Print this Article


විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැන ගත යුතු ධර්මය

විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැන ගත යුතු ධර්මය

ජීවත්වීම යනු අප වෙත එළැඹෙන අභියෝග හමුවෙහි නිවැරැදි පිළිතුරු සොයා ගැනීම යි. නිවැරැදි පිළිතුර සොයා ගැනීමේ දී අප මෙහෙයවන ශක්තිය ඥාන ශක්තිය යි. ඥානය යනු සමාජයේ යහපත, අයහපත, හොඳ නරක, පින පව හඳුනා ගත හැකි ශක්තිය යි.

අර්බුද ගොඩනැඟෙන්නේ මෙම තෝරා ගැනීමට ඇති අපහසුතාව නිසයි.

සඤ්ඤා යනු සංකේතනාත්මක ව යමක් දැකීම යි. මසැස, මනැස, නැණැස තුළින් අප සියල්ල දකියි. දකින දේ මනස තුළින් දැකීම විඤ්ඤා ලෙස දක්වයි. මනසින් දකින දේ උසස් අයුරින් විශිෂ්ට අයුරින් දැකීම අභිඤ්ඤා නම් වෙයි. එය වෙනස් අයුරින් පෙර කිසිවකු නො දුටු අයුරින් දැකීම පරිඤ්ඤා නම් වෙයි. එසේ දැක ලොවෙහි සත්‍ය අවබෝධ කර ගැනීම පඤ්ඤා නම් වේ.

අංගුත්තර නිකායේ චතුත්තක නිපාතයේ අභිඤ්ඤා වර්ගයේ අභිඤ්ඤා සූත්‍රය තුළ විශිෂ්ට ඥානය තුළින් අප කළ යුතු කාරණා හතරක් පිළිබඳ ව දක්වයි.

විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දත යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් බැහැර කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් ප්‍රගුණ කළ යුතු ධර්ම, විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත යුතු ධර්ම දක්වයි.

විශිෂ්ට ඥානයෙන් පිරිසිඳ දැනගත යුතු ධර්මය නම් පඤ්චස්ඛන්ධය යි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වු ධර්ම යි. මෙම ධර්ම හට ගන්නා අයුරු, පවතින අයුරු හා නැතිවන අයුරු පිළිබඳ ව හොඳින් දැන ගැනීම පිරිසිඳ දැනීම යි.

අවිද්‍යාව , අනවබෝධය, නො වැටහීම මුල් කොට ගෙන රැස් කරයි. රැස් කරන්නේ පරිභෝජනය පිණිස යි. පරිභෝජනය කරන්නට නම් ජීවයක් අවශ්‍යය යි. ජීවයක් ඇති වන්නට නම් සිතක් අවශ්‍යයි. ඒ නිසා විඤ්ඤාණය හටගනියි. විඤ්ඤාණයට ලගින්නට තැනක් අවශ්‍ය නිසා නාම රූප හට ගනියි. නාම රූප නිසා ආයතන හට ගනියි. ආයතනවල ක්‍රියාකාරීත්වය ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව හට ගනියි. මේ අයුරින් පටිච්ඡ සමුප්පාද ධර්මතාව පදනම් කොට ගෙන ස්ඛන්ධ පඤ්චකය හටගනියි.

රූප යනු හැඩයක් ඇති, සීත උෂ්ණ ආදි ඍතු විපර්යාසයන්හි දී වෙනස් වන දේ යි. රූප විසි අටක් වෙයි. මහාභූත රූප හතර යි. පඨවි (තද ගතියෙන් යුතු) ආපෝ ( වැගිරෙන ගතියෙන් යුතු) තේජෝ ( උණුසුම් සිසිල් වන ස්වභායෙන් යුතු) වායෝ ( වායුමයෙන් යුක්ත) ඇස, කන, නාසය, දිව, ශරීරය යන ප්‍රසාද රූප පහයි. ගෝචර රූප පහයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනු ගෝචර රූපයි. ස්ත්‍රී, පුරුෂ වශයෙන් භාව රුප දෙකයි. හෘදය රූපය, ජීවිත රූපය, ආහාර රූපය මෙම රූප දහ අට නිෂ්පන්න රූප නම් වේ. ආකාශ ධාතුව, විකාර රූප පහයි. එනම් කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා වශයෙනි. උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන ලක්ඛන රූප හතරයි ආදි වශයෙන් රූප විසි අටයි. මේ රූප කර්මජ, චිත්තජ, ඍතුජ ආදී ලෙස උපදින ආකාරය අනුව කොටස් තුනකට බෙදෙයි.

