Print this Article


අනුන් දැවීමේ උත්සාහය තමන් ගිනිගොඩකට වැටීමයි

අනුන් දැවීමේ උත්සාහය තමන් ගිනිගොඩකට වැටීමයි

මේ ජීවිතයට තිබෙන අති මිහිරි දෙයක් තමා කෝප නො වීම, ක්‍රෝධ නො කිරීම, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා. “අසවලා මට බැන්නේ ය. ගැහුවේ ය. මා සතු දේ පැහැර ගත්තේ ය කියලා. එයම දිගින් දිගට සිතද්දී ඔහුගේ සිතින් හට ගන්නා තරහා, ක්‍රෝධය, වෛරය සන්සිඳීමට පත් වෙන්නේ නෑ” කියලා.

සමහර අවස්ථාවක කෙනෙක් අපේ යහපත වෙනුවෙන් දෙයක් කීවත් අපට හිතෙන්නේ. ‘අනේ බැන්නා’ කියලා. මේ දේවල් නැවත, නැවත මෙනෙහි කරද්දී අපිටත් තේරෙන්නේ නෑ හිතේ වෛරය පිහිටනවා කියලා.

බද්ධ වෛරය කියන්නේ, වෛරයට හිත බැඳෙනවා කියන එකයි. බැඳුණට පස්සේ සර්පයා තුඹසේ ඉන්නවා වගේ. හොයන්න බෑ. හැබැයි අවස්ථානුකූල ව මතු වෙනවා. මේවා හඳුනා නොගත්තොත් අපට ජීවත් වෙන්න වෙන්නේ අකුසල් එක්කයි. අකුසලයට කුසලයක් උපද්දවන්න බෑ. සමහරු වෛර බඳිනවා පුංචි දේට. සමහරු වෛර බඳිනවා ලොකු ලොකු දේට. පුංචි වේවා, විශාල වේවා යමක් කෙරෙහි හිතක ඇතිවෙන වෛරය නම් යහපත පිණිස නොපවතින දෙයක් ම යි.

බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්‍රෝධයට උපමාවක්. ඒ තමා විස මුල් ඇති, මිහිරි අග ඇති දෙයක් බව. ගහක මුලෙන් තමා ඒ ගහ වැඩීම පිණිස සියලු සාරය උරාගන්නේ. ඒ ගසේ කඳ, කොළ, පොතු, මල්, ගෙඩි සියල්ලට ම ඒ සාරය උපකාරකයි. ඒ වගේ කෙනෙක් තුළ ක්‍රෝධය නමැති විස මුල් ඇදලා නම් එයාගේ ක්‍රියාවේ, වචනයේ, සිතුවිලිවල තියෙන්නේ ක්‍රෝධය, පලිගැනීම නමැති අමිහිරි අග. ඒ කියන්නේ එයා සතුටට පත් වෙන්නේ පලිඅරන්. පලිගන්නේ කොහොමද? එකට එක කිරීමෙන්.

සමහර වෙලාවට පුංචි දේටත් මේ හිතේ වෛරය පිහිටනවා. කවුරුහරි අපිට සැර වචනයක් කියනවා. මෙන්න කතා නොකර ඉන්නවා. ගස්සගෙන යනවා. රවනවා. මූණ පුම්බ ගන්නවා. කතා කරද්දී ඇහෙන්නේ නෑ වගේ යනවා. මේ විදියට ප්‍රතිප්‍රහාර දීලා සතුටට පත්වෙනවා. සමහර වෙලාවට මීට වඩා භයානක විදියට වෛරය පිහිටුවා ගන්නවා. මේ හිතක හටගන්න වෛරය ගොඩාක් දුර යන එකක්. සසර පුරුද්දක් විදියට භවයක් භවයක් ගානේ පස්සෙන් එනවා.

මිනිස් ලොව, තිරිසන් ලොව, පේ‍්‍රත ලොව ආදී කොයි ලෝකෙක හිටියත් වෛරය පිහිටුවා ගෙන ඉන්න ආකාරය අනුව එකිනෙකා මුණගැහෙනවා. ධාතු ස්වභාවයකින් ඒක වෙන්නෙ. ඊට පස්සෙ පළිගන්නවා, අනන්ත වද වේදනා, දුක් පීඩා විඳිනවා. එහි අවසන් වීමක් නෑ.

