විචිකිච්ඡාව දුරු කරමු
සෝවාන් මඟට ළං වෙමු
සදාකාලික වූ භවයෙන් භවයට ගමන් කරන නොනැසෙන යම්කිසි ශක්ති විශේෂයක් ආත්මවාදය ලෙස
සැලකේ. එලෙස සිතීම “සක්කාය” වශයෙන් පිළිගැනෙන බවත් දිට්ඨියයි, විචිකිච්ඡාවයි
නැතිවීම සක්කාය දෘෂ්ටියෙන් ඉවත්වීම ලෙසයි සූත්‍රවල සඳහන් වන්නේ. මෙය අත්ථවාද
උපාදානය ලෙස ද හඳුන්වයි.
එනම් සෝවාන් වීමෙන් සක්කාය නමැති තත්ත්වය සහමුලින් ම නැති වෙනවා. සෝවාන් වීමේ දී
නැතිවන දෙවන සංයෝජනය විචිකිච්ඡාවයි.
රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පඤ්චස්කන්ධ පරමාර්ථ වශයෙන් දේශනා කළ දේවල්.
පඤ්චස්කන්ධ යනු අපගේ කටට, කනට, ඇසට, හුරු වචනයක්. අග්‍රගණ්‍ය පඬිරුවණක වූ,
ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ මහාචාර්යවරයකු වන වල්පොළ රාහුල හාමුදුරුවන් විසින්
රචිත “බුදුන් වදාළ ධර්මය” නමැති ග්‍රන්ථයේ සඳහන් පඤ්චස්කන්ධය පිළිබඳ අර්ථ විවරණය
උපුටාගත හැකි ය.
“එහි පළමුවැන්න නම් රූප ස්කන්ධය යි. පඨවි (තද මොළොක් ගතිය), ආපෝ (බැඳෙන, වැගිරෙන
ගතිය), තේජෝ (උණුසුම් සිසිල් ගතිය), වායෝ ( සැලෙන ගතිය) යන මහභූත සතර ද එයම නිශ්‍රය
කොට ඇති උපාදය රූප ද රූප ස්කන්ධයට ඇතුළත්ය. මෙහි උපාදය රූප නම් ඇස, කන, නාසය,දිව,
කය යන රූපී ඉන්ද්‍රිය පහ, බාහිර ලෝකයේ පවත්නා තදනුරූප වස්තු හෙවත් රූප, ගන්ධ රස,
ස්පර්ශ යන අරමුණූ පහ. ධර්මායතන ගණයට වැටෙන රූපධර්ම, ඇතැම් චෛතසික අරමුණු අදහස් හා
සිතුවිලි යන මේවා අභ්‍යන්තරික ද, බාහිරද වන රූප සියල්ල ම රූප ස්කන්ධයට ඇතුළත් ය.
දෙවැන්න නම් වේදනා ස්කන්ධය යි. කායික, මානසික ඉන්ද්‍රියයන් බාහිර ලෝකය සමඟ ස්පර්ශයට
පැමිණීම හේතු කොට ගෙන ඇතිවන වේදනා ය. වේදනාව සවැදෑරම් ය. ඇස, රූපය සමඟ ස්පර්ශයට
පැමිණීමෙන් ඇතිවන වේදනාව, කන ශබ්දය සමඟ ස්පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව, නාසය ගඳ,
සුවඳ සමඟ ස්පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව, දිව රසය සමඟ ස්පර්ෂයට පැමිණීමෙන් ඇතිවන
වේදනාව, කය සමඟ ස්පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනාව, බෞද්ධ දර්ශනයේ සඳහන් සයවැනි
ඉන්ද්‍රිය වන මනස චෛතසික, අදහස් සිතුවිලි සමඟ ස්පර්ශයට පැමිණීමෙන් ඇතිවන වේදනා
යනුවෙනි. අපගේ කායික, මානසික වේදනා සියල්ල මේ ගණයට වැටේ.
බෞද්ධ දර්ශනයේ කියන ‘මනස’ නම් කුමක්දැයි විමසා බැලීම වැදගත්. සියලු ඉන්ද්‍රිය මෙන්
මනස ද හික්මවිය හැකි ය. දියුණු කළ හැකි ය. මේ ඉන්ද්‍රිය හය රැක ගැනීමෙනුත්,
හික්මීමෙනුත් සිදුවන යහපත බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී විස්තර කළහ. ඇස නමැති
ඉන්ද්‍රියත්, මනස නමැති ඉන්ද්‍රියත් අතර පවත්නා වෙනස නම් ලෝකයේ වර්ණ සහ රූප ඇසට
ගෝචර වන අතර චෛතසික, අදහස් සිතිවිලි මනසට ගෝචරවීම ය. ලෝකයේ විවිධ අංශයන් අප
අත්දකින්නේ විවිධ ඉන්ද්‍රිය මඟිනි. අපට වර්ණ ඇසිය නොහැකි ය. නමුත් දැකිය හැකි ය.
