දෙවනපෑතිස් නිරිඳු
කරවටක් දියට බැස
මහා බෝධි ශාඛාව හිසින් ගත් පුදබිම
සංඝමිත්තා විහාරය

දඹකොළ පටුන ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසිනි. යාපනය දිස්ත්‍රික්කයේ යාපනය
නගරයට කි.මී.20ක් දුරින් හා කන්කසන්තුරයට කි.මී. 10ක් දුරින් මෙම පුදබිම පිහිටා
තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරෙහි පිහිටි දඹකොළ පටුන පිළිබඳ ව මහාවංසයේ සඳහන්
ලෙස ක්‍රි.පූ. 250 සිදු වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් වසරකට පසු ඔහුගේ
සොහොයුරිය වන සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ පිරිස බුද්ධගයාවේ සිට වැඩමවා ගෙන ආ
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන නැව් මඟින් වැඩම වූයේ මෙම ස්ථානයට
බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ය.
ජම්බුකෝලපට්ටන යන නාමයෙන් ද ප්‍රකට එම වරායට සංඝමිත්තා තෙරණිය සහ එම භික්ෂුණීන්
වහන්සේ නැව් මඟින් පැමිණෙන බව දැනගත් දෙවනපෑතිස් රජු සිය රාජ අමාත්‍ය පිරිස ද
සමඟින් මිහිඳු මහ රහතන් වහන්සේ ද, මහා සංඝයා වහන්සේ ද දඹකොළ පටුන පිහිටි එම වරායට
පැමිණි බව සඳහන් ය.
ඈත මුහුදේ ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන පැමිණෙන දුටු දේවානම් පියතිස්ස රජු
කරවටක් මුහුදට බැස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සහිත එම පාත්‍රය හිසින් ගත් බව ද සඳහන්
ය.
සමස්තයක් ලෙසින් සලකන කල්හි මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීමේ මෙම ඓතිහාසික
සිද්ධිය අප රටේ ලිඛිත ව දක්නට ලැබීම සුවිශේෂ වාර්තාවක් වන්නේ ය. ඒ වගේ ම දීපවංසය,
මහාවංසය, සමන්තපාසාදිකා, සිංහල බෝධිවංසය සහ පාලි බෝධිවංසය යන ග්‍රන්ථයන් හි ද බෝධි
රෝපණය පිළිබඳ සඳහන් ව ඇත. මෙම සුවිශේෂී අවස්ථාවට ගෞරව දැක්වීම සඳහා සංඝමිත්තා
විහාරය ඉදි කළේ ය.
දෙවනපෑතිස් රජු බුදු දහම වැළඳගත් පසු ප්‍රථම වර්ෂයේ දී ම කරවන ලද විහාර අතර නාග
දිවයිනේ මෙකල යාපනයේ දඹකොළ නම් විහාරය ද විය. ජම්බුකෝලයේ ම වූ සමුද්දා පණ්ණශාලාවක්
ජම්බුකෝල විහාරයක් ගැන ද මහා වංසයෙහි සඳහන් වේ.
ජය ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ වැඩම කළ අවස්ථාවේ දී උන්වහන්සේ පිළිගැනීමට එහි
පැමිණි දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස නැවතී සිටි මණ්ඩපය තිස්ස මළුව නමින් ද එම
ප්‍රදේශය “තිස්සගම” ලෙස ද හඳුන්වා ඇති අතර ද්‍රවිඩ ජනතාව ඒ සඳහා “තිසාමලෙයි”
යනුවෙන් හඳුන්වා ඇත. එහි කරවූ ශාලාව සමුද්‍රාසන්නසාලා නමින් ද වාලුකා විහාර නමින් ද
හඳුන්වන ලද බව ද කියැවේ.
දඹකොළ පටුන පිළිබඳ ව දේවානම් පියතිස්ස රාජ සමයේ විස්තර මහාවංසයේ මේ ආකාරයෙන් සඳහන්
කරන අතරතුර උතුරේ මෙකල යාපනයේ එවැනි වෙහෙර විහාර ඉදි කළේ දේවානම්පියතිස්ස රජුගේ
පළමුවන රාජ වර්ෂයේ දී බව ද සඳහන් වේ. කණිට්ඨතිස්ස රාජ යුගයේ දී එනම් ක්‍රි.ව. 167 -
186 ද, වෝහාරිකතිස්ස ක්‍රි.ව. 209 - 231 ද මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ බව ද පෙනේ.
මීට අමතරව පොළොන්නරු රාජධානි සමයේ පළමුවැනි විජයබාහු රජු දවස ද දඹකොළ විහාරය
අලුත්වැඩියා කෙරුණු බව ද සඳහන් ය. මේ අනුව දේවානම් පියතිස්ස රාජ යුගයේ සිට මහ
විජයබාහු කාලය තෙක් යාපා පටුනේ බෞද්ධාගම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බව කියැවේ.
මෙම විහාරය ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශයට පත් වූ බවත්, ස්ථූපය ඇතුළු බොහෝ ස්ථාන
මෙන් ම බෝධීන් වහන්සේ රෝපණය ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම මත වර්ෂ 1997 දී
පමණ යළි ඉදිකරන ලද බවත් සඳහන් ය. පෞරාණිකත්වයක් පෙන්වන ඓතිහාසික ගොඩනැඟිලි අද දක්නට
නොලැබුණත්, විහාරස්ථානය වන්දනාමාන සඳහා සන්සුන් ස්ථානයක් ලෙස පවතී.

දීපා පෙරේරා |