ඔබ අහලා ඇති කාලි යකින්ණියගේ කතාව. එක් පුරුෂයෙක් හිටියා සැවැත්නුවර. ඔහුගේ බිරියට දරුවන් නැති නිසා තවත් බිරින්දෑ කෙනෙක් කැන්දාගෙන ආවා. ඇයට දරුවන් ලැබුණොත් දේපළ අයිති වේ යැයි යන ඉරිසියාවෙන් පෙළුණ පළමු බිරිය දෙපාරක් ම දෙවන බිරියගේ කුස පිළිසිඳ ගත් දරුවන් ගබ්සා වෙන්න බෙහෙත් දුන්නා. තුන්වැනි දරුවට බෙහෙත් දෙන විට දරවා හොඳට ම වැඩිලා හිටියේ. එවර ඒ දරුවත් එක්ක ම මවත් මරණයට පත් වුණා. ඒ අහිංසක මවට මහා වේදනාවක් හට ගත්තා. ඇගේ පැත්තෙන් බැලුවොත් ඇගේ මොනයම් ම වරදක්වත් තිබුණේ නෑ. නිරපරාදේ දරුවන් තුන්දෙනාත්, ඇයත් මරණයට පත්වුණේ. හැබෑවට ම ඇයට අසාධාරණයක් සිදු වූයේ. නමුත්......මේ සසරේ අපට කිසි විට සාධාරණය හමු වන්නේ නෑ. සසර පුරාවට අප අසාධාරණයෙන් බැට කමින්, අනන්ත පීඩා විඳිමින් යා යුතු ව පවතිනවා. ඉතින් ඇගේ හිතේ වෛරයක් හටගත්තා. ‘මං මැරිලා යක්ෂණියක් ව උඹේ දරුවන්වත්, උඹවත් 'කනවා’ කියලා හිත පිහිටුවා ගත්තා.

මරණයට පත් වූ ඒ අසරණ මව ඒ නිවෙසේ ම බැළලියක් වුණා. පළමු බිරියගේ ක්‍රියාව දැනගත් ස්වාමියාගෙන් ලැබුණු පහරවලින් ආබාධයට පත්ව එයින් මියගොස් ඇයත් එම නිවෙසේ ම කිකිළියක් ව ඉපදුණා. බැළලිය, ඒ කිකිළිය දමන දමන බිත්තරය කා දමනවා. කිකිළියවත් කා දමන්න මාන බලනවා. ඉතින් කිකිළිය මෙහෙම හිතුවා. ‘මා දමන දමන බිත්තර කා දමා, මාත් කෑමට සිටින උඹව දරුවන් සහිත ව කන්න ලැබේවා.’

කිකිළිය මියගොස් දිවි දෙනක වී උපන්නා. බැළලිය මියගොස් මුව දෙනක ව උපන්නා. මුව දෙන දරුවන් වදන විට සත් වරක් ම දිවි දෙන ඇගේ පැටවුන් කා දැම්මා. මුව දෙන වෛරය පිහිටුවා ගත්තා. ‘දරුවන් කා දමා දැන් මාත් කන මැය දරුවන් සමඟ ම කන්ට ලැබේවා’යි ප්‍රාර්ථනා කොට මුව දෙන යක්ෂණියක් ව උපන්නා. දිවි දෙන මියගොස් සැවැත්නුවර කුල දුවක් ව උපන්නා. ඈට උපන් දරුවන් දෙපාරක් ම යක්ෂණිය විසින් කා දැමුවා. මේ සිද්ධි දාමයේ පළමුවෙන් දරුවන් සමඟ මරණයට පත්වූ අහිංසක මාතාවයි මෙසේ යක්ෂණියක් ව උපන්නේ.

ඉරිසියාවෙන් මත් වී ඇයත්, දරුවනුත් මරා දැමූ දුෂ්ට කාන්තාව අද මිනිස් මවක් ව සිටිනවා. යක්ෂණිය තුන්වැනි දරුවාත් කා දමන්නට යද්දි තමයි ඒ දරුවා රැගෙන මව ජේතවනාරාමයට දිවගියේ.

එදා බුදු සමිඳුන්ගේ සම්බුදු වදන් ඇසූ යක්ෂණිය වෛරය අත්හැරියා. සැනසීමට පත් වුණා. සතර අපායෙන් මිදී ගියා. ඔවුන් දෙදෙනා ම වෛරය නිසා ඇවිළී ගිය චිත්ත සන්තාන දහම් ඔසුවෙන් නිවා දැමුවා. නමුත්...මේ අයුරින් වෛරය හැර දා සැනසිල්ලට පත්වන්නට හැම දෙනාට ම අවස්ථාව ලැබෙන්නේ නෑ.

