Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ත්‍රිපිටකය යන වචනයේ සරල තේරුම “මඤ්ජුසා තුන” යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) මෙයින් සූත්‍ර පිටකය පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න.

පිළිතුර - සූත්‍ර පිටකය (බුදුරජාණන් වහන්සේ දේශනා එක් කළ සංග්‍රහය) සූත්ත පිටක ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි දෙපක්ෂය අමතා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල කළ අනුශාසනාත්මක දේශනාවලින් සමන්විත වෙයි. සාරිපුත්ත, මොග්ගල්ලාන ආනන්ද වැනි ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරන ලද සූත්‍ර කිහිපයක් ද ඒවා බුදුරදුන් විසින් අනුමැතියෙන් තහවුරු කර ඇති හෙයින් බුද්ධ දේශනා හා සමාන ගෞරවයෙන් යුතුව මෙහි ඇතුළත් කර තිබේ.

දීඝ නිකාය (දීග සූත්‍ර එකතුව)
මජ්ඣිම නිකාය (මධ්‍යම ප්‍රමාණ සූත්‍ර එකතුව)
සංයුක්ත නිකාය (එක හා සමාන සූත්‍ර එකට රැස් කර වර්ග කළ එකතුව)
බුද්දක නිකාය (කුඩා කුඩා සූත්‍ර එකතුව)

ප්‍රශ්නය - මෙම පාඨය වෙසක් කලාපයක උද්ධෘතයකි. “ආගම” යන්නෙන් ජීවිතය යන්තමින් නොව ගැඹුරින් අන්වීක්‍ෂණය කරන එම ගැඹුරු නිරීක්‍ෂණ වලට ගැලපෙන අන්දමේ ජීවිතයක් ගත කිරීම පිණිස මාර්ගෝපදේශ සපයන එය පිළිපදින්නට ධෛර්යයෙන් ජීවිතයට මුහුණ පාන්නට හා සංයමයෙන් මරණයට මුහුණ දෙන්නට ශක්තිය ලබා දෙන ඉගැන්වීමක් අදහස් කරන්නේ නම් නැතහොත් සසර දුකෙන් නිදහස් වන්නට විමුක්ති මාර්ගයක් අදහස් කරන්නේ නම් බුදු දහම ආගම් අතර විශිෂ්ටම ගණයේ ආගමකි. බුදු දහම පිළිබඳ ව ශ්‍රාවකයාණ කෙනෙකුන්ගේ මෙම පිළිගැනීම හා දීඝනිකාය ග්‍රන්ථයෙහි එන පොට්ඨපාද සූත්‍රයෙහි සඳහන් වන මෙම බුද්ධ දේශනාව අතර සම්බන්ධතාවයක් පවතී ද යන්න පැහැදිලි කරන්න.

සමණො හො ගොතමො භූතං තච්ඡං තථං පටිපදං පඤ්ඤපෙති, ධම්මට්ඨි තං ධම්ම නියාමතං”

ගෞතම බුදුරජාණන් වහන්සේ වනාහී සත්‍ය වූ සැබෑ වූ ඇත්ත වූ ස්වභාව ධර්මයා ගේ ඇති තතු නියම තත්ත්වය හෙළිවන පිළිවෙළ ම පනවන සේක.

පිළිතුර - බුදු සමයෙහි හේතුවකින් නූපන් බලවේගයක් ලෙස හැඳින්වෙන අති ස්වභාවික යමක් පවතිතැයි යන අදහස බුදු සමය ප්‍රතික්‍ෂ්ප කරයි. කීකරු වනු පිණිස හෝ බියවනු පිණිස සර්වබලධාරී දෙවි කෙනෙකු නැතිවා සේම යම් යම් දේ ඉල්ලා සිටින හෝ සමාව යදින යාඥා ආදිය ද බුදු සමයෙහි නැත. බුදුරජාණන් වහන්සේට මොන තරම් යාඥා කලත් නිවන් ලබා ගත නොහැක. බෞද්ධයෝ තම අනුත්තර මාර්ගදේශකයා වශයෙන් හා විසුද්ධි මාර්ගය පැහැදිලි කළ ගුරුවරයා වශයෙන් බුදුන්සරණ යත්, පූර්ණ ගැති බවට නොයති.

