Print this Article


උපකාරයට ලොකු පොඩිකම්

උපකාරයට ලොකු පොඩිකම්

අතීතයේ දඹදිව ‘මණ්ඩල‘ නම් නුවර වාසය කළ පුරුෂයෙක් දේශ සංචාරයේ සතුටු ව ගමින් ගමට, නගරයෙන් නගරයට, ජනපදයෙන් ජනපදයට, රාජධානියෙන් රාජධානියට ගමන් කරමින් විනෝද ජීවිතයක් ගත කළා.

මේ යන ගමනේ දී දවසක් ‘චන්ද්‍රභාගා‘ කියන විශාල ගංගාවක් ළඟට පැමිණ එගොඩට යන්න ගංගාවේ එතෙර මෙතෙර යන නැවක් එනකම් බලන් හිටියා. ටික වේලාවකින් එගොඩට යන්න පුද්ගලයන් ටික ටික වැඩිවුණා. මේ පිරිස අතර දරු ගැබක් දරා ගත්ත අම්මා කෙනෙක් ද සිටියා. හැම දෙනා ම මුදල් ගෙවා ගඟෙන් එතෙර වුණා.

ගංගාව මැදට යනකොට දරුවකු කුස දරාගෙන හිටිය අම්මාට දරුවා ලැබෙන්න ආසන්න වුණා. ඇයට දැන් බොහොම අමාරුයි. ඇය බිම වැතිරුණා. වේදනාවෙන් කෑගහන්න පටන් ගත්තා. විලි පහරන වේදනාව ඉවසා ගන්න බැරිව ශරීරයෙන් දහදිය ගලන්න පටන් ගත්තා. මේ අතරේ ම ඇය වේගයෙන් කෑ ගසමින් ‘අනේ මට කවුරුහරි වතුර ටිකක් දෙන්න‘ කියා ඉල්ලා සිටියා.

ටික වේලාවකින් ඇය සිහිමූර්ජා වුණා. ඒත් හිටිය කවුරුවත් වතුර ටිකක්වත් දෙන්න ඉදිරිපත් වුණේ නෑ. චෝදනාවක් එල්ලවෙයි කියලා හිටිය පිරිස බොහොම බියට පත්වෙලා හිටියා. අර සංචාරයේ යමින් හිටිය පුද්ගලයාට ඇගේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණ සිදුවී තිබෙන සියල්ල අවබෝධ කර ගත්තා. හැමෝම හිතුවේ ඇය මියගිහින් කියලා.

ඒත් ඇය කෙරෙහි උපන් කරුණාවෙන් මුහුණට ජලය ඉස ටික ටික වතුර පොවා ඇයගේ සිහිය ලබා ගත්තා. දරු උපතට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඇයට පුතෙක් උපන්නා. දරුවාත් වඩාගෙන නැවෙන් බහින්නත් උදව් කළා. ඇයගේ ගමට යන්න අවශ්‍ය කටයුතුත් සම්පාදනය කර දුන්නා. ඇය තමන්ගේ දරුවා සමඟ ගමට පිටත්ව ගියා.