මේ සිදුවීම් දෙස මොහොතක් බලන්න. එක්තරා සිටු පුත්‍රයන් හතර දෙනෙක් සිටියා. ඔවුන් සල්ලාල ජීවිත තමයි ගත කළේ. දවසක් මේ හතර දෙනා ම එකතු වෙලා කහවණු දහසක් දීල එක් ගණිකාවක් එක් දිනකට වෙන් කර ගත්තා. එක්තරා උයනකට රැගෙන ගියා. කාමයෙන් මත් වී දවස පුරාම ඈ සමඟ කාමයේ හැසිරෙමින් කාම දාහය නිවා ගත්තා. සවස් වීගෙන එන විට මිනිසුන්ගෙන් තොරවූ උයන දකිද්දී ඔවුන්ට මෙවැනි අදහසක් ඇතිවුණා.

‘මැයව මරා අප දුන් කහවණු දහසත්, ඇගේ පළඳනාවනුත් පැහැර ගමු’ කියා. හතර දෙනා ම එයට එකඟ වුණා. මොවුන් කතිකා කර ගත් දේ ඒ කාන්තාවට හොඳින් ම ඇසුණා. ඇයට මහා තරහක් හට ගත්තා. ඇය ඒ වෙලාවේ අසරණයි. ‘මොවුන් කිසි ලජ්ජාවක් නැති අයයි. දවස පුරාම මා සමඟ අභිරමණය කොට දැන් මා මරන්ටයි සූදානම් වන්නේ.’ එසේ සිතූ ඈ මරණයට පත්වෙද්දී ‘මමත් යක්ෂණියක් ව මොවුන්වත් මරනවා.’ යැයි වෛරය හිතේ පිහිටුවා ගත්තා. මරණයට පත්ව යක්ෂණියක් ව උපන් ඇය සියක් වතාවක් භවවල දී ගව දෙනකට ආවේශ වී ඔවුන්ගේ දිවි තොර කළා.

ඇත්තෙන් ම අසාධාරණය සිදුවූයේ ඇයට ම යි. සසර පුරා නැවත නැවත ඇය අසාධාරණයට බඳුන් වුණා. ඇය වෛරය හිතේ පිහිටුවා ගත්තේ දුශ්සීල වූ පෘථග්ජන මිනිසුන් හතර දෙනෙක් පිළිබඳව යි. ඈ මෙන් ම ඔවුන් ද සසරේ දිගට ම පැමිණියා.

එහෙත්.......ඈ බද්ධ වෛරය ම හිත තුළ පිහිටුවා ගෙන එද්දී ඔවුන් ඒ වරදේ විපාක විඳින අතර ම කුසලයේ හිත පිහිටුවමින් පැමිණියා. සාධාරණය, යුක්තිය ඉටු විය යුත්තේ ඇයටයි. එනමුදු , හොඳින් විමසා බලන්න. ඇය පිහිටුවාගත් වෛරය අවසන් වූයේ කොතැනින් ද? ක්‍රෝධය නැමැති විෂ මූලය හිතේ පිහිටුවා ගත්තාට පස්සේ ඇය සතුටු වූයේ පළිගැනීමෙන් ම යි. ඇයව මරා දැමුවේ, ඇය අතවරයට ලක්වූයේ, ඇගේ ආභරණ පැහැර ගත්තේ එක් වතාවක් පමණයි. එහෙත් සියක් වාරයක් ඔවුන් මරා දැමුව ද ඇයගේ වෛරය සන්සිඳුණේ නැහැ. වෛරයෙන් කිසි දින වෛරය නොසන්සිඳේ.

දුශ්සීල වූ පවිටු මිනිසුන් කෙරෙහි තම සිතේ පිහිටුවා ගත් වෛරය සන්සිඳුවා ගැනීම පිණිස මෙවර ඇය මරා දැමුවේ කවරෙක් ද? සියලු කෙලෙසුන් ගෙවා දමා සැනසිල්ලට පත් පරම පිවිතුරු හද මඬලක් දරා වැඩ සිටි බාහිය දාරුචීරිය නම් උත්තම මහරහතන් වහන්සේ යි. හිතේ පිහිටුවා ගත් වෛරය ඇයත් නොදැනම කල්පයක් පුරා විඳවන ආනන්තරීය පාප කර්මයක් කරා ගෙන ගියා නොවේ ද?

