Print this Article


ජීවමාන බුදුරදුන් දවස ඉදිකළ ගිරිහඬු සෑ රදුන් වහන්සේ

ජීවමාන බුදුරදුන් දවස ඉදිකළ ගිරිහඬු සෑ රදුන් වහන්සේ

ගිරිහඬු සෑය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ග්‍රාමයේ පිහිටි බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය පින්බිමකි. කඳු පන්තියකින් පහළ පිහිටි වෙහෙර බිම පසු කර පියගැට පෙළ දිගේ ඉහළට ගමන් කිරීමෙන් ගිරිහඬු සෑය දැක ගත හැකි වේ.

ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ලොව මුලින් ම ඉදිකළ චෛත්‍යය වන්නේ ය. අතීතයේ දී ගිරිහඬු සෑය ගිරිකන්ඩි නමින් ද හඳුන්වා ඇත.

මෙහි ඉතිහාස කතාව ඉතා අපූර්ව ය. විවිධ දේශයන්හි වෙළෙඳාමේ යමින් සිටි තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට, බුද්ධත්වයෙන් පනස්වැනි දිනයේ දී කිරිපලු වනයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු මේ දෙසොහොයුරෝ තමන් සතු ව තිබූ විලඳ මී පැණි පිළිගන්වන්නට භාග්‍යවන්තයෝ වූහ. ඔවුහු සම්බුද්ධ ශාසනයේ ප්‍රථම බෞද්ධ උපාසකයන් බවට පත්වන්නට වාසනාව ලැබූහ. ප්‍රථම දේවාචික උපාසකයින් ලෙස අද අප දන්නේ මේ පින්වන්ත උපාසකවරුන් දෙදෙනා ය.

තපස්සු භල්ලුක දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් අපට වැඳුම් - පිදුම් කිරීමට යමක් ලබාදෙන්නැ'යි ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ වෙළෙඳ දෙබෑයන් පිළිබඳ දිවැසින් බලා සම්බුදු සිරස පිරිමැද කේශ ධාතූන් වහන්සේ ඔවුන් දෙදෙනාට ලබා දුන්හ. එයින් සතුටට පත් මේ වෙළෙඳ දෙබෑයෝ කේශ ධාතුන් වහන්සේ රන් මංජුසාවක තැන්පත් කර ගත්හ.

තපස්සුක - භල්ලුක දෙදෙනා වෙළෙඳාම සඳහා දේශ දේශාන්තරයන්හි ගමන් කරන අතර, ඒ යන හැම තැනක ම බුදුරදුන්ගේ කේශ ධාතූන් වහන්සේ සහිත රන් මංජුසාව රැගෙන යෑම සිරිතක් ව පැවතුණි. තපස්සු භල්ලුක දෙබෑයන් පෙරදිග වෙළඳාමට යන අතරතුර ලංකාවට පැමිණෙන්නේ ය. ඔවුන් මෙරටට පැමිණෙන්නේ ත්‍රිකුණාමලය වරාය ඔස්සේ යැයි පැවසේ. එසේ පැමිණ ගිරි ඛණ්ඩ පර්වතයට පැමිණි මෙම වෙළෙද දෙබෑයන් කේශ ධාතූන් වහන්සේ සහිත මංජුසාව එහි සුරක්ෂිත ව තැන්පත් කර වෙළෙදාම සඳහා පිටත් ව ගොස් ඇත. වෙළෙදාම් කටයුතුවලින් පසු නැවත ගිරිඛණ්ඩ පර්වතයට පැමිණි වෙළෙද දෙබෑයන් කේශ ධාතූන් වහන්සේ නැවත රැගෙන යෑමට උත්සාහ කළ ද එම කේශ ධාතූන් වහන්සේ සහිත මංජුසාව පර්වතයට ඇලී සෙලවිය නො හැකි බව දැක විශ්මයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් ය. ඉන් අනතුරුව මංජුසාව වැසෙන සේ කුඩා චෛත්‍යයක් ඉදි කළ බවත් ක්‍රි.ව. 733 රජ කළ අග්‍රබෝධි සීලාමෙඝ රජ දවසේ ලියන ලද තිරියාය සෙල්ලිපියේ සඳහන් බව ද කියැවේ.

ගිරිහඬු සෑය වෙත ගමන් කිරීමට බිම් මට්මේ සිට කඳු හිසට යොමුවන ශෛලමය පඩිපෙළකි. මෙම ශෛලමය පියගැට පෙළ ද රජ සමයේ ම ඉදි කෙරුණකි. එහි දී අඩි විස්සක් පමණ දිගට ලියැවුණු සෙල් ලිපියකි. එය ලියා ඇත්තේ අග්‍රබෝධි සිලාමෙඝ නම් රජ සමයේ දී ය. එනම් තපස්සු - භල්ලුක විසින් ගිරිහඬු සෑය ඉදි කර වසර 1200ක් ගතවුණු පසුව ය.

මුළු නැඟෙනහිර පළාතේ ම පිහිටි උස් ම කඳුගැටය මත මේ සෑය ඉදිකර ඇත්තේ ය. මෙහි වැලි මළුවට පැමිණි විට ඉදිරියෙන් ඇත්තේ වටදාගෙය යි. සිලාමෙඝ රාජ සමයේ ඉදි කෙරුණු මේ ශෛලමය වටදාගෙය මධ්‍යයෙහි ගිරිහඬු සෑය ඉදිව තිබේ. සෑ රදුන් වටා සමාධි ඉරියව්වෙන් යුත් අලංකාර බුදුපිළිම වහන්සේ සිව්නමක් තැන්පත් කර තිබේ. ඉදිරිපිට මල් ආසන තබා ඇති අතර, සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු ඉපැරැණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියා පායි.

තිරියායේ ගිරිහඬු සෑය කෙමෙන් එළිපෙහෙළි වූ සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්වයට පත් කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ය. කාලාන්තරයක් මෙම ඓතිහාසික පුදබිම වනයෙන් වැසී තිබීමෙන් පසු මෙහි භාරකාර හිමිනම වූ ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධෛර්ය නිසා 1922 දී පමණ එළිපෙහෙළි විය. එලෙස ගිරිහඬු සෑය රැක බලාගත් උන්වහන්සේට 1985 දී කොටි සංවිධානයෙන් තර්ජන එල්ල වීම නිසා පුදබිම අත හැර යන්නට විය.