තුම්හේව කිච්චං ආතප්පං අක්‍ඛාතාරො තථාගතා

“උත්සාහය දැරීම කළ යුත්තේ ඔබමය. තථාගතවරු හුදෙක් මඟ කියා දෙන්නෝ ය”

අනුන්ගේ අකුසල් දුරු කිරීමට හැකියාවක් බුදු කෙනෙකුන්ටවත් නැත. යථා තත්ත්වය නම් කිසිවෙකුට කිසිවකු පිරිසුදු කිරීමට නොහැකි බවයි. විසුද්ධි මාර්ගය පැහැදිලි කළ ගුරුවරයා වශයෙන් අපට උපකාර කළ හැකි නමුත් අපේ විසුද්ධිය පවත්නේ අප අතමය. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විශෝධයේ - පිරිසුදු, අපිරිසුදු, තමාමයි කර ගන්නේ. තවකෙක් නිසා වෙනෙකක් නොමැත පිරිසුදු වන්නේ.

ප්‍රශ්නය - නිවන් පසක් කර ගනු කැමති අයෙකු විසින් තමා විසින් ඇති කර ගත යුතු බල ධර්මයෝ පසෙකි. ඒ මොනවාද?

පිළිතුර - සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය, ශ්‍රද්ධා බලය ඇති කර ගත් තැනැත්තෙකුට ඉතිරි සිව් බලය ඇති ගැනීම පහසු ය.

ප්‍රශ්නය - මෙම දේශනා පාඨය කෙරෙහි සිත යොමු කරන්න. “මහණෙනි, වඩන ලද්දා වූ නැවත නැවත වඩන ලද්දා වූ මේ බෝධ්‍යංගයෝ සත් දෙන සංසාරය නමැති මෙතෙරින් නිවන නැමැති පරතෙරට යාම පිණිස පවත්නාහ” මේ සත් බොජ්ඣංගයෝ කවරහුද?

පිළිතුර - මේ බෞධ්‍යංග ධර්ම සත සක්විති රජුන්ට රත්න සතක් මෙන් බුදු සස්නෙහි ඇති රත්න සතක් බව, “තථාගතස්ස භික්‍ඛවේ පාතුභාවො හොති” යනුවෙන් බුදුහු වදාළහ.

ඒ බොජ්ඣංග සත නම්,

සති සම්බෝජ්ඣංග පිති සම්බෝජ්ඣංග ධම්ම විචය සම්බෝජ්ඣංග පසද්ධි සම්බොජ්ඣංග විරිය සම්බොජ්ඣංග විරිය සම්බොජ්ඣංග උපෙක්ඛා සම්බොජ්ඣංග.

ප‍්‍රශ්නය - සංයෝජන නම් සත්වයා සසර බැඳ තබන ගිල්වන කරුණු දසයකි. මේවා ඕරම්භාගිය උද්ධමභාගීය යන නාමයෙන් දෙකොටසකට බෙදා ධර්මයේ සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - උද්ධම්භාගිය සංයෝජන පසකි. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ඒ පංචකයයි. රූපාරූප භවයන්හි සත්වයා උපත ලබන්නේ මේ හේතුව නිසයි. “උද්ධං චුච්චති රූපාරූපධාතු” රූප ලෝක අරූප ලෝක දෙක උද්ධං කියනු ලැබේ. එහෙයින්ම රූප ලෝකයන්හි වූවෝ එහි උපතට හේතු වූයෝ උද්දම්භාගීය නම් වෙයි. “ඔරං වුච්චති කාමධාතු ඔර” යනුවෙන් කියවෙන්නේ කාම ලෝකය යන අර්ථයයි. ඒ නිසාම කාම ලෝකයෙහි වූයෝ ඔරම්භාගීය නම් වෙති. එනම්, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග ව්‍යාපාද යන පසයි. මේ සංයෝජන පංචකය ඉතා බලගතු වෙයි. සත්වයා සසර බැඳ තබා ගැනීමේ බලවත් ශක්තියක් මොවුනට ඇත. උද්ධම්භාගීය සංයෝජන සත්වයාගේ ගෙලෙහි ලූ රැහැනක් සේ සිඳ හැරීම ඉතා දුකසේ කළ යුතු බව ධර්මයෙහි සඳහන්ව ඇත.

