බලනු මැන...!
පිනෙහි අසිරිය
පින්වත් තෙරුන් වහන්ස, මේ දිව්‍ය විමානයේ බොහෝ සැප සම්පත් තිබෙනවා. ගොඩාක් ලස්සන
මල් වර්ග පිපෙනවා. බැලූ බැලූ අත සිතට පී‍්‍රතියමයි උපදින්නේ. මට මේ සියලු සැප
ලැබුණේ එදා සිදුකර ගත් ආලෝක පූජාව නිසයි
සැවැත්නුවර ප්‍රධාන නගරයට නුදුරින් වූ ගම්මානයක පටු මාවතක් අද්දර කුඩා නිවෙසක් විය.
එක් කාන්තාවක් නිවෙසේ කටයුතු කර දිය නා පිරිසුදු වී සුදුවන් සළුවක් දවටාගෙන,
සුවඳැති කොබෝලීල මල් කළඹක් ද, රත් හඳුන් කැබැල්ලක් උර ගා රත් හඳුන් කල්කය ද අතට ගෙන
නිවෙසින් පිටතට ආවේ සිතේ හටගත් නැවුම් ප්‍රබෝධයකින් යුතුව යි.
ඇය මෙසේ ගමේ සැදැහැවත් උවසු උවැසියන් සමඟ මේ ගමන් කරන්නේ භාග්‍යවත් මුනි රජුන්ගේ
අමා ධර්මය ශ්‍රවණය කරන්නට ජේතවනාරාම වෙහෙරට යි. ඒ කාලයේ අපගේ ශාස්තෘන් වහන්සේ දහම්
චාරිකාව සඳහා පිටත්ව ගොස් වෙහෙරේ නොමැති විට උපාසක උපාසිකාවන්ට සාරිපුත්ත,
මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේ වෙතින් ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙනවා.
ඇය ජේතවනාරාමයේ දොරටුව අසල වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේ වෙත පැමිණ ජීවමාන බුදු
සමිඳුන් වන්දනා කරන අදහස සිත් හි දරාගෙන ආනන්ද බෝ රජුන් ප්‍රදක්ෂිණා කළා. පසුව පසඟ
පිහිටුවා වන්දනා කළා. ඇය රැගෙන ගිය පිරිසුදු පැන් බඳුනට රත් සඳුන් කල්කය දිය කොට බෝ
සමිඳුන් පා මුල තබා සැදැහැ සිතින් පූජා කළා. බෝ සමිඳුන් වටා ඇති මණ්ඩපයේ කොබෝලීල
මල් ඇතිරුවා. බුදුගුණ සිහි කරමින් නැවත නැවත වන්දනා කළා.
ඉන්පසුව සැදැහැවත් පිරිස සමඟ ලෝකයට අතිශයින් ම කලාතුරකින් ඇසෙන අමා දහම්පද ශ්‍රවණය
කරන්නට සියලු දෙනා සමඟ ඇයත් සූදානම් වුණා.
ධර්මාසනයේ වැඩ සිට භික්ෂූන් වහන්සේ දම් දෙසුම ආරම්භ කළා. ඒ මධුර මනෝහර තථාගත ධර්මයට
සියලු දෙනා සවන් යොමු කළා. තම තම නැණ පමණින්, මෙනෙහි කරමින් ධර්මය ශ්‍රවණය කළා.
කිසිවෙක්ට ගෙවී යන කාලය පිළිබඳ ව වැටහීමක් තිබුණේ ම නැහැ. දහම් රසය විඳිමින් සිටි
ඇයගේ දෑස මොහොතකට අවට පරිසරයට යොමු වුණා. අවට පරිසරය අඳුර විසින් වෙළා ගනිමින්
තිබුණේ. තව නොබෝ වේලාවකින් දැඩි අන්ධකාරය හාත්පස වෙළීයන බව ස්ථිර යි. තවම ධර්ම
දේශනාව ආරම්භ වූවා පමණ යි.
“ස්වාමීන් වහන්සේ දහම් දෙසනවා! අනේ මේ දම්සභා මණ්ඩපයට අඳුරෙන් උපද්‍රවයක් නොවේවා! “
ඇය සිතුවා.
