Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප‍්‍රශ්නය- බෞද්ධ අප බුදුරජාණන් වහන්සේට ආකාර දෙකකින් පූජා පවත්වනවා. මේ ආකාර දෙක මොනවාද?

පිළිතුර-ආමිස පූජා සහ ප‍්‍රතිපත්ති පූජා යන දෙආකාරය වේ.

ප‍්‍රශ්නය-ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන මාර්ග අංගයක් සඳහා මේ අදහස උපයුක්ත වේද? පැහැදිලි කරන්න.

පිළිතුර- සම්මා වායාම ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමගාමී වෙයි. විමුක්තිය ලබාගත හැකි වන්නේ තමාගේ ම වෑයමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මිස අන්‍යයෙකු ගේ පිහිට පැතීමෙන් හෝ යාතිකා කිරීමෙන් නොවන බව අප වටහා ගත යුතු ය.

ප‍්‍රශ්නය- යම්කිසි පුද්ගලයෙක් ප‍්‍රාණවධයෙහි යෙදෙයි නම් දඩයක්කාරයකු ව ලේ තැවරුණු අතින් මරමින් හිරිහැර කරමින් දායානුකම්පාවක් නැතිව ජීවත්වෙයි නම් ප‍්‍රාණඝාතයෙහි විපාක වශයෙන් මිනිසුන් අතර ඔහු කුමන විපාකයක් ලබයිද?

පිළිතුර- අඩු ආයුෂ ඇති උපත් ලැබීම.

ප‍්‍රශ්නය- බුද්ධ ධර්මයට අනුව කර්මය පිළිබඳව ඉතා සරලව පැහැදිලි කරන්න.

පිළිතුර- සිතා මතා කරන ඕනෑම කායික වාචසික හෝ මානසික කි‍්‍රයාවක් කර්ම ලෙස හැඳින්විය හැකි ය. තුන්දොරින් කෙරෙන කි‍්‍රයා වශයෙන් සියල්ල ගැනෙයි. සියලු කුසල හා අකුසල කි‍්‍රයා කර්ම වෙයි.

“‍ෙච්තනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” “මහණෙනි, මම ෙච්තනාව කර්මය යැයි පවසමි. සිතින් කයින් හා වචනයෙන් කර්ම කරන්නේ ෙච්තනාවක් ඇති කර ගත්තායින් පසුව ය. බුදුහු වදාළහ.”

ප‍්‍රශ්නය- “යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” මේ පාඨයෙහිසරල සිංහල අදහස පැහැදිලි කරන්න.

පිළිතුර-හට ගැනීම ස්වභාව කොට ගත් යමක් වේද එය වැනසීම ද ස්වභාව කොට ඇත” යන්නයි.

ප‍්‍රශ්නය- සත්වයා ස්කන්ධ හෙවත් කොටස් 05 කට බෙදනු ලැබේ.මේ බෙදීම ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර - සත්වයා පළමු කොට නාම හා රූප වශයෙන් කොටස් දෙකකි. නාමය ස්කන්ධ 04 කට බෙදනු ලැබේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යනුවෙන් ඒවා නම් කොට ඇත.

ප‍්‍රශ්නය- ගෘහස්ථ සීලය යන්න ධර්මානුකූල පැහැදිලි කරන්න.

පිළිතුර- ගිහි අයෙකු විසින් පිළිපැදිය යුතු සීලයයි. එය දළ වශයෙන් දහම් පතපොතෙහි 07 ක් වශයෙන් දක්වා ඇත. 1. පංච සීලය, 2. බ‍්‍රහ්මචර්ය පංච සීලය, 3.ෂට්ක සීලය, 4.ආජීව අට්ඨමක සීලය, 5. අට්ඨාංග සීලය, 6. නවංග සීලය, 7. දස සීලය.

ප‍්‍රශ්නය- ශීලයෙහි ආනිසංස මොනවාද?

පිළිතුර- උපභෝග පරිභෝග සම්පත් ලබයි. කීර්තිය දස දෙස පතල වෙයි. නොබියව නොපැකිලිව විශාරදව සභා මැදට පැමිණෙයි. නොමුළාව කළුරිය කෙරෙයි. සඟ සැප ලබයි.

ප‍්‍රශ්නය- කාමාවචර කුසල කර්ම කළ සැදැහැවතුන් මතු භවයක උපදින භූමි නම් කරන්න.

පිළිතුර- 1. මනුෂ්‍ය ලෝකය, 2. සදෙව් ලොව, 1.චාතුර් මහා රාජිකය, 2. තාවතිංසය, 3. යාමය, 4.තුසිතය, 5. නිර්මාණරතිය, 6. පරනිම්මිත වසවර්තිය.

ප‍්‍රශ්නය- නිර්වාණය පිළිබඳ සැපයෙන ධර්ම විස්තරවල නිරතුරුවම සොපාදිසේස නිර්වාණය සහ අනුපාදිසේස නිර්වාණය සහ යනුවෙන් නිර්වාණ දෙකක් ගැන සඳහන් වේ. මේ පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර- මෙය නිර්වාණ වර්ග දෙකක් නොව එකම නිර්වාණය මරණයට පෙර හා මරණයෙන් පසු සාක්‍ෂාත් කර ගන්නා ආකාරයට අනුව වෙන් කිරීමකි.