ප්‍රශ්නය - “අනිච්චාවත සංඛාරා” මේ පාඨයෙන් අර්ථවත් වන ධර්මතාව පිළිබඳ ව කෙටි ධර්ම විවරණයක් කර “සංඛාරා” යන්නට පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - සියලු සංස්කාර ධර්මයෝ ඒකාන්ත වශයෙන් ම අනිත්‍යයහ. “සංසාර” නම් හේතු ප්‍රත්‍යයන් විසින් උපදවනු ලබන්නේ “පච්චයේ අහිංසවරී යන්තිති සංඛාරා” එය පැහැදිලි වෙයි. ප්‍රත්‍ය නම්, කර්ම, චිත්ත සෘතු ආහාර ප්‍රත්‍යයන් විසින් උපදවනු ලබන සංස්කාර ප්‍රධාන කොටස් දෙකකි. 1. උපාදාන ස්කන්ධ – අනුපාදිතත්ස්කන්ධ ඒ දෙකයි. තෘෂ්ණාධි උපාදානයන් විසින් මමය මාගේය ආදී වශයෙන් ගනු ලබන දේය එනම් සත්වයෝ ය. අනුපාදින්න ස්කන්ධ නම් වෘක්‍ෂලතා භූමි පර්වතනදී තටාක සමුද්‍ර උද්‍යාන විමානාදී වූ සිත් පිත් නැති පඨවි ආදී මහා භූතයින්ගෙන් එක් වුණු වස්තු සමූහය.

ප්‍රශ්නය - සැවැත් නුවර ජේතවනාරාමය බුද්ධ ශාසනයේ ප්‍රධාන මධ්‍යස්ථානය විය.මෙයට හේතු සාධක වූ තොරතුරු හා එහි නිර්මාණය හා දායකත්වය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - සැවැත්නුවර සුදන්ත නම් කාරුණික සිටුවරයෙක් ජනහිතකාමී පුද්ගලයකු නිසා පසුව අනාථ පිණ්ඩික (අනේපිඬු සිටු) නමින් ප්‍රකටව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැද, ඉදිරි වස්කාලය ගත කිරීම සඳහා තම නගරයට ආරාධනා කළේ ය. සිටුතුමා බුදුපාමොක් මහ ස¼ගරුවනට වස් විසීම සඳහා ජේත නම් කුමරුට අයත් උයන මිලට ගෙන සියලු විහාර ආරාමවලින් සම්පූර්ණ කොට ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ වැඩි කලක් ගත කළේ ද මෙම ආරාමයේ ය. මෙම කාලය තුළ දෙව්දත් තෙරුන්ගේ විවිධ අවහිරතාවලට උන් වහන්සේට මුහුණ දීමට සිදු විය.

ප්‍රශ්නය - සමකාලීන නිකායකින් ඉදිරිපත් කරන ලද විවිධ අදහස් හා මතවාද ඛණ්ඩනය කරමින් ‘කථාවත්ථුප්ප කරණය’ නමින් ග්‍රන්ථයක් බිහි විය. මෙය කාගේ කෘතියක්ද? මෙම කෘතිය බිහි වූ වකවානුව පිළිබඳව පැහැදිලි කිරීමක් ද කරන්න.

පිළිතුර - මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ කතුවරයා විය. අශෝක මෞය¸ යුගයේ තුන්වන සංගායනාවෙන් පසුව මෙය සිදු විය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.