එසේ ම, ඕරම්භාගිය සංයෝජන ප්‍රහාණය කොට අනාගාමී ඵලයට පත් වූ පුක්කුසාති නම් උතුමන් ද, සතර අපායෙන් මිදුණ සුප්‍රබුද්ධ නම් උපාසක ද, සද්ධානුසාරී ව දෙව්ලොව උපත ලැබූ තම්බදාඨික චෝර ඝාතකයා ද අවසන් වරට ඇය විසින් මරණයට පත් කරනු ලැබුවා.

ඔවුන් අතින් ඇය ව විපතට පත් වූයේ එක්වරක් පමණයි. නොයෙක් වාරවල ඒ වරදේ දුක් විපාක ඔවුන් විඳවන්නට ඇති. නිරයේ ඉපිද අනේක දුක් විඳින්නට ඇති. එනමුදු සත්පුරුෂ ඇසුර ලැබූ සැණින් සියලු වැරැදි පිඹ හැර සිත කුසලයේ පිහිටෙව්වා. ඒ පින්වන්තයින්ගෙන් සමහරෙක් සියලු දුකින් මිදී අමා නිවනට පත්වූවා. සමහරෙක් සුගති රැකවරණය සලසා ගත්තා.

සිතන්න, නොයෙක් ආකාරයෙන් විමස විමසා බැලුව ද මේ සසරේ නිරතුරු ව පවතින්නේ අසාධාරණය පමණයි. එබැවින් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන නිසැක බවට පත් වන තුරුම අපට අන් අයගෙන් ද, අන්‍යයන්ට අපගෙන් ද සුළු හෝ විශාල හෝ වේවා වැරැදි අඩුපාඩු සිදු විය හැකියි. වැරැදි සිදු වන විට වරදට සමාව ගැනීම කළ යුතුයි. කෙනකු සමාව අයදින විට වෛරය සිතේ පිහිටුවා ගෙන නොසිට වරදට සමාව දීම කළ යුතු ම යි. යමෙක් තව කෙනෙක් ගැන වෛරය පිහිටුවා ගනී නම් පළමු අසාධාරණය වන්නේ ඔහුට ම යි. අන් අය නැසීමට පෙර ඔහු තමාව ම නසා ගන්නවා. තුන්ලොව දිනූ අප භාග්‍යවතුන් වහන්සේ කාලි යක්ෂණියට වදාළ මේ උතුම් ගාථාව දෙස බලන්න.

“නහී වේරේන වේරානී සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ”

“වෛරය කරන කෙනාට වෛර කිරීමෙන් ඒ වෛරය නොසන්සිඳෙයි. යම් සේ කෙළ, සොටු, මල මූත්‍ර ආදී අසූචි පිටවන තැන් ඒ අසූචිවලින් ම සේදූ විට පිරිසුදු කළ නොහැකියි. දුගඳ නැති කළ නොහැකියි. තව තව අපිරිසුදු බවට ම පත් වෙයි. තව තව දුගඳ හමයි. වෛර නොකිරීමෙන් ම යි වෛරය සන්සිඳෙන්නේ කෙළ, සොටු මළ මුත්‍ර ආදිය පිරිසුදු ජලයෙන් සේදූ විට පිරිසුදු වෙයි. දුගඳ නැති වෙයි. එලෙසින් ම අවෛරයෙන්, ඉවසීම - මෛත්‍රිය නමැති සිහිල් දියෙන් වෛරය සන්සිඳෙයි. නැති වෙයි. මෙසේ අවෛරයෙන් වෛරය සන්සිඳීම බුදු පසේ බුදු මහරහත් උතුමන් වැඩූ මාර්ගය යි.”

ද්වේෂයෙන් දැවෙන විට ශරීරය සිදුරු කළ දඬු, කෝටු ආදියට ද්වේෂ නොකර එය කරන්නා වු පුද්ගලයාට ද්වේෂ කිරීම සිතේ ස්වභාවය යි. එයට යට නොවී ද්වේෂයට අකැමැති වීම යහපති. පුද්ගලයා කෙරෙහි ද්වේෂ නොකිරීම යහපති. ද්වේෂය උපදින විට එය නැසිය යුතුයි. නොවැඩිය යුතුයි. එය නැසීමට ඉවසීම, මෛත්‍රිය පුරුදු කළ යුතුයි. එවිට ද්වේෂය නැති වී යයි. අහස සේ කෙළවරක් නැති දුදනන් හැම දෙනා මරන්නට නොහැකි බැවින් ක්‍රෝධ සිත මරනු මැනවි. එවිට හැම සතුරන්ම මරන ලද්දේ වෙයි.