එසේම අපට ශබ්ද දැකිය නොහැකි ය. නමුත් ඇසිය හැකි ය. මෙපරිද්දෙන් ඇස, කන, නාසය, දිව,
කය යන කායික ඉන්ද්‍රිය පහෙන් අත්දැකිය හැක්කේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන මේවා
පිළිබඳ ලෝකය පමණකි.
එහෙත් එය ලෝකයේ කොටසක් පමණකි. මුළු ලෝකය ම නොවේ. චෛතසික අදහස්, සිතුවිලි ලෝකයේ
කොටස් ම ය. එහෙත් ඒවා ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියවලට ගෝචර නොවෙයි. ඒවා ගෝචර
වන්නේ වෙන ඉන්ද්‍රියයකට ය. එනම් මනසට ය. එසේ වුව ද චෛතසික අදහස්, සිතුවිලි ඉහත
සඳහන් කායික ඉන්ද්‍රිය පහෙන් අත්දකිනු ලබන ලෝකයෙන් බැහැර නොවෙයි. සැබැවින් ම මේ
අදහස්, සිතුවිලි චෛතසික ඇතිවනුයේ කායික අත්දැකීම් හේතුකොට ගෙන ය.
කනින් ශබ්ද ඇසීම ආදී වශයෙන් අනිත් ඉන්ද්‍රියවලින් ලැබෙන අත්දැකීම්වල උපමිතියෙන් මිස
වර්ණය පිළිබඳ හැඟීමක් ගත නොහැකි වන්නේ එහෙයිනි. මෙපරිද්දෙන් ලෝකයේ ම කොටසක් වන
අදහස්, සිතුවිලි චෛතසිකයෝ කායික අත්දැකීම් හේතු කොට ගෙන පහළ වී, මනසට ගෝචර වන්නෝ
වෙති. මනස, ඇස හෝ කන වැනි ඉන්ද්‍රියකැයි සලකන ලද්දේ එහෙයිනි.
තුන්වැන්න සංඥා ස්කන්ධය යි. වේදනාව මෙන් සංඥාව ද ඉන්ද්‍රිය හයට ගෝචර වන අරමුණු හය
අනුව සැවැදෑරුම් වෙයි. වේදනා, සංඥා දෙක ම හටගන්නේ ඉන්ද්‍රිය හය බාහිර ලෝකය සමඟ
ස්පර්ෂයට පැමිණීම නිසා ය. කායික හෝ මානසික හෝ අරමුණ හඳුනා ගන්නේ සංඥාවයි.
සතරවැන්න නම් සංස්කාර ස්කන්ධය යි. කුසල හෝ අකුසල සංචේතන ක්‍රියා සියල්ල මේ ගණයට
වැටේ. සාමාන්‍යයෙන් “කර්ම” නමින් ගනු ලබන සියල්ල මෙයට ඇතුළත් ය. බුදුරජාණන් වහන්සේ
කර්මය විස්තර කළ හැටි මෙහිදී සලකා බැලීම වටී.
මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනාවෙන් සිත කයින් හෝ වචනයෙන් හෝ මනසින්
කර්ම කරයි. චේතනාව වූ නම් සිතින් නිපැදවීමකි. මනසින් කරනු ලබන ක්‍රියාවකි. එහි
කාර්යය නම් කුසලවලට හෝ අකුසලවලට හෝ සිත යෙදීම ය. වේදනා, සංඥා දෙක මෙන් චේතනාව ද
ඉන්ද්‍රිය හයක් බාහිර ලෝකයේ පවත්නා තදනුරූප කායික, මානසික අරමුණු සයක් අනුව
සැවැදෑරුම් වෙයි. වේදනාව හෝ සංඥාව සංචේතන ක්‍රියාවක් නොවේ. කර්ම ඵල ඇති වන්නේ ඡන්ද
අධිමෝක්ෂ, ශ්‍රද්ධා, සමාධි, ප්‍රඥා, වීර්ය, රාග, ප්‍රත්‍ය, අවිද්‍යා, මාන , සක්කාය
දිෂ්ටි ආදි සංචේතන ක්‍රියාවලින් පමණකි. සංස්කාර ස්කන්ධයට ඇතුළත් වන එවැනි
චෛතසිකයන්ගේ ගණන 52ක් වෙයි.
