Print this Article


සැපයට හේතු වූ පිනක මහිම

සැපයට හේතු වූ පිනක මහිම

ඇය මට මේ දිනවල කළ උපකාරය කෙතරම් ද? ඇය නිසයි මට භාග්‍යවතුන් වහන්සේ සහ සඟ පිරිසට අඩ මසක් පුරාම දන් පූජා කර ගන්නට ලැබුණේ. දහම් අසන්නට ලැබුණේ. මහත්ඵල මහානිශංස වන ආකාරයට පින් දහම් කර ගන්නේ. මැය මගේ ජීවිතයට මහත් සහනයක් ගෙන දුන්නා. සිරිමා ගැන මගේ සිතේ කිසිදු වෛරයක් නොමැති නම්, මේ උණු තෙල් සිසිල් ජලය වේවා'යි අධිෂ්ඨාන කළා

එදවස පුණ්ණ සිටුතුමා ජීවත් වුණේ රජගහ නුවරයි. ඔහුගේ බිරිඳ උත්තරා. ඔවුන්ට එක් දියණියක් සිටියා. ඇයගේ නම ද උත්තරා.

පුණ්ණ සිටුවරයා ඇතුළු මේ පවුලේ සියලු ම දෙනා තෙරුවන් සරණ ගොස් උතුම් මාර්ගඵල අවබෝධ කර ගෙනයි සිටියේ. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසට නිතර ම දන්පැන් පූජා කරමින්, ධර්මය අසමින්, විවිධ පින්කම් කිරීමත් ඔවුන්ගේ දින චරියාවේ කොටස් බවට පත්වී තිබුණා.

කාලය ගෙවී යද්දී උත්තරා දියණිය විවාහ වන වයසට එළඹියා. රජගහ නුවර එක් සිටුවරයකුගේ පුතෙක්ට උත්තරා දියණිය ගැන විවාහ යෝජනාවක් ආවා. නමුත් ඒ පවුලේ සියලු ම දෙනා මිථ්‍යා දෘෂ්ටික අය යි. එනිසා පුණ්ණ සිටුතුමා ඒ විවාහයට එකඟ වූයේ නැහැ.

“සිටුතුමනි, මගේ මේ උත්තරා දියණිය තෙරුවන් සරණ ගිය දියණියක්. ඔබගේ පුතා එසේ නොවේ. එනිසා ඔවුන්ගේ ගැළපීමක් නැහැ. ඒ දරුවන්ගේ ජීවිත අසාර්ථක වේවි.”

නමුත් ඒ සිටුවරයාගේ බලවත් ඉල්ලීම මත පුණ්ණ සිටුතුමා තම උත්තරා දියණිය ඒ මිථ්‍යා දෘෂ්ටික පවුලේ පුතුට විවාහ කර දුන්නා.

විවාහ වී ස්වාමියාගේ නිවසට ගිය මේ උත්තරා ඉතාමත් පති භක්තියෙන් යුතු වූවා. තම ස්වාමියාටත්, ඔහුගේ පවුලේ අයටත් ඉතා හොඳින් සැලකුවා. නමුත් ඇය ඒ නිවසට ගිය දා පටන් භික්ෂූන් වහන්සේ නමක් හෝ භික්ෂුණියක් දකින්නට ලැබුණේ නැහැ. දන් දීම හෝ ධර්ම ශ්‍රවණයක් හෝ අසන්නට ලැබුණේත් නැහැ.

වස් කාලය එළඹ මාස තුනෙන් මාස දෙකහමාරක් අවසන් වුණා. තවත් ඉතිරි ව තිබුණේ මාස භාගයක් පමණ යි. උත්තරාට මේ ජීවිතය ඉතාමත් කටුක වුණා. නීරස වුණා. ඇය තම පියාට ලිපියක් යැව්වා.

“පියාණෙනි, මේ පවුලේ උදවිය ඉතාමත් මිථ්‍යා දෘෂ්ටික යි. මා මෙහි ආ දා සිට දන් දීමක් හෝ දහම් කථාවක් හෝ නො ඇසුවෙමි. අඩුම ගණනේ භික්ෂූන් වහන්සේ නමක් හෝ දැක ගන්නට පවා අවස්ථාවක් නැහැ.”

මේ බව දැනගත් පුණ්ණ සිටුවරයා තම දියණිය ගැන මහත් ශෝකයට පත් වුණා. ඔහු තම දියණියට හසුනක් යවා මෙසේ කියා සිටියා.

“දියණිය, ඔබ සිටින නගරයේ සිරිමා නමින් එක් නගරශෝභනියක් ජීවත් වෙනවා. ඇය ගෙන්වා ඔබේ ස්වාමියාට භාර කර මේ අඩ මස සිත් සේ දන් පැන් පුදා පින්දහම් කර ගන්න.” යැයි දන්වා මුදල් සමඟ පණිවිඩයක් ද යැව්වා.

එය දුටු උත්තරා අතිශයින් ම සතුටට පත්ව, වහා ම සිරිමා තම නිවසට ගෙන්වා ගත්තා. පසුව තම ස්වාමියා ළඟට ගොස්

“හිමියනි, මේ යෙහෙළිය ඔබට අවශ්‍ය ඇප උපස්ථාන කරාවි. බොහෝ ගෞරවයෙන් සියලු කටයුතු සොයා බලාවි. මේ අඩ මස මම දන් පූජා කිරීමටත්, ධර්මය ඇසීමටත් කැමැත්තෙන් සිටින්නේ.”

ඔහු එයට එකඟ වුයෙන් සතුටට පත් උත්තරා භාග්‍යවතුන් වහන්සේ දකින්ට ගොස්,

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ අඩ මස මෙහි ම රැඳී සිටිනු මැන. මම සිව්පසයෙන් උපස්ථාන කරන්නම්” යි ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත් හෙයින් ඇය ඉමහත් සතුටින් යුතු ව බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කර ගනු ලැබුවා. දහම් ඇසුවා. දන් දුන්නා.

දිනක් උත්තරාගේ ස්වාමිපුරුෂයා කවුළුව වෙත පැමිණ තම බිරිඳ කුමක් කරනවා ද කියා විමසා බැලුවා. ඇය දහඩිය දමමින් දැලි කුණු තවරාගෙන සේවිකාවන් සමඟ දානය පිළියෙල කරනු දැක.

“අහෝ මේ මෝඩ තැනැත්තිය, මෙ තරම් සැප සම්පත් තිබියදීත් මුඩු මහණ උදෙසා මෙ තරම් වෙහෙස වන්නේ මන් ද? මැයගේ මෝඩකම මිස වෙන කුමක් ද?” කියා සිතෙන විට ඔහුට සිනහ පහළ වුණා.

ඔහු සිනාසුණේ කා සමඟ ද කියා බැලූ සිරිමා උත්තරා කුමරිය පහළ මහලේ සිටිනු දැක ඊර්ෂ්‍යාවක් උපන්නා.

“මැය විනාශ කර මේ සියලු සැප සම්පත් මා සතු කර ගන්නට ඕනෑ. එවිට මේ සිටු පුත්‍රයා සමඟ මට ජීවිත කාලයම සතුටින් ගෙවන්න පුළුවන් යැයි සිතා වහා ම මුළුතැන් ගෙට ගොස් තෙල් වළඳෙන් උතුරන තෙල් ගෙන උත්තරාගේ ඉදිරියට ගියා. එය දුටු උත්තරා වහා සිරිමාගේ ගුණ සිහි කළා. ඇය සමඟ තරහවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කර ගත්තේ නැහැ.

“මැය මට මේ දිනවල කළ උපකාරය කෙ තරම් ද? මැය නිසයි මට භාග්‍යවතුන් වහන්සේ සහ සඟ පිරිසට අඩ මසක් පුරාම දන් පූජා කර ගන්නට ලැබුණේ. දහම් අසන්නට ලැබුණේ. මහත්ඵල මහානිශංස වන ආකාරයට පින් දහම් කර ගන්නේ. මැය මගේ ජීවිතයට මහත් සහනයක් ගෙන දුන්නා. සිරිමා ගැන මගේ සිතේ කිසිදු වෛරයක් නොමැති නම්, මේ උණුතෙල් සිසිල් ජලය වේවා'යි අධිෂ්ඨාන කළා. ඒ ආකාරයට ම හිසට වත්කළ උණු තෙල් සිසිල් ජලය වූවා. එය දුටු සේවිකාවෝ, “නුඹ අපගේ ස්වාමි දියණියට උණු තෙල් වත්කළා නේ දැ"යි අසමින් පහර පිට පහර දුන්නා. එයින් සිරිමාව බේරාගත් උත්තරා ඇයට උපස්ථාන කළා. තමාගේ වරද පිළිගත් සිරිමා,

“පින්වත් ආර්යාවනි, මට සමා වනු මැන” කියා ඉල්ලා සිටියා.”

“සිරිමා මා පියකු සිටින දියණියක්. පියතුමාගෙන් සමාව ගත්තොත් නුඹට මම සමාව දෙම්”

“ආර්යාවනි, මා පුණ්ණ සිටුතුමා හමු වී සමාව අයදින්නෙමි”

“සිරිමා පුණ්ණ යනු මම මනුස්ස ලෝකයට එන්නට උපත දුන් පියා යි. සසරින් නිදහස් වීමට උපත දුන් පියා කවරෙක් ද?”

“සිරිමා ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි.” අනේ ආර්යාවෙනි, උන්වහන්සේ සමඟ මගේ ඇසුරක් නැහැ නෙව. මා කිසි දිනක උන්වහන්සේ දැක හෝ නැහැ”

“හෙට දිනයේ උන්වහන්සේගේ සඟ පිරිස සමඟ මෙහි වඩිනවා. නුඹ ගොස් සමාව ගත යුතුයි.” උත්තරා කියා සිටියා.

පසුදින ප්‍රණීත ව දානය පිළියෙළ කරගත් උත්තරා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. එවේලේ සිරිමා ද භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ වැටී,

“ස්වාමිනී මේ උත්තරා දියණියට මගෙන් වරදක් වූවා. ඒ වරදට සමාව ඔබ වහන්සේගෙන් ගන්නා ලෙසයි ඇය කිව්වේ”

සිදු වූ සියලු කරුණු ඇසූ භාග්‍යවතුන් වහන්සේ,

“සාධු, සාධු. උත්තරාවෙනි, ඔබ ක්‍රෝධය ජය ගත් සැටි ඉතා ඉහළ යි. ක්‍රෝධ කරන අයට අක්‍රෝධ කිරීමෙන් ලැබෙනුයේ ජය යි. වදාරමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. එවෙලෙහි උත්තරා සකෘදාගාමි වූ අතර, ස්වාමියා හා ඔහුගේ මව්පියන් ද, පන්සියයක් සේවිකාවන් සමඟ සිරිමා ද සෝවාන් ඵලයට පත්වුණා. පසුකලක දී මරණයට පත් වූ උත්තරා තව්තිසා දෙව්ලොව උපත ලැබුවා.