සෑ රදුට
බෝ රදුට
අගෞරව කළ විට
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
පින්වතුනි, කිසිදු විටක පාපී ක්‍රියාවක් කරන්න එපා. පුණ්‍ය කටයුතු ම සිදු කරන්න.
තුනුරුවන් කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරන්න නිතර ම වගබලා ගන්න. එය මරණ මොහොතේ
දී හෝ විපාක දෙනවා. පරලොව දී සුව සේ විපාක විඳින්න හැකියාව ලැබෙනවා. දෙලොව ම
සුගතියෙන් සුගතියට ම පත් වෙනවා
සිංහල රටේ අනුරාධපුර යුගයේ සිදු වූ කතාවක් මේ කියන්න යන්නේ. ඈත අතීතයේ එක්තරා
බමුණකුට දාව පුත්‍රයෙක් උපන්නා. ඔහුට කිව්වේ ‘සිරිනාග’ කියලා. කුලය නිසා
ගරුගාම්භීරත්වයෙන් තමයි මේ බමුණු කුමාරයා ජීවත් වුණේ. කාලයත් එක්කම බමුණු පියා මිය
ගියා.
ඔහුගේ ධනය වගේ ම පිරිවර ජනයාත් මේ බමුණු කුමාරයාට අයිති වුණා. ටික කාලයක් කටයුතු කර
ගෙන ගියා. නිදහස් වෙලාවක බමුණු කුමාරයාට හිතුණා.
‘මට දැන් සෑහෙන පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් මා වටා එකතු කර ගත්තොත් මගේ කටයුතු කර
ගෙන යන්න සේනාවක් හදා ගන්න පුළුවන්. එසේ මෙසේ සේනාවක් නෙවෙයි යුද්ධ සේනාවක් ම හදා
ගන්න පුළුවන්.
ඊට පස්සේ රජුට විරුද්ධව සටන් කරලා රට අල්ලා ගන්න පුළුවන් වේවි. බොහොම සැප සේ ජීවත්
වෙන රජ කෙනෙක් වෙන්න පුළුවන් කියා හිතුවා. නැවත මෙහෙම කල්පනා කළා.
‘මට පිරිස ඉන්නවා තමා, ඒත් ඒ අය නඩත්තු කරන්න ලොකු මුදලක් මම දැනටත් වැය කරනවා.
තවත් පිරිසක් බඳවා ගත්තොත් ඒ අයටත් පඩි ගෙවන්න ඕනෑ. කන්න බොන්න දෙන්න ඕනෑ.
වාසස්ථානත් දෙන්න ඕනෑ. මේ හැම එකකට ම මුදල් තමයි ඕනෑ වෙන්නේ. මුදල් හොයන්න ක්‍රමයක්
සකසා ගන්න ඕනෑ‘යි කියලා දිගින් දිගට ම කල්පනා කළා. අවසානයේ දී තීරණය කළා ගම්
නියම්ගම් කොල්ල කන්න. එහෙම කරමින් ලොකු ධනයක් උපදවා ගත්තා. පිරිවරත් වැඩි කර ගත්තා.
දවසක් අභයගිරිය දක්ෂිණ විහාරයේ දාගැබක් දැක මෙහෙම හිතුවා. මේ දාගැබ බිඳ ගත්තා නම්
රජ වෙනකම් ම ධනය ඇති පමණ හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක බිඳවන්න ඕනෑ’යි හිතලා
සේනාවට කිව්වා දාගැබ බිඳින්න කියලා. ඒ අය කොතෙකුත් උත්සාහ කළත් බිඳින්න නම්
පුළුවන්කමක් ලැබුණේ නැහැ. සිරිනාග බමුණු කුමාරයාට බොහොම කේන්ති ගිහින්
‘තොපි හැමට බැරි ඇයි මේ වගේ දෙයක්වත් කර ගන්න‘යි චෝදනා කළා. එතකොට පිරිස කිව්වා’
කුමාරයාණෙනි, දාගැබේ සන්ධිය හොයා ගන්නේ නැතිව එහෙම බිඳින්න බෑ. මේ දාගැබ හදන්න දායක
වුණු ‘බහුල‘ කියල වයසක සැඩොල් මිනිහෙක් ‘හෙල්ලෝලි’ නම් ගමේ තවමත් ජීවත් වෙනවා කියලා
ආරංචියි. ඔහු රැගෙන ආවා නම් මේ සන්ධිය හොයා ගන්න පුළුවනි‘යි කිව්වා. ඔහුගේ නියමයෙන්
සේනාව ගිහින් ඒ වයසක පුද්ගලයා රැගෙන ඇවිත් සිරිනාග ඉදිරියේ තැබුවා. ඔහුගේ මුහුණ දෙස
බිය වන ආකාරයෙන් බලලා කිව්වා.
