Print this Article


ආගමික සමාජීය ක්ෂේත්‍රයන්හි අද්විතීය මෙහෙවරක් ඉටු කළ කාන්තා රත්නය

ආගමික සමාජීය ක්ෂේත්‍රයන්හි අද්විතීය මෙහෙවරක් ඉටු කළ කාන්තා රත්නය

( මැයි 28 දින යෙදුණු මිලිනා සුමතිපාල 90 වන ජන්ම ගුණ සමරුව නිමිත්තෙනි )

මෙරට ආගමික සාමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල අද්විතීය මෙහෙවරක් ඉටු කළ කාන්තා රත්නයක් වූ දිවංගත ආචාර්ය මිලිනා සුමතිපාල මැතිණියගේ 90වැනි ජන්ම ගුණානුස්මරණ සැමරුම් උළෙල මැයි 28 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සභාපතිනිය වශයෙන් ද, ජාතික ආගමික හා ජාත්‍යන්තර වශයෙන් එතුමිය විසින් කළ කෘතහස්ත බෞද්ධ මෙහෙවර අගයමින් ද මෙම ගුණානුස්මරණය සිදු කෙරිණි.

වර්ෂ 1935 මැයි 25 වන දා කොළඹ දී උපන් මිලිනා මැතිනිය කොළඹ කොටහේන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිය. කුඩා කල සිට ම තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට ධෛර්යය ලබා දුන් ඇය තම ජීවිතයේ සාර්ථක අනාගතයකට මඟ එළිපෙහෙළි කර ගත්තාය.

රට දැය සමය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම ඇය සිදු කළේ ඉමහත් භක්තියකිනි. යූ. ඩබ්. සුමතිපාල අනුස්මරණය කෙරෙමින් කොළඹ ජාතික රෝහලේ ස්නායු ප්‍රතිකාර වාට්ටුව අංග සම්පූර්ණ ව ඉදි කර දුනි. එසේම එයට එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයන්ත්‍රයක අවශ්‍යතාවය ද සඵල කරවීය. දඹදිව බුද්ධගයාවේ නිවාස ඉදිකිරීමට එවක ජනාධිපති වූ ආර්. ‍ප්‍රේමදාස මහතා වෙත මූල්‍යාධාර දුන් එතුමිය බරණැස ඉසිපතනාරාමයෙහි දම්සක් පැවැතුම් සූත්‍රය ගලක කොටවා උතුම් පුණ්‍ය කර්මයක් ද සිදු කළා ය. කොළඹ කොටුවේ සම්බුද්ධාලක විහාරයය හා චෛත්‍යය ඉදිකර අගනුවර බෞද්ධ මධ්‍යස්ථානයක පැවැත්ම තහවුරු කිරීමත් කොත්මලේ මහා සෑය යළි ඉදිකිරීමේ කාර්ය සාධනයත් ඉමහත් බැතියෙන් ඉටුකර ඇත. පුංචි බොරැල්ලේ අග්‍රඵල බෝධි ප්‍රාකාරය හා ප්‍රතිමා වහන්සේ වඩා හිඳුවා කළ කාර්යයත් බොරැල්ල කනත්ත වටරවුමේ සතර බ්‍රහ්ම විහරණ පීඨිකා හතරක් ඉදිකොට ධර්මානුකුල ව එදිනෙදා යන එන ජනතාවට යම් දහම් පණිවිඩයක් ලබාදීම ද වැදගත් විය.

ජාත්‍යන්තර බෞද්ධ වැඩමුළුවලට සහභාගි වීමත් ලෝක බෞද්ධ බොදු සමුළු සම්මානයකින් පුද ලැබීමත් දුර්ලභ මහිමයෙක් වේ. දඹදිව සර්වඥ ධාතු වැඩමවීමේ පුණ්‍යෙීත්සව හා විවිධ පුණ්‍ය කටයුතු සිදු කිරීම ද බුදුන් උපන් දේශය වෙනුවෙන් බොහෝ පුණ්‍ය කටයුතුවල නිරත වීම ද විශේෂිත ය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම කාන්තා සභාපතිනි ලෙස එතුමිය ඉටු කළ මෙහෙවර අද්විතීය වේ. ‍බෞද්ධ ආර්ථිකය සවිමත් කිරීම, දුෂ්කර පළාත්වල තිබෙන වෙහෙර විහාරස්ථානවල මෙන් ම එවැනි ජනතාව උදෙසා ද සමාජමය ප්‍රතිලාභ අත්පත් කරදුණි. විශේෂයෙන් ග්‍රාමීය ආර්ථික සුභසාධන සේවා සැලසීම, ජනතාව දිරියෙන් නඟාසිටුවීම හා බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එහිදී කැපි පෙනුණි. බෞද්ධාලෝක පුනරුද ව්‍යාපෘතිය යටතේ ඉටු වූ මෙවැනි සේවාවන් තුළින් බෞද්ධ මහා සම්මේලනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට (2000-2006) එතුමිය සමත් වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.