Print this Article


ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය

ඓතිහාසික උරුමයක අභිමානනීය සලකුණ අනුරාධපුර දළදා මාලිගය

දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය දාඨා ධාතුඝරය, දළදා ගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ලෙස ද හඳුන්වයි. කලින් කල පැමිණි විවිධ සතුරු උවදුරුවලින් දළදා වහන්සේ ආරක්ෂා කිරීම උදෙසා විවිධ ස්ථානයන්ට රැගෙන ගිය බව ඓතිහාසික සාධකයන්ගෙන් තහවුරු වේ.

මහා පරිනිබ්බාන සූත්‍රයට අටුවා සපයන ලක්දිව සිංහල භික්ෂූන් වහන්සේ බුද්ධ ශරීරය ආදාහනය කිරීමෙන් පසු ඉතිරි වූ සතර දළදාවන් යැයි විවරණය කරයි. මෙම සතර දළදා වහන්සේගෙන් එක් දළදාවක් කලිඟුරට බ්‍රහ්මදත්ත රජුට බුද්ධෝපස්ථානය පිණිස ලැබූවකි.

කාලිංග දේශය පාණ්ඩ්‍යයන්ගේ ආක්‍රමණයත් සමඟ දළදා වහන්සේගේ ආරක්ෂාව පතා සිය දියණිය හේමමාලාවන් සහ ඇයගේ ස්වාමියා වූ, දන්ත කුමරු, තම ලේ ඥාති බෑණනුවන්, වෙත දළදා වහන්සේ භාරකරමින්, ලක්දිව සිංහල රජුට භාරදෙන ලෙස පවසමින් ඉන්දියාවෙන් පිටත් කළහ.

ක්‍රි.ව. 301 -328 කාලය තුළ දී කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය සමයේ දී ශ්‍රී ලංකාවට වැඩමවන ලද දළදා වහන්සේ මැණික් කරඬුවක තැන්පත් කොට ප්‍රථමයෙන් ම තැන්පත් කරන ලද්දේ දෙවනපෑතිස් රජතුමා විසින් ඉදි කරන ලද “ධම්මචක්ක” ගේහය නම් ගෘහයේ ය. එතැන් පටන් එම ගෘහය දාඨ ධාතුඝර නමින් හඳුන්වන්නට විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දළදා මාලිගාව ලෙස ගෞරවය හිමි වන්නේ මිහිඳු හිමියන් විසින් අනුරාධපුර ඇතුළුනුවර ඉදි කරන්නට යෙදුණ දළදා මාළිගාව ය. වර්තමානයේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටින වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අනුරාධපුර යුගයේ දී තැන්පත් කර තිබී ඇත්තේ මෙම දළදා මාලිගාව තුළ ය. එසේ ම අනුරාධපුරයේ විවිධ ස්ථාන කිහිපයක ම දළදා මාලිග ඉදි කළ බවට පුරාවිද්‍යා සාධක පෙන්වයි. එම මාලිගා ධාතුසේන රජතුමා, 1 වැනි අග්ගබෝධි, 4වැනි මිහිඳු වැනි රජවරුන්ගේ පාලන කාලයන්හි දී ද ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.

අනුරාධපුර දළදා මාලිගයට පිවිසීමට ස්ථාන දෙකකි. මේ ස්ථාන දෙකෙහි ම පියගැට පෙළ දෙපස කැටයම් නොකළ මුරගල්, සඳකඩ පහන සහ කොරවක්ගල් තිබී ඇත. ගලින් නිර්මාණය කළ මෙම මාලිගාවේ ජනේල සහ, වාහල්කඩ අදටත් සුරක්ෂිත ය. එමෙන් ම මාලිගාව මධ්‍ය කොටසේ දළදා වහන්සේ තැන්පත් කර තිබුණේ යැයි සැලකෙන හතරැස් ආසනය වර්තමානයේ දී ද දැක ගන්නට හැකි ය.