ප්‍රසාද රූප ගෝචර රූප හා ගැටීම නිසා ඇති වන වින්දනය වේදනාව වේ. එය සුඛ, දුක්ඛ, උපෙක්ඛා ලෙස අවස්ථා තුනකි. එසේ විඳින වේදනාව එකක් අනෙකින් වෙන් කොට හඳුනා ගැනීම සඤ්ඤාව නම් වේ. මෙය සුඛ ය. මෙය දුක්ඛ ය. මෙය උපෙක්ඛා ය ආදී ලෙස හඳුනා ගනී. එසේ හඳුනාගෙන රැස් කිරීම සංස්ඛාර වේ. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර ආදී ලෙස මෙය පින් පව් වශයෙන් කොටස දෙකකට බෙදේ. විඤ්ඤාණය යනු මේ සියල්ල මෙහෙය වන සිතයි.

මේ රූපයෙහි ස්වභාවය, ජරාවට පත්වෙයි. නිත්‍ය නොවෙයි. අනිත්‍ය යි. බුදුරජාණන් වහන්සේ

රූපය පෙන පිඩක් සේ, වේදනාව දියබුබුලක් සේ, සඤ්ඤාව මිරිඟුවක් සේ, සංස්කාර කෙසෙල් ගසක් සේ, විඤ්ඤාණය මැජික්කරුවකු සේ කරන උපමාව තුළින් එහි ස්වභාවය ප්‍රකට කරයි.

විශිෂ්ට ඥානය තුළින් රූපය හඳුනා ගත් කල ඉවත් කළ යුතු දෙකක් වෙයි. අවිද්‍යාව හා භව තණ්හාවයි. අවිද්‍යාව යනු නො දැනීම, නො වැටහීම, අනවබෝධය, වැරැදි දැකීම, චතුරාර්ය සත්‍ය නො දැකීම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය නො කිරීම යි. පාට කණ්ණාඩියකින් ලෝකය බලද්දී ඒ පාට කණ්ණාඩිය තුළ ඇති පැහැයට අනුව ලෝකය දකියි. අවිද්‍යාව ඇති පුද්ගලයා ලෝකය දකින්නේ එසේ ය. යථාර්ථය නො දකියි. මත්පැන් බී මත් වූ පුද්ගලයා යම් යම් දේ කරයි. ඔහුට එය කරන්නම ඕන වෙයි. අවිද්‍යාව ඇති විටත් එසේ ය. පින් පව් රැස් කරන්නේ මේ අවිද්‍යාව පදනම් කොටගෙනයි. මෙය අත්හල යුතුයි. එමෙන් ම භව තණ්හාව අත්හළ යුතුයි. අවිද්‍යාව පදනම් කොටගෙන කාම භවයන්හි, රූප භවයන්හි,

විශිෂ්ට ඥානයෙන් අනුගමනය කළ යුතු, ප්‍රගුණ කළ යුතු දෙයක් පවතී. ඒ සමථ භාවනාව හා විදර්ශනා භාවනාවයි. සමථ භාවනාව යනු නිවන් දැකීම උදෙසා සිත සකසන ස්වභාවය යි. සතළිස් කර්මස්ථාන ගෙන කටයුතු කළ හැකි ය. කසිණ, අසුභ, අනුස්සති, අප්පමඤ්ඤා, ආහාර පටික්කූල සඤ්ඤා, චතුධාතු වවත්ථාන, ආරුප්ප ආදි භාවනා ක්‍රම අනුගමනය කිරීම යි. මේ තුළින් ධ්‍යාන ලබන්නන ට, අෂ්ඨ විද්‍යා ආදි ඥාන ලබන්නට හැකි වේ. විදර්ශනා භාවනා යනු නිවන අපේක්ෂා කොටගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණය වැඩීම යි.

විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කර ගතයුත්තේ විමුක්තිය යි. නිවන යි. නිවන යනු ලැබෙන දෙයක් නොවෙයි. ලබා ගත යුතු දෙයකි. එය ලැබෙන්නේ පියවරින් පියවර සංවිධානය, සංවර්ධනය වීම තුළිනි. ඒ සියල්ල ඉහත දැක්වෙන දේ විශිෂ්ට ඥානයෙන් ලබා ගැනීම තුළිනි.

ජීවිතය ම අභියෝගයකි. ඒ අභියෝග සඳහා අප විවිධ උපක්‍රම යොදයි. එහෙත් ඒ උපක්‍රම කිසිවකින් අපට සතුටක් ඇති වුණේ නැත. ලෞකික සතුට ලබන්නට, ලෝකෝත්තර සතුට ලබන්නට විශිෂ්ට ඥානයෙන් යුක්තව මෙම ක්‍රමවේදය අනුගමනය කරමු.