Print this Article


උපද්‍රව දුරු කරන පරිත්‍රාණ ධර්මය

උපද්‍රව දුරු කරන පරිත්‍රාණ ධර්මය

පරිත්‍රාණ ධර්මය වනාහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයට ඇතුළත් ධර්ම කොටසකි. මනුෂ්‍යයන්ට පැමිණෙන ත්‍රිවිධ බිය පමණක් නොව මෙලොව වශයෙන් ඇතිවන්නා වූ ග්‍රහ දෝෂ, භූත දෝෂ, අපල උපද්‍රවයන් විද්වංසනය කිරීමෙහි බලයක් පිරිත තුළ පවතී.

පරිත්ත යන පාළි වචනයේ අර්ථ නිරූපණයට අනුව මනුෂ්‍යයන්ට හාත්පසින් ම ඇතිවන්නා වූ උපද්‍රවයන්ට ලබා දෙන ආරක්ෂාව යි. මේ පිරිත කෙරෙහි අචල විශ්වාසයෙන් හා දැඩි ශ්‍රද්ධාවෙන් සජ්ඣායනා කිරීම, ශ්‍රවණය කිරීම, ධර්ම කරුණුූ කාරණාවන්ට අනුව සිත සුවපත් කිරීම තුළින් මෙලොව වශයෙන් පවතින්නා වූ, ඇතිවන්නා වූ අතුරු අන්තරායන් සමනය කිරීමේ ආනුභාවය තුළින් බෞද්ධයන් ස්වකීය සෙත ශාන්තිය, ආරක්ෂාව, ආශිර්වාදය සිදු කර ගනී. මේ විශ්වය තුළ යම්කිසි විශ්ව ශක්තියක් ඇත්නම් උපද්‍රවවලට, උවදුරුවලට ආරක්ෂාවත්, පිහිටත් නිතැතින් ම ලබා ගත හැක්කේ පිරිත තුළිනි. පිරිත් දේශනා කිරීමෙන් කරනු ලබන්නේ සත්‍ය ක්‍රියාවකි. තවද පිරිත් බලය හා බැඳුණු පැන් පොද පවා දැයෙහි සතහට සෙත සලසති. පිරිත කෙරෙහි දැඩි විශ්වාසයෙන්, අචල භක්තියෙන් යම්කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකා, යන සිවුවනක් පිරිස හෝ දේශනා කරත් ද, ශ්‍රවණය කරත් ද, එම දම් දෙසුමෙන් ලැබෙන මහත්ඵල මහානිසංස දේශක, ශ්‍රාවක උභය පක්ෂයට ම විමුක්තිය, සෙත, ශාන්තිය, ආරක්ෂාව, ආශිර්වාදය, නිරෝගී සුවය ඒ ආකාරයෙන් ම ලැබෙනු ඇත.