Print this Article


ස්තූප වන්දනාව

ස්තූප වන්දනාව

අහස් කුස අරා තේජාන්විතව විරාජමාන බෞද්ධ ස්තූප නෙත ගැටෙන අදන්තයෝ අදෘශ්‍යමාන ගුප්තාර්ථයන්ගෙන් යුක්ත යැයි සිතා දාන්තයෝ බවට පත් වෙති. දාන්තයෝ නිතැතින් ශ්‍රද්ධාවෙන් පිරෙති. එතැන් සිට ඔවුහු මෙම පූජ්‍ය වස්තු විෂයයෙහි විමර්ශනශීලීහු වෙති. එහි ප්‍රතිඵලය නම් බුදු දහමෙහි ශිලාදී අනුපූර්ව ලක්ෂණ වටහා ගැනීමයි. ඇතැම්විට අදෘශ්‍යමාන ගුප්තාර්ථයන්ගෙන් යුක්ත යන විශ්වාසය මත ගස්, ගල්, පර්වත ආදිය සරණ යන අශාන්තයෝ ශාන්තයන් බවට පත්ව විමසන්නෝ වෙති

බෞද්ධ සම්ප්‍රදායානුකූල ව ශාරීරික, පාරිභෝගික, උද්දේසික වශයෙන් චෛත්‍යයෝ ත්‍රිවිධ වෙති. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කොට ශාරීරික චෛත්‍යයන් ද උන්වහන්සේ පරිහරණය කළ පාත්‍රය, මිණි පලඟ වැනි පූජනීය වස්තු නිදන් කොට පාරිභෝගික චෛත්‍යයන් ද, බුද්ධ ලක්ෂණ පිළිබිඹු වන සේ නෙළා ඇති බුදු පිළිම නිදන් කොට උද්දේසික චෛත්‍යයන් ද ලෙස හැඳින්වේ.

එහෙත් ලාංකික ව්‍යවහාරය අනුව ත්‍රිවිධ චෛත්‍යයන් ලෙස ගැනෙන්නේ චෛත්‍ය, බෝධිය හා විහාර ගෙය යි.

ස්තූප, චෛත්‍ය, ධාතු ගර්භ, විහාර, ථූප චේතිය, ධාතු ගබිභ, විහාර තුඹ වෙහෙර, සෑය ආදී විවිධ පර්යාය නම්වලින් හඳුන්වනු ලබන ස්තූපයේ සම්භවය නොදියුණු ශිලා යුගය වැනි ඉපැරැණි සංස්කෘතීන්ට අයත් බැව් සලකති. මිහිදන් කළ මළවුන් භූතාත්මවලින් උත්ථානය වේ යැයි විශ්වාසයෙන් ඒමත ගල් ගොඩවල් ගැසීම ශිලා යුගයේ පැවති චාරිත්‍රයක් බව බද්දේගම විමලවංස නාහිමියෝ පෙන්වා දෙති. සොහොන ප්‍රභවය කොට ස්තූප නිර්මාණය වූ බව පර්ගසන් පෙන්වා දෙන අතර, මළවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්මාරක කරවීම ශාක්‍ය වංශිකයන්ගේ සංස්කෘතිකාංගයක් ලෙස පැවති බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා පවසයි. හිරණ්‍ය ස්තූපයෙන් මහා පුරුෂ හෙවත් වෛදික බ්‍රහ්මත් සංකේතවත් වන බවත්, ඒ අනුව බුදුරජාණන් වහන්සේ සංකේතවත් කිරීම පිණිස බෞද්ධ ස්තූප නිර්මාණය කොට ඇති බවත් වී.ඇස්. අග්‍රාවාල්ගේ අදහසයි. බිය, සැක, තැති ගැනීම් වැනි මනෝභාවයන් හේතු කොට ගස්, ගල්, පර්වත වැනි ස්වභාවික වස්තු වන්දනාව නිරන්තරයෙන් සිදු කළ අයුරු වෛදික සාහිත්‍යයෙන් හෙළි වේ. මේ ආදී විවිධ මතවාද අනුව ස්තූප නිර්මාණයේ ප්‍රාථමික ස්වරූපය එසේ වුවත්, විචාරශීලි, විධිමත්, බෞද්ධ අර්ථකථනයක් හෙවත් වන්දනා ක්‍රමයක් බෞද්ධ ස්තූප නිර්මාණයෙන් ආදේශ කොට ඇත.

ජන වහරෙහි “වෙහෙර” යනුවෙන් හැඳින්වෙන චෛත්‍යයන් සඳහා පාලි භාෂාවෙන් “චේතිය” ශබ්දය බහුලව භාවිත කොට ඇත. විවිධ නයින් නිරුක්ති දක්වා ඇති මේ ශබ්දය රැස්කිරීම් අර්ථය ඇති චී (චයෙ) ධාතුවෙන් නිපන් පදයක් වශයෙන් දක්වන අර්ථය වඩාත් උචිත බැව් පෙනේ. බියෙන් තැතිගත් මිනිස්සු පර්වත, වන, ආරාම, රුක් ආදී චෛත්‍යයෝ පිහිට කොට ගිය බව.

“බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනා නි ච
ආරාම රුක්ඛ චෙතියානි මනුස්සා
භය තජ්ජිතා”

යන ධම්ම පද ගාථාවෙන් දැක්වේ. තවද මජ්ක්‍ධිම නිකායේ භය භේරච සූත්‍රයෙහි, “තථාරුපාසු රත්තිසු යානි තානි ආරාම චෙතියානි, වන චෙතියානි, රුක්ඛ චෙතියානි හිංසනකානි සලෝමහංසානි, තථාරුපෙසු සෙනාසනෙසු විහාරාමි” (එවැනි රාත්‍රියන්හි බිහිසුණු වූ, ලො මුඩැහැ ගන්වන්නා වූ යම් ඒ ආරාම චෛත්‍යයෝ වන චෛත්‍යයෝ වෘක්ෂ චෛත්‍යයෝ, වෙත් ද එබඳු සෙනසුන් හි වසමි) මෙවැනි පාඨ අනුව චෙතිය යනු එක් රැස් වූ යම් වස්තුවක් හෝ දෙයක් හෝ වශයෙන් සලකා ඇති බව පැහැදිලි වේ. චෛත්‍යය යනු ස්ථූපයේම පරියාය නාමයක් බව ප්‍රසිද්ධ ය. එහෙත් චෛත්‍යය යන්න හුදු ස්තූපය සඳහා ම යෙදෙන නාමයක් නොවේ. ආගමික පුද පූජා පැවැත්වීම සඳහා යොදා ගනු ලැබූ වෘක්ෂයන් ද ඇතැම් ප්‍රාග් බෞද්ධ ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ. යැයි මහාචාර්ය පරණවිතාන ලංකා ස්තූප ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

මේ අනුව ශ්‍රී මහා බෝධිය, ස්තූප, මාලිගා ආදී පූජ්‍ය හා ඓතිහාසික වස්තු හැඳින්වීමේ පුරාවිද්‍යාත්මක රූඪි නාමය “ස්මාරක” යනුවෙන් හඳුන්වන්නා සේ සියලු පිදිය යුතු ස්ථාන හෝ වස්තු, පොදු ය. පාලි භාෂාවෙන් හැඳින් වූ රූඪි නාමය චෙතිය යනුවෙන් හඳුන්වයි. නපුංසක ලිඟු චෙතිය ශබ්දය, බහු වචන රූපය, චෙතියානි, යනුවෙන් සෑම තැනකම යොදා ඇති නමුත් ඉහත “බහුං වේ සරණං යන්ති” යන ගාථාව වැනි තැන්වල “චෙත්‍යානි” ලෙස යොදා ඇත.

ස්තූපයක් තැනීමට සුදුසු (ථුපාන්හ) පුද්ගලයන් සිව් දෙනකු පිළිබඳ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි සැරියුත්, මුගලන් හා දාරුවීරිය මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ සතරමං හන්දිවල තැන්පත් කොට සිහිවටන කළ බව දැක්වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි ධාතුන් වහන්සේ තැන්පත් කොට සතරමං හන්දිවල ස්මාරක කරවන ලෙස ආනන්ද හිමියන්ට වදාළහ. ධම්මපදට්ඨ කථාවේ “කස්සප දාස බලස්ස සුවණ්ණ චේතිය වත්ථු” වේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කොට කළ රන්මුවා කරඬුවක් ගැන සඳහන් වේ. හුදෙක් මේවා පුරාවිද්‍යාත්මක සාධක මත ඔප්පු කළ නොහැකි වුවත් තත් කාලීන සමාජයේ ඇදහිලි හා විශ්වාසයන්ගේ බෞද්ධ ප්‍රවණතා වටහා ගැනීමට සාක්ෂ්‍ය වේ.

අහස් කුස අරා තේජාන්විත ව විරාජමාන බෞද්ධ ස්තූප නෙත ගැටෙන අදාන්තයෝ අදෘශ්‍යමාන ගුප්තාර්ථයන්ගෙන් යුක්ත යැයි සිතා දාන්තයෝ බවට පත් වෙති. දාන්තයෝ නිතැතින් ශ්‍රද්ධාවෙන් පිරෙති. එතැන් සිට ඔවුහු මෙම පූජ්‍ය වස්තු විෂයයෙහි විමර්ෂණශීලීහු වෙති. එහි ප්‍රතිඵලය නම් බුදු දහමෙහි ශිලාදී අනුපූර්ව ලක්ෂණ වටහා ගැනීමයි. ඇතැම්විට අදෘශ්‍යමාන ගුප්තාර්ථයන්ගෙන් යුක්ත යන විශ්වාසය මත ගස්, ගල්, පර්වත ආදිය සරණ යන අශාන්තයෝ ශාන්තයන් බවට පත්ව විමසන්නෝ වෙති. එහෙත් බුද්ධිමය වශයෙන් කිසිවක් හමුනොවන හෙයින් මිථ්‍යා මතයන්හි මං මුළා වෙති. මෙම ස්වභාවය වෙනස් කොට විජ්ජාචරණයෙන් යුත් විදුහුරු චින්තාවලියක් ගොඩනඟා ගැනීමෙහිලා බෞද්ධ චේතිය වන්දනාවේ සම්ප්‍රාප්තිය හේතු විය. යම් කෙනෙක් සෑ වඳිමින් පුදමින් ඇවිදිමින් පහන් සිත් ඇති කෙරෙත් නම් දෙලොවෙහි ම සැප ලබන බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වේ. යේ හි කෙචි ආනන්ද චෙතියචාරිකං ආභිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති සබ්බේ තේ කායස්ස භෙදා පරමිමරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජිස්සන්ති’ මේ අනුව චේතිය වන්දනා කුසල් රැස් කරන හෝ රැස් කරවන ස්ථාන වශයෙන් ද අර්ථවත් වේ.