සංචාරයේ යෙදුණු මේ කාරුණික පුද්ගලයා ජනපදයෙන් ජනපදය ඇවිද ගියා. ඉන් බොහෝ කලකට පස්සේ සංචාරයේ යෙදෙමින් අර ස්ත්‍රිය සිටින දනව්වට කිසියම් කටයුත්තකට පැමිණියා. ඒ වේලාව බොහෝම හවස් වෙලා. අඳුරන කිසිම කෙනෙක් නෑ. නවාතැන් ගන්න තැනක් කතා කර ගන්නවත් කෙනෙක් නැති තරම් ම රෑ බෝ වුණා. කරන්න තිබුණ එකම පිළියම තමයි වාසල් දොර අම්බලමක නතර වෙන එක. හුදකලාව ම අම්බලමේ කාලය ගත කරන්න පටන් ගත්තා. තද කරුවලේ කවුරුන් හෝ ඉන්නවාද? නැද්ද? කියලාවත් දැන ගන්න විදිහක් නෑ. හෙමින් හෙමින් උස් තැනකට ගොඩවෙලා නිදා ගත්තා. කාලය හෙමින් හෙමින් ගතවෙමින් මධ්‍යම රාත්‍රියත් පහු කළා. හොරු කණ්ඩායමක් අඳුරෙන් ප්‍රයෝජන ගනිමින් රජමාලිගාවේ භාණ්ඩාගාරයට උමඟකින් ඇතුළු වෙලා රත්රන්, මැණික්, විවිධ වටිනා වස්තු මලුවලට පුරවා ගෙන රැගෙන කළුවරේ ම යන්න පටන් ගත්තා. ආරක්ෂාවේ යෙදුණු රාජභටයන්ට වහා ඒ බව අවබෝධවෙලා ඔවුන් පසු පස එළවන්නට පටන් ගත්තා. හැම තැනින් ම රාජපුරුෂයෝ හොරු කණ්ඩායම වට කරන්න පටන් ගත්තා. බේරෙන්න විදිහක් ඇත්තේ ම නැති ව ගියා. කරන්න තිබුණ එකම දෙය තමයි. තමන් රැගෙන යන රාජ භාණ්ඩාගාරයේ වස්තු අම්බලමට දමා දුවන එක. ඒ අය ඒ විදිහට ම කතා කරගෙන අම්බලමට සොරකම් කළ දෑ විසි කරලා සැඟවී ගියා.

රාජ පුරුෂයෝ අම්බලමට ගොඩවෙලා බලන කොට සොරා ගත් වස්තුවත්, එහි සිටි පුද්ගලයාත් තමන්ගේ බාරයට ගත්තා. රාජපුරුෂයෝ උදෙන් ම රජතුමාට ඉදිරියට සොරා ගත් වස්තුවත්, අර පුද්ගලයාවත් ඉදිරිපත් කළා.

‘රජතුමනි, සොරකම් කළ රාජ භාණ්ඩාගාරයේ වටිනා වස්තුත්, සොරකම් කළ පුරුෂයාත් අපට සොයා ගන්න පුළුවන් වුණා. ඔබ වහන්සේ කැමැති දඬුවමක් පමුණුවන්න‘යි ඉල්ලා සිටියා. රජතුමා මහත් කේන්තියෙන් ‘බොල, පාපී සොර, තොප කිමෙක්ද රාජ භාණ්ඩාගාරයේ ධනය සොරකම් කළේ?‘යි ප්‍රශ්න කළා. අර අහිංසක මනුෂ්‍යයා කියනවා

‘රජතුමනි, මම සොරෙක් නොවෙයි. මම මේ නගරයට ආගන්තුකයෙක්. මම සංචාරකයෙක්. මම නිර්දෝෂ යි. ඊයේ නගරයට එනකොට බොහෝම රෑ වුණා. නතර වෙන්න පවා තැනක් හොයා ගන්න බැරි වුණා. ඒ නිසා මම අම්බලමේ නිදා ගත්තේ. මම මෙයට සම්බන්ධ නෑ. මාව නිදහස් කරන්න‘යි ඉල්ලා සිටියා.

ඒ අසා නැවතත් සොරුන් පරීක්ෂා කරන්න රාජ පුරුෂයන්ට අණ කළා. ඒ පිරිස තමන්ගේ පහසුවට පරීක්ෂාවක් නො කර ම නැවත පැමිණ කියා සිටිනවා.

‘රජතුමනි, මොහුම තමයි සොරා වෙනත් කෙනෙක් සොරකම් කර නෑ‘යි පිළිතුරු සපයා සිටියා. රජතුමා බොහෝම කේන්තියට පත් වෙලා.

‘වහාම මොහුගේ හිස ගසා දමව‘යි අණ කළා.

ඒ නියමය අනුව අත්දෙක පිටුපසට කර බැඳලා, මල්මාලා දමලා, මළ බෙර වයමින් වදකස්ථානයට පෙරහරින් ගෙන යන්න පටන් ගත්තා. මේ හඬ නගරය පුරා ම පැතිර යන්න පටන් ගත්තා. හැමෝම මඟ දෙපසට ඇවිත් එය නරඹන්නත්, දුක් වෙන්නත් පටන් ගත්තා.