හදිසියේ ම සිතේ ඇති වූ සිතිවිල්ලක් මෙහෙය වූ ඇය කිසිවකුට හිරිහැරයක් නො වන්නට
දම්සභා මණ්ඩපයේ සිටි තැනින් නැඟිට්ටා. ජේතවනාරාමය දොරටුව වෙත ගියා. පුරුෂයෙක් අත
පණිවිඩයක් නිවෙසට යවා වහා ම පිරිසුදු පහන් තැටි, පන්දම් කීපයක් සහිත ව පහන් දල්වන
උපකරණ ද විහාරයට ගෙන්වා ගත්තා. මනාකොට සකසා පිළියෙල කර ගත් පහන් දැල් වූ ඇය
ධර්මාසනය ඉදිරියෙන් සහ ඒ අවට සුදුසු ස්ථානවල ඒවා තැන්පත් කළා. ඇය දැල්වූ පහන්වල
බබළන ආලෝකයෙන් දම්සභා මණ්ඩපය තුළ තිබූ අඳුර මැකී ගියා. හාත්පස ආලෝකය විහිදී ගියා.
පී‍්‍රතියෙන් පිරුණූ ඇගේ සිත පහන් ආලෝකය පරදා යන ආලෝකයකින් ආලෝකවත් වුණා. කටයුත්ත
නිම කළ ඇය සන්සුන් ව පසෙකින් හිඳ පහන් සිතින් ධර්මය ශ්‍රවණය කළා.
දිනෙන් දින කාලය ගෙවී ගියා. ගිහිගෙදර බොහෝ ලෙස ඇති දුක් පීඩා, කරදර, දුක්ඛ
දෝමනස්සයන් මැද වුව ද පින් කිරීමට ඇය මැලි වූයේ නැහැ. ඇයට ඉඩ ලැබෙන, ඉඩ තිබෙන හැම
වේලාවේ දී ම පුළුවන් උපරිමයෙන් පින් කළා. ධර්මය ශ්‍රවණය කළා. ශ්‍රවණය කළ දහම මෙනෙහි
කරමින් ජීවිතයේ ඇති අඩුපාඩු හදාගන්නටත්, ධර්මය තුළින් සිත හදා ගැනීමටත් ඇය තමන්ගේ
ජීවිතයේ මුල් තැන දුන්නා.
නිතර ම ඇය කර ගත් සියලු පින් අභිබවා ඇයට සිහි වන්නේ හදිසියේ වුව ද තමා කරගත්
ප්‍රදීපාලෝක පූජාව යි. ඇය නිතර එය මෙනෙහි කරමින් සිත සතුටු කර ගත්තා. ඒ පින නැවත
නැවත අනුමෝදන් වුණා. එදා තම සිතට යම් පී‍්‍රතියක් උපන්නා ද ඒ පින සිහි කර හැම
මොහොතක ම ඇයට එදා ලෙස ම සිතේ පී‍්‍රතියක් උපන්නා. එලෙස සිත සතුටින් සිටින මොහොතක ඇය
මෙලොව හැර ගියා.
මනුලොව මිනිසුන් කෙරෙහිත්, දෙව්ලොව දෙවියන් කෙරෙහිත් අප්‍රමාණ දයානුකම්පාවක් දැක්වූ
ඒ උත්තම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එදා දෙව්ලොව චාරිකාවේ වැඩියා. ඒ දෙව්ලොව
උපන් දෙවි දේවතාවන් පිළිබඳ ව විස්තර මිනිසුන්ට කියා දීමට යි. පිනෙහි අසිරියත්,
පවෙහි බරපතළකමත් උන්වහන්සේ කියා දුන්නේ අනුකම්පාවෙන් ම යි. පින කුසලය ගැන අප්‍රමාදී
වන ලෙස හැමට වදාළේ ඔවුන්ගේ සසර ගමන යහපත් කරන මෙත් සිත පෙරටුව යි.
