Print this Article


සසුන’ඹර එළිය කරන පල්ලාවෙල සුමේධවංස නාහිමියෝ

සසුන’ඹර එළිය කරන පල්ලාවෙල සුමේධවංස නාහිමියෝ

ගාල්ල දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය ජම්බුකැටිය ශ්‍රී සුගතාරාමය, සමගිවත්ත අභිනවාරාම තුන්බෝධි විපස්සනා භාවනා මධ්‍යස්ථානය, හා හක්මණ පල්ලාවෙල දකුණ පිටවල්ගමුව ශ්‍රී නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, සමස්ත ලංකා සාමවිනිසුරු, ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිගෞරවනීය ශාස්ත්‍රපති පණ්ඩිත පල්ලාවෙල සුමේධවංස නාහිමියන් යනු සසුන් කෙත ආලෝකවත් කරන මහා යතිවරයන් වහන්සේ නමකි.

දකුණු ලක මාතර දිස්ත්‍රික්කයට අයත් දකුණු පල්ලාවෙල නම් සුන්දර ගම් පියසේ දී. සයින්දරා සහ කේ.ඒ. හර්මානිස් යන මව්පිය දෙපළට දාව 1956 නොවැම්බර් මස 15 වැනි දින මෙලොව එළිය දුටු මෙම පින්වත් කුමරුගේ නාමය වූයේ කේ.ඒ. සුමනසේන යි. දරුවන් හත් දෙනකුගෙන් යුත් පවුලෙහි සියලු සහෝදර සහෝදරියන්ගේ ආදරය රැකවරණය ලබමින් හැදී වැඩුණු සුමනසේන දරුවා නිසි වයස එළඹීමෙන් අනතුරුව මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ පිටවල්ගමුව කණිෂ්ඨ විද්‍යාලයට ය. මූලික අධ්‍යාපනය සිදුකිරීමෙන් අනතුරුව තම පියාගේ කටයුතු සඳහා විවිධ අයුරින් සහාය දැක් වූ මෙම කුමරුන්ට පැවිදි වීමේ මහත් ආශාවක් ඇති වූ අතර මෙලෙස තරුණ වියට පා තැබූ හෙතෙම තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට විය.

ස්වකීය පවුල් පරිසරයෙන් ම යහපත් ගුණධර්මයන් හි පිහිටි සුමනසේන තරුණයා මහත් අවබෝධයෙන් ම සසුන් කෙතට ඇතුළත් වීමේ අදිටනින් ම පසු විය. ඒ අනුව මව්පිය සහෝදර ඥාතීන්ගේ පූර්ණ ආශිර්වාදය මැද 1976 ජුනි මස 10 වැනි දින හක්මන දකුණු පල්ලාවෙල ශ්‍රී නිග්‍රෝධාරාමයේ දී ප්‍රවෘජ්ජා දිවියට ඇතුළත් වූයේ පල්ලාවෙල සුමේධවංස යන ශාසනික නාමයෙනි. එහි දී උන් වහන්සේගේ ආචාර්ය වහන්සේ වූයේ දෙවාලේගම සුවණ්ණ ජොති නාහිමියන් ය. ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා පරිදි පොත්තේවෙලේ ජිනරාජ පරිවෙණස්ථානයට ඇතුළත් කරන ලද්දේ මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා ය. එලෙස වසර දෙකක් පමණ නොයෙක් දුෂ්කර බාධක මැද තම ඉගෙනුම් කටයුතු කළ සුමේධවංස හිමියන් ඉන් පසුව ඇතුළත් වූයේ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පරිවේනස්ථානයට ය. එහි දී ද ඉතා දක්ෂ ලෙස සියලු කටයුතු සිදු කරන ලද මෙම සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල පුඤ්ඤසාර පරිවේනස්ථානයට ඇතුළත් වෙමින් එකී කටයුතු මනාව සිදු කරන ලදී. එහි දී බද්දෙගම දේවරක්ඛිත, ගාල්ල විද්‍යාලෝක පරිවෙණාධිපති ව වැඩ විසූ අකුරැටියේ නන්දසාර වැනි උගත් මහා සංඝ පීතෘන් වහන්සේ ඇසුරින් තම පැවිදි දිවිය ආලෝකය කරා යොමු කරගත් සුමේධවංශ හිමියෝ 1984 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් භාග්‍ය සම්පන්න විය. තම අධ්‍යාපන කටයුතු නොයෙක් බාධක මැද ඉතා දක්ෂ ලෙස සිදු කළ මෙම තරුණ යතිවරයාණන් වහන්සේ පුරාවිද්‍ය විෂය ධාරාව ඔස්සේ දෙවන පෙළ ඉහළ සාමාර්ථ්‍යයක් ලැබීම බෙහෙවින් ප්‍රසංසනීය කරුණකි.

නොපසුබට උත්සාහය අධිෂ්ඨානය ඔස්සේ ක්‍රියා කළ සුමේධවංස හිමියන් එකී විශ්වවිද්‍යාලයෙහි පුරා විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද සේවාවක නිරත විය. එහි දී විශේෂයෙන් ම අනුරාධපුර අභයගිරි ආදී පුරාවිද්‍යා ස්ථානයන් හි කැණීම් කටයුතු සිදු කරමින් අධීක්ෂණ නිලධාරියෙක් ලෙස සුවිශාල මෙහෙවරක නිරත වූ බව සිහි කළ යුතු ය.

මෙකී කාලය තුළ දංගෙදර සුගතසීල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූ සුමේධවංස තරුණ යතිවරයන් වහන්සේ එතැන් පටන් තම ශාසනික, අධ්‍යාපනික හා සමාජීය සේවාව පුළුල් කරමින් ක්‍රියා කරන්නට විය. එම කාල වකවානුවේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද බෞද්ධ දර්ශන ඩිප්ලෝමාව ද, ශාස්ත්‍රපති උපාධිය ද කැලණි විශ්ව විද්‍යාලයෙන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වූ සුමේධවංස හිමියෝ 1993 වසරේ දී පළමුව පාසල් ගුරුවරයෙක් ලෙස මොරටුව ශාන්ත මෙතෝදිස්ත විද්‍යාලයෙහි සේවාවක නිරත වූහ.

ස්වකීය ගුරු දේවයන් වහන්සේ වන දංගෙදර සුගතසීල නාහිමියන් එම කාල සමයෙහි බොහෝ ගිලන් ව වැඩ විසූ අතර උන්වහන්සේට ද සියලු ඇප උපස්ථාන සිදු කළ අතර 1994 වර්ෂයේ දී නාහිමියන් අපවත් විය. එලෙස තම ගුරු දේවයන් වහන්සේ අපවත් වීමෙන් පසුව, ජම්බුකැටිය ශ්‍රී සුගතාරාම විහාරස්ථානයෙහි වැඩ වාසය කරමින් එහි විහාරාධිපතීන් වහන්සේ ලෙස බොහෝ විහාරාංග ගොඩනංවා ශිෂ්‍ය බාලාදීන් තනමින් තම රාජකාරී පාසල් සේවාව ද මනාව සිදු කිරීම බෙහෙවින් ප්‍රසංසනීය ය. මෙකී කාලයෙහි දංගෙදර ජයවර්ධන විද්‍යාලයට මාරුවීමක් ගෙන සේවාවන් සිදු කරන අතරතුර දංගෙදර ජයවර්ධනාරාම මූල මහා විහාරය බොහෝ සෙයින් අභාවයට ගොස් තිබිණ. දවල් දානය වැළඳීම සඳහා මෙම විහාරස්ථානයට වැඩම කළ සුමේධවංස ස්වාමීන් වහන්සේ 2015 අග භාගයේ දී මෙම විහාරස්ථානයෙන් සියලු කටයුතු බාර ගැනීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාම සුළු කාලයක් තුළ මෙම පින්බිම සියලු විහාරාංගවලින් පරිමිත, බොදු සිත් පුබුදු කරන මහා විහාරස්ථානයක් බවට පත් කිරීමේ ගෞරවරය නිතැතින් ම හිමි වන්නේ පල්ලාවෙල සුමේධවංස ස්වාමීන් වහන්සේට ය.

මෙලෙස තම ගුරු වෘත්තිය සිදු කරන අතරතුර විහාරස්ථාන කිහිපයක වැඩ කටයුතු සිදු කරමින් දහම් පාසල් ගොඩනඟමින් සුවිශාල ආගමික, සාමාජීය හා අධ්‍යාපනික සේවාවක නිරත වූ මුන්වහන්සේ බොහෝ උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් ගොඩනැඟීම ද බෙහෙවින් අගය කළ යුතු කරුණකි.

සුමේධවංස මාහිමියන් 2023 වර්ෂයේ දී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකාය විසින් “සිරි සුමන ජ්‍යෙත්‍යාභිධාන සුගතශීලවංශාවතංස සුවණ්ණජෝත්‍යාලංකාර ශාසන කීර්ති ශ්‍රී සද්ධම්මවාගීෂ්වර” යන ගෞරව නාමය සහිත ගාල්ල, මාතර, හම්බන්තොට තෙදිශාවේ මහා අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

අප නාහිමියන් මෙම පොසොන් මස දහවෙනි දිනට පැවිදි දිවියට ඇතුළත් වී පුරා හතළිස් නවය වසරක් සපිරේ. ඒ වෙනුවෙන්, උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරන අතර තව දුරටත් ගුණ දහම් වඩන්නට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවා'යි පතනෙමු.