Print this Article


නිවන් පුර දොරටුව සංවර කර ගත් සිතයි

නිවන් පුර දොරටුව සංවර කර ගත් සිතයි

ගෙවාගෙන ආ සසර ගමන බොහෝ දිගු ය. මේ සසර ගමනින් බේරීමට නම් සිත පිරිසුදු කළ යුතු ම ය. පිරිසුදු නොකළ සිත තුළ මහා අනර්ථකාරී වූ සසර ගමන ම සකස් වේ. එය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක.

“පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නොකළ විට, වරදින් නොවැළැක්වූ විට, නොරැක ගත් විට, සංවර නොකළවිට, මහා අනර්ථයක් පිණිස හේතුවන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, ඒ මේ සිත තරම් වෙන එකම දෙයක්වත් මා දකින්නේ නෑ.”

මෙසේ මහා භයානක අනතුරක රැඳී මිනිස් වග මෙය නොතකා ම සසර ගමනේ යති. මේ සිත සංවර නොවීම පිණිසත්, දමනය නොවීම පිණිසත් පවතින කරුණුවලින් සිත මුදවා ගැනීමෙන් පිළිසරණ සදා ගත හැකි ය.

“පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතු යි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතුයි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතුයි. කලින් කල උපේක්ෂාව ඇතිවන කරුණු සිහිපත් කළ යුතුයි.

පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහි කරමින් සිටියහොත් ඒ සිත කුසීත බවට වැටීමට ඉඩ තිබෙනවා.

පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් ඒකාන්තයෙන් වීරිය ඇතිවෙන නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් ඒ සිත විසිරීමට වැටෙන්නේ ය යන කරුණට ඉඩ තිබෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහි කරනවා නම්, ඒ සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් වෙනවා. ප්‍රභාෂ්වරත් වෙනවා. බිඳී යන ස්වභාවයත් නැති වෙනවා. ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා.”

එසෙ නම් මේ සිත නිතර නිතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත්‍රී භාවනාව ආදී භාවනා අරමුණක් තුළ සමාධි නිමිත්තක් තුළ රැඳවිය යුතු ය. එමෙන් ම සසරෙහි බිය ඇතිවන කරුණු සිහි කළ යුතු ය. දිගු සසර ගමනේ ඇති භයානක බව නිතර නිතර සිහි කළ යුතු ය. මරණ සතිය සිහිපත් කළ යුතු ය. එමෙන් ම අටලෝ දහමින් කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට අනිත්‍ය බවත්, දුක් බවත්, අනාත්ම බවත් සිහිපත් කරමින් උපේක්ෂාවට පත්වන අරමුණු නිතර නිතර සිහිපත් කළ යුතු ය.

මෙසේ කලක් සිත තුළ මේ නිමිති පවත්වා ගෙන යාමෙන් මනා කොට සංවර වූ සිතක්, දමනය වූ සිතක් සකසා ගත හැකි වේ.

“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. රන්කරුවෙක් වේවා, රන්කරුවකුගේ ගෝලයෙක් වේවා, කෝවක් හදනවා. කෝවක් හදලා කෝවෙ කටට ගින්දර අවුළුවනවා.

කෝවේ කටේ ගින්දර අවුළුවලා, අඬුවෙන් රත්රන් ගෙන කෝවේ කටින් තියලා කලින් කල පිඹිනවා. කලින් කල ජලය ඉසිනවා. කලින් කල ඒ රන් පැසුන - නො පැසුන බව අවධානයෙන් සොයා බලනවා.

ඉදින් පින්වත් මහණෙනි, ඒ රන්කරුවා වේවා, රන් කරුවාගේ ගෝලයා වේවා ඒ රත්තරං ටික ඒකාන්තයෙන් ගින්දර පිඹීම විතරක් කළොත්, ඒ රත්රන් ටික පිච්චිලා යන එක තමා සිදු වෙන්නේ.

වතුර ඉසීම විතරක් කරනවා නම්, ඒ රත්රන් ටික නිවිලා යන එක සිදු වෙනවා. අවධානයෙන් බලා ගෙන සිටීම විතරක් කළොත් ඒ රත්රන් ටික නියම ආකාරයෙන් පැසීමට පත්වෙන්නේ නැහැ කියන දේ තමයි සිද්ධ වෙන්නේ.”