දිනක් සමවත් සුවයෙන් වැඩහුන් අප මුගලන් මහ රහතන් වහන්සේ හැකිලූ අතක් දික්කරන
වේගයෙන් එතැනින් නික්මී තව්තිසා දෙව්ලොව පහළ වූවා. හාත්පස අනේකවිධ වූ දිව්‍ය විමාන
අතර වළාකුළු රහිත අහසේ දිලෙන සූර්යයා වන් දීප්තිමත් ව ආලෝක දහරාවක් විහිදුවමින්
බබළන මනෝරම්‍ය වූ දෙව් විමනක් දුටුවා. ඒ දෙව්විමන දොරටුව අසල මුගලන් මහරහතන් වහන්සේ
මනා සිහියෙන් යුතු ව, සංසිඳී ගිය සිතින් යුතු ව, ශාන්ත ඉඳුරන් සහිත ව වැඩ සිටියා.
මුගලන් මහරහතන් වහන්සේ දුටු දිව්‍ය විමානයේ ප්‍රධාන දෙව්දුව අනෙක් දිව්‍යාංගනා
පිරිසක් සමඟ තෙරුන් වහන්සේ වෙත පැමිණ අප්‍රමාණ සැදැහැ සිතින් යුතු ව දෑත නළලේ තබා
තෙරුන් වහන්සේගේ පා කමල වන්දනා කළා.
“පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබළෙමින් සිටින්නේ හැම දිශාවට ම බබුළුවන
ඕෂධී තාරකාව වගේ. ඇත්තට ම ඔබට මෙවැනි සුන්දර සිරුරක් ලැබුණේ කොහොම ද? සිතට සැප
උපදවන මේ සැප සම්පත් ලැබීමට ඔබ කරගත් පින මොනවගේ ද? ඔබගේ සිරුරෙන් විහිදෙන එළිය
හරිම ප්‍රභාෂ්වර යි. නිර්මල යි. සියලු අඟපසඟින් විහිදෙන එළියෙන් හැම දිශාව ම
බබළන්නේ මොන වගේ පිනකින් ද? මහානුභාව ඇති දෙව්දුව , මිනිස් ලෝකයේ දී ඔබ මොනවගේ
පිනක් ද කර ගත්තේ? ඔබගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාව ම බබළනවා.
“පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, මෙම පෙර ජීවිතයේ මිනිසත් ලොව මනුස්ස දුවක් ව ජීවත්
වුණේ. එදා දම්සභා මණ්ඩපයේ ශ්‍රමණ පුත්‍රයන් වහන්සේ නමක් දම් දෙසමින් වැඩ සිටියේ.
අවට පරිසරයේ අඳුරත් සමඟ දම්සභා මණ්ඩපය ක්‍රමයෙන් අඳුරු වුණා. ඒ වෙලාවේ පහන් ආලෝකයක්
අවශ්‍ය ම මොහොත යි. මම සිත සතුටින් ඒ පහන් ආලෝකය පූජාව සිදු කර පිනක් උපදවා ගත්තා.
මම අසා තිබුණා අන්ධකාරය පළවා හරින්නට අවශ්‍ය මොහොතක යමෙක් ආලෝකය පූජා කරනවා නම් ඒ
කෙනාට ‘ජෝතිරස’ කියන දිව්‍ය විමානයේ උපදින්න පුළුවන් කියලා. සිතට සතුට උපදවන ඒ පින
මම සිදු කර ගත්තා.
පින්වත් තෙරුන් වහන්ස, මේ දිව්‍ය විමානයේ බොහෝ සැප සම්පත් තිබෙනවා. ගොඩාක් ලස්සන
මල් වර්ග පිපෙනවා. බැලූ බැලූ අත සිතට පී‍්‍රතියමයි උපදින්නේ. මට මේ සියලු සැප
ලැබුණේ එදා සිදුකර ගත් ආලෝක පූජාව නිසයි.
ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකයේ දී මම කරගත් පින එය යි. ඒ පිනේ ආනුභාවයෙන් තමා මම
මෙලෙස බැබළෙමින් සිටින්නේ. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් සෑම දිශාව ම බබළන්නේ ඒ
ප්‍රදීප පූජාව නිසාම යි.
තමා විසින් පින සිහි කරමින් සිටිද්දී හටගත් පී‍්‍රතිය ගැන දිවැසින් දුටු අප තෙරුන්
වහන්සේ ඒ දෙව්දුවට චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය වදාළ අතර, දේශනාව අවසන දී ඇය
සෝතාපත්ති ඵලය සාක්ෂාත් කළා.
දීප විමාන වත්ථුව ඇසුරිණි
නයනා නිල්මිණී |