මව්පිය ගුණකඳ නමදිමු නිතියෙන
රැළපනාවේ ධම්මජෝති නාහිමි
බෝසත් චරිතයේ සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ මවුපියන්ට සැලකීම යි. අප
මේ ලෝකයට බිහිකළ පසුව කතා කිරීම, ඇවිදීම සිට පාසල් යැවීමට පෙර සියලු කටයුතු සිදු
කරන්නේ මව සහ පියා විසිනි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මවුපියන් පූර්වාචාර්යවරු
වශයෙන් ද හඳුන්වා දී තිබෙනවා.
එසේම අවුරුදු සියයක් මවුපියන් වම් උරහිසේ, දකුණු උර හිසෙහි තබාගෙන, බිම නොතබා,
ජීවිතාන්තය දක්වා සංග්‍රහ කරතත් අම්ම,තාත්තා කළ උපකාරයට උපකාරයක් සිදු නො වන බව
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
බ්‍රහ්මාති මාතා පිතරෝ - පුබ්බාචරියාති වුච්චරේ -අහුණෙය්‍යාච පුත්තා නං - පජාය
අනුකම්පකා
අග මුල හා පරක් තෙරක් නො පෙනෙන මහා සයුර සේ, මවගේ පියාගේ ගුණ මෙ පමණයි කියා සීමාකොට
දැක්විය නොහැකි බවයි උන්වහන්සේ දේශනා කොට වදාළේ.
වර්තමාන සමාජය දෙස බලන විට ඇතැම් දරුවන් මවුපියන්ට නැති වැරැදි කියමින් දොස්
පවරමින් අත්හැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් දරුවන් වයසක මව්පියන්ට ගහනවා.
බනිනවා. මේවා බලවත් අකුසල කර්ම. ඇතැම් මාපියෝ කුසට ආහාරයක් නොමැති ව මහමඟට වැටී
සිටිනවා .වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට
පත්වෙමින් තිබෙනවා .මේ නිසා මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ දරුවන්ට
සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරමින් උතුම් වූ
ධර්ම මඟ යමින් යහපතෙහි යෙදෙන ලෙසයි . |