‘තොප, මේ දාගැබේ සන්ධිය දන්නවා කියලා අපට දැන ගන්න ලැබුණා. බොරු නො කියා, අපව වංචා
නො කර වහා ම සන්ධිය අපට පෙන්වවු“යි කියා සිටියා.
එතකොට අර සැඩොල් කුලයේ උපන් අහිංසක, ඒත් ධර්මයෙන් හා මිනිස් ගුණවලින් කියා ගන්න
බැරිතරම් පොහොසත් තුනුරුවනට ජීවිතය පවා පූජා කිරීමට කැමැති පින්වත් ඒ ‘බහුල‘ නම්
උපාසකයා කියනවා.
‘මගේ ජීවිතය නැති වුණත් මට කමක් නෑ. හැබැයි මේ අපරාධය කරන්න නම් මම උදව් කරන්නේ නෑ.
මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. දෙවියන්ට දෙවි වූ, බඹුන්ට බඹු වූ, ශක්‍රයන්ට ශක්‍ර
වූ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නිදන් කොට ඇති මේ දාගැබ බිඳින්න මම උදව්
කරන්නේ නෑ‘යි කියමින් එය ප්‍රතික්ෂේප කළා.
සිරිනාගට බොහෝම කේන්ති ගියා. නැවත නැවතත් කිව්වත් සන්ධිය පිහිටි තැන කිව්වේ නෑ.
අවසානයේ තීරණය කළා ඔහුව උල තබා මරා දමන්න. ඔහුව උල හිඳුවන්න ගෙන ගියා. ඒ අවස්ථාවේ
සේනාවේ සිටි තවත් සෙබළෙක් කිව්වා.
‘ස්වාමිනි, මොහුට පුතුන් හත් දෙනෙක් ඉන්නවා. ඒ හත් දෙනාමත් මේ සන්ධිය පිහිටා තියෙන
තැන දන්නවා. ඒ අය රැගෙන ඇවිත් සන්ධිය හොයා ගමුයි‘යි යෝජනා කළා.
සිරිනාගගේ නියමයෙන් පිරිස ඔවුන්ගේ නිවෙස්වලට ගිහින් ඔවුන් හත් දෙනා ම රැගෙන ආවා.
පිළිවෙළින් දාගැබේ සන්ධිය පිහිටි තැන කියන්නට නියෝග කළා. ඔවුන් හත් දෙනාමත් කියා
සිටියේ පියතුමා මෙන් තමන් ද තෙරුවන් සරණ ගිය උපාසකයන් බැවින් ආනන්තරීය පාපකර්මයක්
වැනි දාගැබක් බිඳවීමට අකැමැති බවයි. සිරිනාග දැඩි කෝපයට පත්ව හැම දෙනා ම උල තියන්න
තීරණය කළා.
මේ දුක්ඛිත අවස්ථාව දකින්න ගම් නියම් ගම්වලින් මිනිසුන් පිරෙන්න පටන් ගත්තා. එකම
වේලාවේ දී මේ අට දෙනාම උල තිබ්බා. දැන් ටිකින් ටික ඔවුන් උල් මත කිඳා බහින්න පටන්
ගත්තා. ලේ වැගිරෙන්න ගත්තා. කපුටු රංචු ඇවිත් ලේ බොන්න පටන් ගත්තා. මේ අතරේ එක පාරට
ම දිව්‍ය ආලෝක ධාරා පතුරවමින් දිව්‍ය රථ අටක් ඇවිත් මිනිසුන් බල බලා සිටිය දී ම අර
අට දෙනා ම දිව්‍ය රථවලට නංවා ගෙන දිව්‍ය ලෝකයට රැගෙන යන අසිරිමත් සිදුවීම හැමෝට ම
දර්ශනය වුණා. පැමිණි හැමෝම අත් විදහා දක්වමින් පුදුමයෙන් පුදුමයට පත් වුණා.
සඳුන් දරවල හෝ අගිල් ආදියේ හෝ සුවඳ නිලමැස්සෝ දන්නේ නෑ. නිලමැස්සෝ ඇලෙන්නේ ම,
බැඳෙන්නේ ම කුණුගොඩවල් වගේම මළ සිරුරුවල ම තමයි. සිරිනාගත්, ඔහුගේ පිරිවර ජනයාත් මේ
උතුම් මිනිසුන්ගේ අගයවත්, ඔවුන් පැවසූ ධර්මයවත් පිළිගත්තේ නෑ. ඒ ගැන තැකීමක්වත් කළේ
නෑ. ඒත් ඔවුන් කළ පින විපාක දුන්නා.
දෙවියන් ඔවුන්ට පිහිට වුණා. තව්තිසා දිව්‍ය භවනට අරගෙන ගියා. ඔවුන් පුණ්‍ය මහිමය
නිසා පහළ වුණු දිව්‍ය විමානවල සුව සේ වාසය කරමින් දිව්‍ය සම්පත් අනුභව කරන්න පටන්
ගත්තා. ධන ලෝභයෙන් හා රාජසම්පත්වලට ඇති දැඩි තණ්හාව නිසා සිරිනාගත්, පිරිවර ජනයාත්
එතැනින් පරාජයට පත්ව මහවැලි ගං ඉවුරේ ‘මීවිටි’ නම් ගමට ගොස් ඒ ගම මංකොල්ල කෑවා. ඒ
වගේ ම ‘මීවිටි’ නම් දාගැබක් ද බිඳ දමා වස්තුව පැහැර ගත්තා. ගමේ වස්තුව රැගෙන තව
තවත් සේනාව සංවිධානය කර ගෙන රජුට විරුද්ධ ව සටන් කරලා රජකමට පත් වුණා.
මෙහෙම රජ සම්පත් විඳිමින් ඉන්නකොට සිරිනාගට උදරාබාධයක් හට ගත්තා. රටේ ඒ වෙනකොට
හිටිය කීර්තිය පතළ වෛද්‍යවරුන් ගෙන්වා ගෙන ප්‍රතිකාර කළා. ඒත් සම්පූර්ණයෙන් සුව
කරන්න නම් බැරි වුණා. ඔහුට ඇප උපස්ථාන කළ අය කියන්න පටන් ගත්තා ‘මේ ලෙඩේ සනීප වෙනවා
‘මීවිටි’ දාගැබ ආපහු තිබුණ විදිහට ම ඉදි කළා නම් කියලා.“ සිරිනාග රජතුමා ඒ විදියට ම
දාගැබ ඉදි කළා. තිබුණාටත් වඩා ඒ ස්ථානයේ පහසුකම් හා සංවර්ධනය ඇති කළා. ඒත් රෝගයේ
නම් අඩුවක් සිදු වුණේ නෑ. රජතුමාට මේ වේදනාව දවසින් දවස ඉවස ගන්න ම බැරි වුණා.
කවුරුත්ම නැති වෙලාවක වේදනාව ඉවස ගන්න ම බැරිව සියතින් ම සැතක් රැගෙන බඩ කපාගෙන මිය
ගියා. පා උඩුකුරු වන විදිහට හිසින් පොළොව පලාගෙන ගිනි අඟුරුවලින් පිරුණු නිරයට
ගියා‘යි කථා පුවතක් පාලි රසවාහිනියේ සඳහන් වෙනවා.
යම් කෙනෙක් සධාතුක දාගැබ් බිඳිනවා නම්, හොරකම් කරනවා නම්, බුදු පිළිමවල අත් - පා-
හිස ආදිය බිඳ දමනවා නම්, ධර්ම පොත්පත් ආදිය ඉරා දමනවා නම්, පුච්චා දමනවා නම් - පහත්
යැයි ස්ථානවල තබනවා නම් එයින් පුද්ගලයාට රෝගාබාධ ඇතිවීම, අත්-පා බිඳීම්වලට ලක්වීම,
මරණින් මතු නරකයට යාම වැනි මහත් වූ විපත්වලට මුහුණ දීමට සිදු වෙනවා. මෙලොව වගේම
පරලොවත් විපාක විඳිනවා. ඒ නිසා පින්වතුනි, කිසිදු විටක පාපී ක්‍රියාවක් කරන්න එපා.
පුණ්‍ය කටයුතු ම සිදු කරන්න. තුනුරුවන් කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරන්න නිතර ම
වගබලා ගන්න. එය මරණ මොහොතේ දී හෝ විපාක දෙනවා. පරලොව දී සුව සේ විපාක විඳින්න
හැකියාව ලැබෙනවා. දෙලොව ම සුගතියෙන් සුගතියට ම පත් වෙනවා. |