අනෝමදස්සි බුදුරදුන් කල
සරද මානවක ව කළ ප්‍රාර්ථනාවේ මහිමය
ශාස්ත්‍රපති
බොරලුගොඩ ඉන්දරතන හිමි
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකළ සැරියුත් තෙරුන් වහන්සේගේ
අතීත ප්‍රවෘත්තිය කල්ප ගණනාවකට පෙර ලොව පහළ වූ අනෝමදස්සී බුදුරදුන්ගේ කාලය දක්වා
අතීතයට දිව යයි.
එවක “සරද මානවක” නමින් හැඳින්වූ සැරියුත් තෙරණුවෝ අනෝමදස්සි බුදුරදුන්ගේ අගසව් දෙනම
දැක තමන්ටත් එසේ යම් කලෙක අගසව් තනතුරු ලැබේවා'යි ප්‍රාර්ථනා කළහ.
අනෝමදස්සී බුදුපියාණෝ ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ වන බවට නියත විවරණ ලබා දුන්හ. ඉන්
ධෛර්යවත් වූ සරද මානවක තම අභිප්‍රාය ඉටු කර ගැනීමට සසරට වැද දීර්ඝ කාලයක් ඒ සඳහා
පාරමිතා පූර්ණය කර ගෙන අප ගෞතම බුදුහිමියන් හමුවේ දී තම අපේක්ෂාව මුදුන්පත් කර
ගත්තේ ය.
සැරියුත් හිමියන්ගේ ඒ අතීත ප්‍රවෘත්තිය අපේ ජීවිතවල සාර්ථකත්වය සඳහා ලබා දෙන ආදර්ශය
ඉතා වටනේ ය.
ගෞතම බුදුන් දවස, එතුමා උපතිස්ස නම් විය. කල්‍යාණ මිත්‍රයා වූයේ කෝලිත ය. ඒ මිතුදම
සසර බැඳීමකි. ගිරග්ග සමජ්ජ නම් නාට්‍යය නැරඹූ මේ දෙදෙනා ම තමන් ගත කළ සුඛෝපභෝගී
ජීවිතය ගැන කලකිරීමට පත්විය. මේ ජීවිතය යථාර්ථය නොවන බවත්, මවාපෑමක් පමණක් බවත්
නිගමනය කර දෙදෙනා ම සත්‍ය ගවේෂණය සඳහා මාර්ගස්ථ වූහ.
සැප සම්පත් අඩුවක් නැති සුවපහසු ජීවිත ගත කළ තරුණ වයසේ දී ම තමා ගත කළ ජීවිතය
පිළිබඳ කලකිරීමට පත්ව, ජීවිතයේ යථාර්ථය ගවේෂණයට පිළිපන් උපතිස්ස තරුණයා අපේ තරුණ
පරපුරට ම ලබා දෙන්නේ මහඟු ආදර්ශයකි. වර්තමානයේ තම තරුණ ජීවිත මත්වතුර, මත්ද්‍රව්‍ය,
හරසුන් සංදර්ශන ආදියට සහ තාක්ෂණික මෙවලම්වලට නතු කොට වටිනා ජීවිත නොවටිනා අයුරින්
ගතකරන ළමා, තරුණ කාටත් උපතිස්ස තරුණයාගේ ජීවිත දැක්ම සහ ඒ පරිණතභාවය මහඟු ආදර්ශයක්
නොවන්නේ ද?
සත්‍යය සොයා යන ගමනේ දී උපතිස්ස තරුණයාටත්, ඔහුගේ කලණ මිතුරාටත් මුණගැසෙන්නේ එවක
ප්‍රකට පරිබ්‍රාජකයකු වූ සංජය නම් ශාස්තෘවරයා ය. ඔහු හමුවෙහි පරිබ්‍රාජක පැවිද්ද
ලබා, ඔහුගේ ධර්මය අධ්‍යයනය කළ උපතිස්සටත්, යහළුවාටත් ඒ ධර්මය සත්‍ය නොවන බව අවබෝධ
විය. සංජය අතහැර නැවතත් සත්‍යගවේෂී ව මඟට පිළිපන් උපතිස්ස තරුණයාට මහමඟ දී බුදු
හිමියන්ගේ ශ්‍රාවකයකු වූ අස්සජි තෙරුන් හමුවෙයි. එහි දී උන්වහන්සේගෙන් බුදුන් වදාළ
ධර්මය ලෙස හේතුඵලවාදය ඇතුළත් ගාථාවක් ශ්‍රවණය කරන උපතිස්ස සතුටට පත්ව පසුව තම
මිතුරා ද සමඟ බුදුරදුන් හමුවේ පැවිදිභාවය ලබා ගත්තේ ය. එතැන් පටන් මේ දෙපළ සැරියුත්
මුගලන් නමින් ප්‍රකට වූහ.
මින් අපට පැහැදිලි වන වැදගත් කාරණයක් ඇත. තම ජීවිතයේ ලෞකික හෝ ලෝකෝත්තර හෝ
අභිමතාර්ථ සාධනයේ දී ඒ සඳහා නිවැරැදි ක්‍රියාමාර්ගය තෝරා ගැනීමේ විචක්ෂණභාවය ඇති කර
ගත යුතු බවයි.
බුදු හිමියන් උපත ලද දේශය පිළිබඳවත්, දෙසූ දහම ගැනත්, ත්‍රිපිටකය ගැනත්, තවත් බොහෝ
දේ පිළිබඳවත් විවිධ තර්ක විතර්ක ගොඩනඟමින්, වාද විවාද කරමින්, නිවැරැදි ගමන් මඟ
තෝරාගෙන තම විමුක්තිය සලසා ගැනීම සඳහා නොව ධනය, බලය, ප්‍රසිද්ධිය වෙනුවෙන් අරගල කරන
පුද්ගලයන් සැරියුත් හිමියන් ලබා දුන්නා වූ ආදර්ශය කියවා ගන්නේ නම් කෙතරම් අගනේ ද?
උපතිස්ස පරිබ්‍රාජකතුමා තමා අස්සජි හිමියන් වෙතින් ලැබූ ධර්ම දායාදය තම මිතුරා වූ
කෝලිතට ලබා දෙමින් පෙන්නුම් කළ කල්‍යාණ මිත්‍රත්වය වත්මන් සමාජයේ තරුණ පරපුරට අගනා
ආදර්ශයකි. තම මිත්‍රයා සුරාවට, සූදුවට, දුරාචාරයට යොමු කරමින් වටිනා තරුණ ජීවිත
විනාශ මුඛයට ඇද දමන සමහර පාප මිත්‍රයන්ට උපතිස්ස පරිබ්‍රාජකයාගේ ආදර්ශය අවධානය සඳහා
වේ.
යමක් වහා වටහා ගැනීමේ හැකියාව, බුද්ධිමත්භාවය, නිවැරැදි අවබෝධ ශක්තිය සහ ස්ථිර
ප්‍රතිපදාව වැනි සාධනීය ගුණාංග නිසා උපතිස්ස තරුණයා අවසානයේ තම සංසාරික යහළුවා සමඟ
බුදුරජාණන් වහන්සේ හමු වී ධර්මය අසා අවබෝධ කර ගෙන පසුව රහත් ඵල ලබා ගෙන අගසව් තනතුර
ද ලබා ගනිති. එසේ එදා අමෝමදස්සි බුදුන් හමුවේ කරන ලද ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර
අධිෂ්ඨානශීලි ගමනක සාර්ථක නිමාව එසේ සිදුවිය.
මීළඟට අපගේ අවධානයට යොමු වන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ චරිතය තුළ දක්නට ලැබෙන
උදාර මානව ගුණාංග කිහිපයක් පිළිබඳව ය. ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග තනතුර ද
උන්වහන්සේට ලැබිණි. ධර්මය පිළිබඳ ව හසල බුද්ධිමතෙකි. ධර්ම සේනාධිපති තනතුර ද
උන්වහන්සේ සතු විය. බුදුහිමියන් දෙසූ ගැඹුරු දහම් අවබෝධ කර ගෙන අනිත් භික්ෂූන්ට සරල
ව පැහැදිලි කර දීමේ කුසලතාව ද සැරියුත් හිමියන්ට තිබිණි.
සැරියුත් හිමියන්ගේ මේ හැකියාව වර්තමාන සමාජයේ භික්ෂූන් වහන්සේට ද, අධ්‍යාපන
ක්ෂේත්‍රයේ නියුක්ත ගුරුවරුන්ට ද මඟ පෙන්වීමකි. ඒ තම කාර්ය සාපල්‍යය සඳහා ය. ධර්ම
දේශකයාත්, ගුරුවරයාත් දෙදෙනා ම තම ශ්‍රාවක ශිෂ්‍ය දෙපක්ෂයට දැනුම සහ අවබෝධය ලබා
දීමේ දී ඉදිරිපත් කිරීම සඳහා භාෂා මාධ්‍ය පිළිබඳ ව සැලකිලිමත් විය යුතු බව අපට
සැරියුත් හිමියෝ පෙන්වා දෙති.