“පින්වත් මහණෙනි, අමු රන්වල පස්, වැලි, කැට කැබැලිති ආදී ගොරෝසු උපක්ලේශ (අපිරිසුදු දේ) තිබෙනවා. ඉතින් පස් සෝදන කෙනෙක් වේවා, පස් සෝදන කෙනකුගේ ගෝලයෙක් වේවා. ඒ අපිරිසුදු අමු රන් දෙණෙහි විසුරුවා සෝදනවා. හොඳට සෝදනවා. පිරිසුදු වන තුරු ම සෝදනවා. ඒ අපිරිසුදු දේ නැති වී ගිය විට, ඒවා නැති කරලා දැමූ විට, ඒ අමු රන්වල මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ ඉතිරි වෙනවා. ඒ කියන්නේ සියුම් ගල්කැට, ගන වැලි ආදිය. ඉතින් ඒ පස් සෝදන්නා වේවා, පස් සෝදන්නාගේ අතවැසියා වේවා, ඒ අමු රන් ටික නැවතත් සෝදනවා. හොඳට සෝදනවා. නැවතත් සෝදනවා. පිරිසුදු වන තුරු ම සෝදනවා.

එතකොට ඒ තිබුණ මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශ නැතිවෙලා ගියහම, ඒවා නැති කරලා දැම්මහම, ඒ අමු රන්වල ඉතා සියුම් වැලි, කළුපාට කුඩු ආදී සියුම් අපිරිසුදු දේ ඉතිරි වෙනවා. ඉතින් ඒ පස් සෝදන්නා වේවා, පස් සෝදන්නාගේ අතවැසියා වේවා, ඒ අමු රන් ටික නැවතත් සෝදනවා. හොඳට සෝදනවා. පිරිසුදු වන තුරු ම සෝදනවා. එතකොට ඒ තිබුණු ඉතා සියුම් ප්‍රමාණයේ උපක්ලේශයන් නැති වුණහම, නැති කරලා දැම්මහම අමු රන් ටික විතරක් ඉතිරි වෙනවා.

ඊට පස්සේ රන්කරුවා වේවා, රන්කරුවාගේ අතවැසියා වේවා, ඒ අමු රන් ටික කබලක දාල ගිනි පිඹිනවා. හොඳින් පිඹිනවා. ඉතින් මලකඩ පිඹ හැරිය ද, හොඳින් පිඹ හැරිය ද ශුද්ධ කරලා පසෙකින් නො තැබූ කහට ඉවත් නො කළ ඒ රන මෘදුත් නෑ, වුවමනා විදිහට සකස් කරන්නත් බෑ, ප්‍රභාෂ්වරත් නෑ, ඉක්මනින් කැඩෙනවා, වැඩයට අවශ්‍ය විදිහට යෙදෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, ඒ රන්කරුවා හෝ රන්කරුවාගේ අතවැසියා හෝ ඒ රනට ගිනි පිඹලා, මලකඩ ඉවත් කරයි ද හොඳින් ඉවත් කරයි ද එබඳු කාලයක් එනවා. එතකොට මලකඩ පිඹ හැරිය ද, හොඳින් පිඹ හැරිය ද, ඉතා හොඳින් පිඹ හැරිය ද ශුද්ධ කරලා පසෙකින් තැබූ කහට ඉවත් කළ ඒ රන මෘදු වෙනවා. වුවමනා විදිහට සකස් කරන්නත් පුළුවන්, ප්‍රභාෂ්වර යි. කැඩෙන්නේ නෑ, වැඩේට අවශ්‍ය විදිහට යෙදෙනවා. එතකොට රන් පටක් වේවා, කරාබු වේවා, තැලි වේවා, රන්මාල වේවා, යම් යම් ආභරණ මෝස්තරයක් කැමති වෙනවා ද ඒ අවශ්‍ය ඕන දෙයක් තනාගන්න පුළුවන්කම තිබෙනවා.

අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, ධ්‍යාන ආදී භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුවගේ කාය දුසිරිත්, වචී දුසිරිත්, මනෝ දුසිරිත් කියන මේ ගොරෝසු උපක්ලේශ තියෙනවා නම්, හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති, භික්ෂුව ඒ උපක්ලේශ අත්හරිනවා. දුරු කරනවා. නැති කරනවා. අභාවයට පත් කරනවා. ඒ උපක්ලේශ ප්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට, ධ්‍යාන ආදී භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව හට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී මධ්‍යම සහගත උපක්ලේශ තිබෙනවා නම්, හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති භික්ෂුව ඒ උපක්ලේශ අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයට පත් කරනවා.

ඒ උපක්ලේශ ප්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට ධ්‍යාන ආදී භාවනාවේ යෙදී සිටින භික්ෂුව හට සියුම් සහගත උපක්ලේශ ඇද්ද, ඒ කියන්නේ තම පවුල්වල ප්‍රශ්න ගැන සිත සිතා සිටීම, ජනපදවල ඇති දේ ගැන සිත සිතා සිටීම, තම ධර්ම මාර්ගයට අදාළ නැති දේ ගැන සිත සිතා සිටීම ආදී සියුම් සහගත විතර්ක හට ගන්නවා. හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති භික්ෂුව ඒ උපක්ලේශ අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයට පත් කරනවා. ඒ උපක්ලේශ ප්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට, ධර්ම මාර්ගයට අදාළ ස්වරූපයෙන් මතුවන ධර්ම විතර්ක ඉතිරි වෙනවා. එවිට ඒ සමාධිය ශාන්ත නෑ, ප්‍රණීතත් නෑ, සංසිඳීමක් ඇතිවන්නේත් නෑ, ඉතා හොඳින් එකඟ වන්නෙත් නෑ. උත්සාහයෙන් කෙලෙසුන්ට ගරහා වළක්වා ගත් සිතක් පමණයි තිබෙන්නේ.

නමුත් පින්වත් මහණෙනි, යම් කලෙක ඒ සිත තමා තුළ ම මැනවින් පිහිටනවා නම්, හොඳින් තැන්පත් වෙනවා නම්, එකඟ වෙනවා නම්, එබඳු කාලයක් එනවා. අන්න ඒ සමාධිය නම් ශාන්තයි, ප්‍රණීතයි, සංසිඳීමක් ඇතිවෙලා තියෙන්නේ. ඉතා හොඳින් එකඟ වෙලා තියෙන්නේ. උත්සාහයෙන් කෙලෙසුන්ට ගරහා වළක්වාගත් සිතක් නො වෙයි තිබෙන්නේ. එතකොට විශිෂ්ට ඤාණයකින් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයකට, විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත යොමු කරනවා ද ඒ ඤාණයන් උපදවා ගැනීමට අවස්ථාව උදා වූ කල්හි ඒ ඤාණ පිළිබඳ ව සාක්ෂාත් කිරීමෙහි ලා පුළුවන්කමකට පත් වෙනවා.”

මෙලෙස සමාධිමත් වූ සිත තුළ පිහිටා ඍද්ධි ප්‍රාතිහාර්යය ඤාණය, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, අනුන්ගේ සිත් දකිනා ඤාණය, ආසවක්ඛය ඤාණය ආදී ඤාණයන් උපදවා ගත හැකි බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

එසේ නම්, පළමුව ත්‍රිවිධ සුචරිතය ඇති කර ගත යුතු ය. ඉන් පසුව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්කවලින් සිත පිරිසුදු කළ යුතු ය. ඉන් පසුව ඤාති විතර්ක, ජනපද විතර්ක සහ ධර්ම මාර්ගයට අදාළ නැති විතර්කවලින් සිත පිරිසුදු කළ යුතු ය. මෙසේ පිරිසුදු වූ සිත හොඳින් සමාධිමත් කළ යුතු ය. සමාධිමත් වූ සිත මනා අවබෝධයක් කරා රැගෙන යයි.

ගෞතම බුදුරදුන්ගේ පිළිසරණ ලබනු කැමති ශ්‍රාවකයා හට මෙසේ පිරිසුදු කරන ලද සිතෙන් සසර දුක් අවසන් කොට නිර්වාණ සුවය ලැබිය හැකි ය.