Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

පිළිතුර -
“සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථනිබ්බන්දති දුක්ඛෙ
එසමග්ගො විසුද්ධියා”

ගාථා ධර්මයෙහි අන්තර්ගත අදහස් මෙසේය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහ යි යම් කෙනෙක් නුවණින් දකී ද, එකල දුකෙහි කළකිරේ. සසර පැවැත්ම අවබෝධ කර ගනී. මෙය නිවනට මග වේ.

අනිච්චාවත සංඛාරා - සංස්කාර ධර්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වන බැවින් දුඞඛය, අනාත්ම ලක්ෂණ යුක්ත බැවින් අනාත්මය, අනිත්‍ය ලක්ෂණය නම් බිඳීයාමය. පිළිසිඳගත් මොහොතේ සිට දිරීම - වෙනස්වීම - ආදී වශයෙන් පරිහානිය කරා යොමුවීම.

දුඞඛ ලක්ෂණය නම් - පිළිසිඳ ගත් මොහොතේ සිට දිරීම ආදී කොට තැලීම - පෙළීම නිසා ඇතිවන දුක් වේදනාවය.

අනාත්ම ලක්ෂණය - තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බවය. තම පංචස්කන්ධය පිළිබඳ කිසිවක් තමා යටතෙහි නොපැවැත්මයි. තමාට තම ශරීරයෙහි ආධිපත්‍යය නැති බවය.

ප්‍රශ්නය - පහත සඳහන් ධම්මපද ගාථාවේ ඉතා වැදගත් ශාසනික තොරතුරක් සටහන්ව ඇත. පැහැදිලි කරන්න.

ගාථාව -

“ඉධ වස්සං වයිස්සාම ඉධ හෙමන්ත ගිමිස්ස ඉති බාලො විචන්තෙති - අන්තරාසං කඛුජ්ඣතිති”

පිළිතුර - විනය පිටකයට අනුව හේමන්ත - ගිම්හාන - වස්සාන යනුවෙන් අවුරුද්දෙහි මාස 12 ඍතු තුනකට බෙදන ලද්දේය. බුද්ධ කාලයේ මගධයේ සම්මතයකි ඒ. ඉල් මස කාල පක්ෂය පටන් සාර මස බැගින් මෙසේ වෙන් කොට ඇත.

ඉල් – උඳුවප් - දුරුතු - නවම් සිවු මස හේමන්තයයි.

මැදින් – බක්, වෙසක් - පොසොන් යන සිවු මාසය ගිම්හානයයි.

ඇසළ - නිකිණි - බිනර - වප් යන සිවු මස වස්සාන ය.

හේමන්ත නම් හිමානි ඵත්ථ සන්තිති හෙමො - හෙමො එව හෙමන්තො හිම බහුල කාලයයි.

ගිම්හාන - හිරු රැස් සැඩ කාලයයි. ගරති විළයතිති - ගිම්හො.

වස්සාන - නම් වැසි බහුල කාලය වස්සති ඵත්ථානි වස්සං

ප්‍රශ්නය - ධර්ම ග්‍රන්ථයන්හි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක්ද? පැහැදි කරන්න.

පිළිතුර - කාම - භව - මිච්ඡාචිට්ඨි - අවිජ්ජා යන මේ සතරයි.

කාගගතා සතිය නිතර වඩන මහණදම් පුරන - පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදී දැහැමි ගිහියන් ගේ කාමාදී ආශ්‍රවයෝ නැසී යන්නාහ.

ප්‍රශ්නය - නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි. මේ කියමන ධර්මානුකූ®ලව පැහැදිලි කරන්න.

පිළිතුර - දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා - ප්‍රතිවේධ වශයෙන් - ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නා සේම මනා දැකීමට සුදුසු වූයේ - සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය - ආදරණීය ලෝකය පමණක් නොව ඇඳීවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේ ගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇතුළත්ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ලැබුවාය.

මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මේ සිදුවීමෙන් මතු වී පෙනේ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ ගේ කරුණා නෙතට යොමු වූ පටාචාරා අසරණියයි. තම ස්වාමියාත්, දරු දෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයා එකම දා මිය යාමෙන් සෙහෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාව බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ලක්වීමෙන් සුවපත් වූවාය. මෙයින් බුදුරජාණන් වහන්සේ ගේ් මානව හිතවාදී ගුණය කැපී පෙනුණි.

ප්‍රශ්නය - කොසොල් මහරජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර ඇති බව අසා ශෝකාකූල මුහුණින් යුතුව තම අකමැත්ත බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියේය. එහි දී ඔහු ඇමතූ බුදුරජාණන් වහන්සේ, “මහරජ, ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිල්වත් කාන්තාව ද වාසනාවන්තය. ඇය අනාගතයේ දී වාසනාවන්ත පුතුන් ප්‍රසූත කරනු ඇත. එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්හ. කාන්තාව පිළිබඳව බෞද්ධ ආකල්පයෙහි බිඳකි මේ. පැරණි භාරතීය සමාජයේ කාන්තාවන්ට හිමි වූ තැනත් බෞද්ධ යුගයෙහි දී එය වෙනස් වූ ආකාරයත් පැහැදිලි කරන්න.