ඉතිවුත්තපාලි ග‍්‍රන්ථයෙහි මේ පිළිබඳ අගනා බුද්ධ දේශනාවක් අන්තර්ගත ය. මහණෙනි! නිබ්බාණ ධාතුව හා උපාධි විරහිත නිබ්බාණ ධාතුව, මනාව සත්‍යාවබෝධය කර විමුක්ත වූ රහත් භික්‍ෂුව ය. ඔහුගේ පසිඳුරෝ තවම පවතී. ඔහුගේ මේ රාග දෝෂ මෝහ වැනසීම, සොපාදිසේස නිබ්බාණ ධාතුව නම් වෙයි. අනුපදිසේස නිබ්බාණ ධාතුව නම් කිසියම් භික්‍ෂුවක් රහත්ව විමුක්තව වෙසෙයි.

මේ ජීවිත කාලය තුළම ඔහු ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබන වින්දන ඔහුට පී‍්‍රතිය පිණිස නොපවතී. ඒවා සිසිල්ව යයි. එය අනුපාදිසේස නිබ්බාන ධාතු නම් වෙයි.

ප‍්‍රශ්නය- බුදුසිරිත පිළිබඳ කවියෙකුගේ අදහසකි මේ. බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්‍ෂයේ පිපුණු මලයි.

මල පිපෙන්නේ අසීමිත ලක්‍ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුව ය. එයින් වහනය වන ප‍්‍රඥා සුගන්ධයෙනුත් ඇද හැලෙන දයාව නමැති මකරන්ධයෙනුත් ලෝකය පිරෙයි. මේ සුප‍්‍රසිද්ධ කවියාගේ නම් කුමක්ද ඉහත සඳහන් පාඨය ඇතුළත් ග‍්‍රන්ය කුමක් ද?

පිළිතුර- එඩ්වින් අර්නෝල්ඩ් නමැති කවියාගේ “ආසියා ආලෝකය” නම් බුද්ධ චරිතය කාව්‍යයේ ඉහත සඳහන් පාඨය සඳහන්ව ඇත.

ප‍්‍රශ්නය- ලංකා ශාසනික ඉතිහාසයෙහි ඉතා වැදගත් ම පුවතක් වංස කථාවල මෙසේ සඳහන් වෙයි. මේ සටහන් වන පුවත පිළිබඳව විවරණයක් කරන්න.

අහං බුද්ධං ච ධම්මං ච සරණං ගතො උපාසකත්තං දෙසෙසිං සක්‍ය පුත්තස්ස සාසනෙ ත්වාම්පිමානි රතනානි උත්තමානි නරුත්තම චිත්තං පසාද යත්වාන සද්ධාය සරණංවජ, මම තෙරුවන සරණයෙමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමය ඔබද සිත් පහදවා ඒ තෙරුන් සරණ යන්න.

පිළිතුර- අශෝක මහ රජතුමන් විසින් මසකට පමණ කලින් ලක්රජු වෙත එවන ලද මෙම දහම් පණිවිඩය, මිහිඳු මාහිමි ප‍්‍රමුඛ ධර්මදූත පිරිසේ කාර්යභාරය පිළිබඳ කළ පෙර වදනක් ලෙස සැළකිය හැකි ය.

ප‍්‍රශ්නය- පැරැණි ශ්‍රී ලංකා පුරා විද්‍යා ගවේෂණවල දී බෝධිසත්ව ප‍්‍රතිමා බොහොමයක් හමුවී තිබේ. විශේෂයෙන් අනුරාධපුර අභයගිරි සම්ප‍්‍රදායට අයත් විහාර රැසක මෙම බෝධිසත්ව ප‍්‍රතිමා හමු වී ඇත. ඒ පිළිබඳව ඔබ උගත් දේ පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර- අනුරාධපුර අභයගිරි විහාරයේ සන්නිපාත ශාලාව අසළ තිබී බෝධිත්ව ප‍්‍රතිමා දෙකක පා කොටස් පමණක් සොයා ගෙන තිබේ. ඒ හැර දිග්ගලට බටහිරින් ඇති ආරාමයේ ස්තූපයට ඊසාන දෙස විශාල ප‍්‍රතිමා ගෙය බෝධිසත්ව ප‍්‍රතිමා සඳහා වෙන් වූවක් සේ අනුමාන කළ හැකි ය. තවද අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින් බෝධිසත්වයෙකු ගේ යැයි සැලකිය හැකි ගල් පිළිමයක උඩ කොටස හමු විය. හිටි පිළිම සඳහාත් පද්මාසන එහි දක්නට ලැබෙයි. විශාලම බෝධිසත්ව ප‍්‍රතිමාව මොණරාගල දිස්ති‍්‍රක්කයේ දඹේගොඩ දී හමුවිය.

ප‍්‍රශ්නය- ඉපැරැණි කලාත්මක කෘතීන් අතර සඳකඩ පහණට හිමි වී ඇත්තේ අති විශේෂ ස්ථානයකි. වැදගත්ම සඳකඩ පහණ් දෙක ඇත්තේ කොහිද? ඒවායේ අන්තර්ගතය පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර- කලාත්මක අතින් වැදගත්ම සඳකඩපහන් දෙක ඇත්තේ අභයගිරි විහාරයේ ය. එයින් විශාල සඳකඩපහන සංචාවාස ඒකකයේ මැද ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩිපෙළ අග වෙයි.

අනික එම ස්ථානයට මඳක් වයඹ පැත්තේ කඳුගැටය මත ඇති බිසෝ මාලිගය නමින් හැඳින්වෙන ගොඩනැඟිල්ලේ දොරටුවෙහි පඩිපෙළ අග වෙයි.

ඉහත සඳහන් සඳකඩ පහන්වල ගිනිදැල්, සිව්පා, පන්තිය, ලොකු ලියවැල, හංස පන්තිය, කුඩා ලියවැල හා මැද පද්මය වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.