වසර ගණනාවක් ගතව තිබුණත්, අර නැවේ සිටිය ස්ත්‍රියට පුළුවන්කම තිබුණා තමන්ට එදා පිහිට වූ පුද්ගලයා ව හඳුනා ගන්න. වහා ඒ පුරුෂයා හඳුනාගෙන ඇය සිතුවා ඔහු අතින් කවමදාකවත් මෙවැනි සොරකමක් සිදු වෙන්න විදිහක් නෑ. ඒ පුරුෂයා සත්පුරුෂයෙක්. කාරුණික තැනැත්තෙක්. මට පිහිට වුණ තැනැත්තා මොහුයි. ඔහු එදා නො සිටින්නට මට මගේ දරුවාත්, මගේ ජීවිතයත් අහිමි වෙනවා. ඒ නිසා මගේ ජීවිතය නැතිව ගියත් මෙවැනි සත්පුරුෂයකුගේ ජීවිතය නැති වෙන්න දෙන්න බෑ‘යි තීරණය කර රජමාලිගාවට ගොස් ‘රජතුමනි, ඔබතුමා මරණ දඬුවම දුන් තැනැත්තා නිර්දෝෂී යි. ඔහු සත්පුරුෂයෙක්. මම ඔහුව හඳුනනවා. මම ඇප වෙන්නම්. ඔහුව බේරා දෙන්න‘යි ඉල්ලා සිටියා.

ඒ මොහොතේ රජතුමා කියනවා ‘හොඳයි, ඔබ එහෙම කියනවා නම් මම නිදහස් කරන්නම්, හැබැයි ඒ පුරුෂයා නිදහස් කර ගන්න ඒ ජීවිතයට වටිනාකම ඔබ තීරණය කරලා, එවැනි වස්තුවක් රජයට දෙන්න‘ එවිට නිදහස් කරන්නම්‘යි

කිව්වා. ඒ වේලාවේ ඇය කියනවා

‘රජතුමනි, ඔහුගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනවා. මගේ ජීවිතය පමණක් නොවෙයි. මට දරුවෝ හත්දෙනෙක් ඉන්නවා. ඒ ජීවිත හා සමානවත් වටිනවා. ඒ නිසා මමත්, මගේ දරුවන් හත්දෙනාත් සමඟ රජතුමාට ගැතිකම් කරන්නම්. ඔහුව නිදහස් කරන්නයි කියා සිටියා.

රජතුමා පුදුමයට පත්ව ඔබ මෙ තරම් කැපවීමක් කරන්නේ ඔහු නුඹට යම් උපකාරයක් කර තියෙනවා දැයි ප්‍රශ්න කළා. එවිට තමන්ට කළ උදව්ව කියා සිටියා. එවිට රජතුමා කියනවා.

‘එවැනි කුඩා උදව්වකට මෙ තරම් කැපකිරීමක් කරන්න නුඹට පුළුවන්ද?‘යි විස්මයට පත් වෙලා නැවතත් විමසා සිටියා.

කළ උපකාරය කුඩා වුවත් එය ඒ මොහෝතේ මට ලැබුණු වටිනාම උපකාරය යි. ඒ වෙනුවෙන් ඔහුට මම කෘතගුණ සලකන්න ඕන. මගේ මේ උපකාරය ඔහුට අහිමි වුණොත් ඔහුගේ ජීවිතය ඔහුට අහිමි වෙනවා. මමත් ඒ සත්පුරුෂ ගුණය පුරුදු කරන කෙනෙක්. ඒ නිසා නිදහස් කරන්න‘යි ඉල්ලා සිටියා. රජතුමා මහත් සේ සතුටට පත් වෙලා ඔහු ව නිදහස් කළා. ඒ පුරුෂයාටත්, ස්ත්‍රියටත් රජතුමා බොහෝ වස්තුව ලබා දුන්නා. එතැන් පටන් ඒ දෙන්නා ආයු කෙළවර දක්වා උතුම් ගුණ දහම්වල හැසිරෙමින් කුසල් කරගෙන පරලොව සුගතිගාමී ජීවිතයක් ලබා ගත්තා‘යි හරවත් කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

තමාට කළ උපකාරයේ ලොකු - පොඩිකම හෝ වටිනා - නොවටිනාකම හෝ නො සිතා, සත්පුරුෂ ලෙස කළ උපකාරයට කෘතගුණ සලකන්න. එයයි ලොව ඇති වටිනාම ලස්සන ම ක්‍රියාව.