Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව යන මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාට සෙත් පැතීමේ පුණ්‍යකර්මයක් ඒ මහතාගේ උපන් ගම වන රඹුක්කන පුවක්මොටේ දී පසුගිය දා පැවැත්විණි. එහි දී සෙත් පිරිත් දේශනයෙන් අනතුරුව පුවක්මොටේ පඤ්ඤාසාර හිමියන් මහාචාර්යවරයාගේ සුරතෙහි පිරිත් නූලක් ගැටගසා ආශීර්වාද කළ අවස්ථාව.
ඡායාරූපය - රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

තුඩේ සෝමානන්ද හිමියන් වෙත ද්විතීය සංඝනායක පදවි පිරිනැමීම පසුගිය දා එම විහාරස්ථානයේ දී සිදු කැරිණි. මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සංස්කෘතික අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර යන මහත්වරු ද සහභභාගි වූහ. එහි දී අභිනව නා හිමියන් පෙරහරකින් වැඩම වූ අයුරු හා නා හිමියන් මල් පහන් පූජා කිරීම සඳහා අමුත්තන් සමග බුදු මැදුර වෙත වැඩම කරවීම ඡායාරූපයේ දැක්වේ.
ඡායාරූපය - චිත්‍රරත්න කළුආරච්චි හිදෝගම සමූහ

වතුරුවිල වනවාස සංඝ මූලස්ථාන පූජා භූමියේ බෝධීන් වහන්සේ වටා ඉදිකරවන ලද රන්වැට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් නොබෝදා විවෘත කරන ලදී. වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ නිර්මාතෘ වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මහ නා හිමියන්ගේ ගුණ සමරු උළෙල ද ඒ සමග පැවැත්විණි. වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතා ද එම අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය - සිරිල් විජේවර්ධන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයත් සමගින් නොබෝදා චීන බෞද්ධ සම්මේලනයේ සභාපති අති පූජ්‍ය ශ්‍රී යී චෙන් හිමියන් ඇතුළු චීන බෞද්ධ නායක පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. නියෝජිත පිරිස කණ්ඩායම් දෙකකින් සමන්විත විය. චීන බෞද්ධ සම්මේලනයේ සභාපති හා සාමාජිකයින්. ලියැන් ගුවැන් නිකායේ ආරාධිත සාමාජිකයින් හා බීජිං රූපවාහිනි හා සඟරා මාධ්‍යවේදීන එම කණ්ඩායම් දෙකයි. 2007 අගෝස්තු 27 වන දා දිවයිනට ලඟා වූ එම නියෝජිත පිරිස සංචාරක අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, දළදා මාලිගාවේ සහ චීන නියෝජිත පිරිසගේ දේශීය සංචාරක නියමුවන් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ නියෝජිතයින් විසින් ගුවන් තොටුපළේ දී සාදරයෙන් පිළිගනු ලැබිණි. එම නියෝජිත පිරිස සේයාරුවේ වෙති. නියෝජිත පිරිස අස්ගිරි විහාරයේ දී අස්ගිරි කාරක සභාව හා මල්වතු විහාරයේ දී මල්වතු මහා විහාරාධිපති නා හිමියන් සමගින් සාකච්ඡාවක නිරත වූහ. මහනුවර දළදා මාලිගාවේ ගෘහ සිතුවම් ඇතුළු දඹුල්ල මිහින්තලය සහ අනුරාධපුරය ප්‍රධාන බෞද්ධ විහාරස්ථානවල සංචාරයකද නිරත වූහ. මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයට පැමිණි නියෝජිත පිරිස, එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ට වෙන්කර තිබූ පර්යන්තයේ සිට නුවර පෙරහර නැරඹූහ.

කතරගම සිතුල්පව්ව රාජ මහා විහාරස්ථාන මාර්ගයේ ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානයේ අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම නොබෝදා සිදු කරන ලදී. එම අවස්ථාවට ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය ද, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක, රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පද්මසිරි රාජපක්ෂ යන මහත්වරු සහභාගි වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ සමරු ඵලකය ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා විසින් විවෘත කැරිණි. ඊ. එච්. සෝමපාල - කතරගම විශේෂ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.