මේ හැරත් සැරියුත් හිමියන් තුළ තිබූ පරමාදර්ශි මානව ගුණාංග රාශියකි. ඒවා අතර,
නිහතමානී ගුණය, ඉවසීම, ගුරු ගෞරවය, ගිලානෝපස්ථානය, මාතෘ උපස්ථානය, කල්‍යාණ
මිත්‍රත්වය නිදසුන් කිහිපයක් පමණි.
තමන් වහන්සේ නොදැනුම්වත් ව පහළට වැටී තිබුණු සිවුරේ කොනක් දැක එය සකසා ගන්නා ලෙස
කුඩා සාමණේර නමක් කළ ඉල්ලීම උන්වහන්සේ නිහතමානී ව පිළිගෙන වැරැද්ද නිවැරැදි කර
ගත්හ.
ධනයෙන්, බලයෙන් මෙන් ම කුල ගෞරවයෙන් මත් ව අතිමානී ව හැසිරෙන සමහර ඇත්තන්ට මෙය මහඟු
ආදර්ශයක් විය යුතු ය.
සැරියුත් හිමිගේ ප්‍රකට ගුණයක් වූ ඉවසීම දැක බලා ගැනීමේ අටියෙන් උන්වහන්සේගේ හිසට
දැඩි පහරක් එල්ල කළ බමුණකු පසුව ඒ ගැන දැඩි සේ පසුතැවිලි විය. පහර ගැසූ පුද්ගලයා
දෙසවත් නො බලා උන්වහන්සේ ගිය ගමන සන්සුන් ව වඩින ආකාරය දුටු බමුණා එසේ කම්පාවට
පත්විය.
වැරැදීමකින් කියවන වදනකට පවා ගහ මරා ගන්නා සමාජයකට මෙය අගනා ආදර්ශයක් විය යුතු ය.
සැරියුත් තෙරුන්ට මුලින්ම ධර්මය හඳුන්වා දුන්නේ අස්සජි තෙරුන් වහන්සේ ය. එතැන් සිට
තම ගුරුවරයා ලෙස සැලකුවේ උන්වහන්සේ ය. දිනපතා සැතපෙන්නට පෙර අස්සජි තෙරුන් වහන්සේ
වැඩ සිටින දිශාවට නමස්කාර කිරීම සැරියුත් හිමියන්ගේ දින චරියාවේ කොටසක් විය. ඒ ගුරු
ගෞරවය සඳහා ය.
වර්තමාන සංඝ සමාජය තුළ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වෙත දැක්විය යුතු ගුරු ගෞරවය
සහ තම මවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ ව බාල, තරුණ
භික්ෂූන්ටත් ගිහි සමාජයේ බාල, තරුණ, ලොකු, කුඩා සෑම දෙනාටත් සැරියුත් හිමියෝ අගනා
ආදර්ශයක් ලබා දෙති.
වියපත් මිථ්‍යාදෘෂ්ටික තම මව වෙත අවසාන කාලයෙහි වැඩමවන සැරියුත් හිමියෝ ඇයට දහම්
දෙසා නිවන් මඟ විවර කර දී මාතෘ උපස්ථානය සිදු කරමින් මවුපිය උවටැනේ තිබෙන වටිනාකම
පිළිබඳ ව පසුකාලීන සමාජයට ආදර්ශ සපයති.
ධනංජානි නම් බමුණා දිනෙක පිඬුසිඟා වඩින සැරියුත් හිමියන්ට ඉතා සුළු ආහාරයක් පූජා
කළේ ය. පසුව ජීවිතයේ ඉතා අසරණ තත්ත්වයට පත් වූ මේ බමුණා පැවිදි කොට ඔහුගේ ජීවිතය
සුවපත් කරන්නට සැරියුත් හිමියෝ කටයුතු කළහ. ඒ කළගුණ සැලකීමේ ගුණය ලෝකයට පෙන්නුම්
කරමිනි.
සැරියුත් හිමියන් තම ආදර්ශවත් ජීවිතය තුළින් ප්‍රකට කරන ලද ඉහත දැක්වූ පරමාදර්ශී
මානව ගුණාංග වත්මනෙහි පිරිහෙමින් පවතින සමාජ සාරධර්ම යාවත්කාලීන කර ගනිමින් සුඛිත
මුදිත සමාජයක් බිහිකර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අප සෑම දෙනා ම උත්සාහවන්ත විය
යුතු ය. |