පිළිතුර - කාන්තාව මිය යන තුරුම තම හිමියා ගේ වහලියක සේ යටත් විය යුතුය යන අදහස ප‍්‍රචලිත යුගයක, තම හිමියා මළ විට වැන්දඹු කාන්තාව හිමියා ගේ සොහොනට පැන දිවි පුද කළ යුතුය යන්න පිළිගෙන තිබුණි. මෙවන් තත්ත්වයක ගැහැණු දරු උපත පවා පවුලක අභාග්‍යයක් කොට සැලකූහ. බෞද්ධ යුගයෙහි දී කාන්තාව මවක් වශයෙන් මිනිස් සමාජයේ පූජනීයත්වයට පත් වූහ. මෙහෙණ සස්න පිහිටුවා මානව අයිතිවාසිකම් වලින් පෝෂණය කළහ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ පැරණි භාරතීය සමාජයේ ආගම් දර්ශනය ඉදිරිපත් කළ සමකාලීන ශාස්තෘන් අතර ම ජීවත් වෙමින් තම ධර්මය ද මහජනයා ඉදිරියෙහි තැබූහ. අනෙක් ශාස්තෘවරුන් ගේ ක්‍රියා පිළිවෙලට ඉඳුරා ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් මහජනයා වෙත ඉදිරිපත් කළ ආකාරය හා අවබෝධ කරවූ ආකාරය පිළිබඳ ආකල්පය පැහැදිලි කරන්න.

පිළිතුර - බුදු සසුනෙන් බැහැර අන්‍ය ආගමික නායකයන් ප්‍රකාශ කර සිටියේ සිය ආගම් හා දර්ශනයන් පමණක් සත්‍ය දර්ශන හා ආගම් වන අතර, එයින් බැහැර සියලු මිත්‍යා මතවාද ලෙස අවඥාවෙන් බැහැර කළ යුතු බවයි. තම ආගමික මතවාද පිළිගැනීමට බල කළහ.

බ්‍රාහ්මණ පූජක පිරිස සමාජ කොට්ඨාසයකට ආගම ඇදහීම තහනම් කළහ. ඇතැම් ආගමික ඇදහීම් කුලවාද පටු සීමාවන් තුළ ප්‍රචලිත කිරීමේ සමාජ සාධාරණත්වය ද ආගම් තුළින් බැහැර කළහ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගැනීමට බල නොකළහ. විමසා බලා වැටහේ නම් පමණක් පිළිගැනීමට අවසර ලැබිණ. ආගමක් පිළිගැනීම හෝ පිළිනොගැනීම ඒ ඒ පුද්ගලයන් සතු වගකීමක් බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ බුද්ධියට සිතට එකඟ නම් පමණක් පිළිගැනීමට ඉදිරිපත් වන්නැයි ආගමික නම්‍යශීලී ආකල්පයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළහ.

ප්‍රශ්නය - නිවන් පසක් කර ගනු කැමති අයෙකු විසින් තමා විසින් ඇති කර ගත යුතු බල ධර්මයෝ පසෙකි. ඒ මොනවාද?

පිළිතුර - සද්ධා බලය - විරිය බලය - සති බලය - සමාධි බලය - පඤ්ඤා බලය වේ. ශ්‍රද්ධා බලය ඇති කර ගත් තැනත්තෙකුට ඉතිරි සිව් බලය ඇති කර ගැනීම පහසුය.

ප්‍රශ්නය - මෙම දේශනා පාඨය කෙරෙහි සිත යොමු කරන්න. “මහණෙනි, වඩන ලද්දා වූ, නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝඣ්‍යාංගයෝ කවරහුද?”

පිළිතුර - මේ බොඣ්‍යංග ධර්ම සත සක්විති රජුන්ට රත්න සත මෙන් බුදු සසුනෙහි ඇති රත්න සතක් බව, “තථාගතසස භික්ඛවේ පාතුභාවො අරහතො සම්මා සම්බුද්ධස්ස සත්ත න්‍යාය බොජ්ඣංග රතනානං පාතුඵයො හොති” යනුවෙන් බුදුහු වදාළහ. ඒ බොජ්ඣංග සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංග විරිය සම්බොජ්ඣංග, පීති සම්බොජ්ඣංග පස්සද්ධි සම්බොජ්ඣංග සමාධි සම්බොජ්ඣංග උපේක්ෂා සම්බොජ්ඣංග යන මේවා සප්ත බොජ්ඣංගයෝ වෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.