පස්වැන්න විඥාන ස්කන්ධය යි. විඥානය වූ කලි ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රිය
හය ආශ්‍රය කොටගෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ෂය, ධර්මය යන අරමුණුූ හය විෂය
කොටගෙන ඇති ප්‍රතිවිඥප්තියකි. උදාහරණයක් වශයෙන් චක්ෂු විඤ්ඤාණය ඇස ආශ්‍රය කොට ගෙන
ද, රූපය අරමුණු කොටගෙන ද පහළ වෙයි. මනෝ විඤ්ඤාණය මනස ආශ්‍රය කොටගෙන අදහසක් හෝ
සිතුවිල්ලක් අරමුණු කොටගෙන පහළ වෙයි. මෙයින් පෙනෙන්නේ විඤ්ඤාණය ඉන්ද්‍රියන් සමඟ
බැඳී පවත්නා බව ය. වේදනා, සංඥා, චේතනා තුන මෙන් විඤ්ඤාණය ද ඉන්ද්‍රිය හයත් තදනුරූප
බාහිර අරමුණු හයක් අනුව සවැදෑරුම් වෙයි.
විඤ්ඤාණය අරමුණූ හඳුනා නොගන්නා බව මෙහිදී පැහැදිලි ව ම සිත තබා ගත යුතු ය. විඤ්ඤාණය
කරන්නේ අරමුණු ඇති බව දැන ගැනීම පමණකි. උදාහරණයක් වශයෙන් ඇස නිල්පාට සමඟ ගැටෙයි.
මෙහිදී පහළ වන චක්ෂු විඤ්ඤාණය පාටක් ඇති බව දැන ගනී. නමුත් එය නිල්පාට බව හඳුනා
නොගනී. මේ අවස්ථාවේ දී හැඳිනීමක් නැත්තේ ය. එය නිල්පාට යැයි හඳුනා ගන්නේ ඉහත සඳහන්
තුන්වැනි ස්කන්ධය වන සංඥාවයි. චක්ෂු විඤ්ඤාණය (චක්ඛු විඤ්ඤාණය ) යන්න වනාහි “දැකීම”
යන පොදු වචනයෙන් දැක්වෙන අදහස ම පළකරන දාර්ශනික වචනයකි. දැකීම නම් හඳුනා ගැනීම
නොවේ. විඤ්ඤාණයේ සෙසු ආකාර ද මෙපරිද්දෙන් ම දත යුතු ය.
බෞද්ධ දර්ශනයට අනුව, ආත්ම යැයි හෝ මම යැයි හෝ සැලකිය හැකි වෙනස් නොවන සුළු, නොනැසෙන
සුලු ජීවයක් නැති බව ද, විඤ්ඤාණය වනාහි “රූප” යන්නට විරුද්ධාර්ථවත් යැයි කියනු ලබන
ජීවය නොවන බව ද සඳහන් කළ යුතු ය.
එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“මා මෙසේ කාට නම් දහම දෙසු බවක් දන්නෙහි ද? විඤ්ඤාණය ප්‍රත්‍යයකින් හටගන්නේ යැයිද
ප්‍රත්‍යයකින් තොරව විඤ්ඤාණය හටගැනීමක් නැතැයි ද මවිසින් නොයෙක් අයුරින් දෙසන ලද්දේ
නොවේ ද ඉක්බිති බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය නම් කුමක්දැයි මෙසේ විස්තර කළහ.
විඤ්ඤාණය යම් යම් ප්‍රත්‍යයක් නිසා හටගන්නේ ද ඒ ඒ අනුව නම් ලබන්නේ වෙයි. ඇස ද, රූපය
ද නිසා විඤ්ඤාණය හට ගනී. ඒ චක්ෂු විඤ්ඤාණය නම් වෙයි. කන ද ශබ්දය ද නිසා විඤ්ඤාණය හට
ගනී. ඒ ශ්‍රෝත්‍ර විඤ්ඤාණය නම් වෙයි. නාසය ද, ගන්ධය ද නිසා විඤ්ඤාණය හට ගනී. ඒ ඍන
විඤ්ඤාණය නම් වෙයි. දිව ද රසය ද නිසා විඤ්ඤාණය හට ගනී. ඒ ජිව්හා විඤ්ඤාණය නම් වෙයි.
කය ද ස්පර්ශය ද නිසා විඤ්ඤාණය හට ගනී. ඒ කාය විඤ්ඤාණය නම් වෙයි. මනස ද ධර්ම ද නිසා
විඤ්ඤාණය හට ගනී. ඒ මනෝ විඤ්ඤාණය නම් වෙයි.
මෙහිදී බුදුරජාණන් වහන්සේ මෙම කාරණය තවදුරටත් උපමාවකින් පැහැදිලි කළහ. ගින්න යම්
යම් ප්‍රත්‍යයක් නිසා ඇවිළේ ද ඒ ඒ අනුව නම් ලබන්නේ වෙයි. ගින්නක් දර නිසා ඇවිළෙයි.
ඒ දර ගිනි නම් වෙයි. ගින්නක් තණ නිසා ඇවිළෙයි. එය තණ ගිනි නම් වෙයි. එපරිද්දෙන් ම
විඤ්ඤාණය යම් යම් ප්‍රත්‍යයක් නිසා හටගන්නේ ද ඒ ඒ අනුව නම් ලබන්නේ වෙයි.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |