත්නය ඉතා ආශ්චර්ය ජනක බව බොහෝ ජාතක කතාවන්ගෙන් පවා ප්‍රකට වන සත්‍ය කරුණක් ද වේ. ඔබද තමෝ ජෝති පරායන වීමට හා ජොති ජොති පරායන වීමට අප්‍රමාදීවන්න.ඔබ සැමට සසර දුක් කෙළවර අමාමහ නිවන ම හිමිවේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.