Print this Article


සත් සිත් සෙත් සදන අභිමානනීය පින්බිම දෙබත්ගම වියන්එළිය ශ්‍රී රතනජෝත්‍යාරාම පුරාණ විහාරය

සත් සිත් සෙත් සදන අභිමානනීය පින්බිම

දෙබත්ගම වියන්එළිය ශ්‍රී රතනජෝත්‍යාරාම පුරාණ විහාරය

සිරි සම්බුදු පහසින් අතිපාරිශුද්ධියට පත් මෙම කුඩා දිවයින මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමත් සමඟ ම දහම් දිවයින ලෙස ලොව පතළ වන්නට විය. මිහිඳු මාහිමියන්ගෙන් ඇරඹුණු ථෙරවාදි භික්ෂු පරපුර මහ ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍ර විය. බොදුනුවනට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ උන්වහන්සේ හා ගිහි ජනතාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් එකිනෙකා අතර බැඳී පවතියි.

හෙළ දිවයිනට වරින්වර එල්ල වූ පරසතුරු උවදුරු නිසා බුදු සසුනට එල්ල වූයේ මහත් තර්ජනයකි. විශේෂයෙන් මහනුවර යුගය වන විට සිංහල දැහැමි පාලකයන් නොමැති වීමත්, ඉංගී‍්‍රසි ආක්‍රමණය නිසාත් බුදුසසුන අන්තයට පිරිහිනි. මෙවන් තත්ත්වයන් තුළ වැලිවිට අසරණ සරණ සරණංකර සාමණේරයෝ සියම් දේශයට වැඩම කරවා එහි වැඩ සිටි ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබ දිවයිනට වැඩම කරවා ථෙරවාදී බුදුසසුන ස්ථාපිත කළහ. මෙයින් නැවතත් ලක්දිව ධර්මාලෝකයෙන් ඒකාලෝක විය.

වැලිවිට සරණංකර සංඝ රාජයන් වෙතින් පැවැදි බව ලැබ, ව්‍යවහාර වර්ෂ 1800 දී පමණ බුරුම රට අමරපුර නගරයට වැඩමවා එහි ථෙරවාදී භික්ෂූන් වහන්සේ වෙතින් මහණ උපසම්පදාව ලබා ගත් වැලිතර අඹගහපිටියේ ඥානවිමල ස්වාමීන්ද්‍රයාණෝ එහි භික්ෂූන් වහන්සේ වෙතින් “රාජගුරු” පදවියෙන් ද සම්මානිත ව 1802 දී පමණ ලක්දිවට වැඩමවා අමරපුර මහා නිකාය පිහිටුවා වදාළ සේක. මේ නිසා මුළු ලක්දිව පුරා ම බුදු සසුන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. කාලයාගේ ඇවෑමෙන් පසු අමරපුර නිකාය නොයෙක් හේතූන් නිසා විවිධ කොටස්වලට බෙදී ගියේ ය. අඹගහපිටියේ දී අරඹන ලද අමරපුර නිකාය පසුව නිකායික මූලස්ථානය කේන්ද්‍රිය කොට ගෙන අමරපුර මූලවංශ පාර්ශ්වය යනුවෙන් ව්‍යාප්ත වන්නට විය.

හෙළ ඉතිහාසයෙහි අද්වතීය ස්ථානයක් සබරගමු පළාත් කෑගලු දිස්ත්‍රික්කයේ සතර කෝරළයට හිමි වේ. සතර කෝරළයට අයත් ගල්බඩ කෝරළයෙහි පිහිටි “දෙබත්ගම” නමැති ග්‍රාමය උතුරින් හා දකුණින් දර්ශනීය කඳු පන්තියෙන් ද, නැඟෙනහිර හා බටහිර දක්වා සරුසාර කෙත් යායකින් ද යුත් අතීතයේ හෙළ රජ දරුවන්ට අවශ්‍ය ධාන්‍ය සැපයූ ශෝභාසම්පන්න ගම් පියසකි. මීට අවුරුදු 150කට පමණ පෙර අමරපුර නිකායික භික්ෂූන් වහන්සේ ගම් දනව් සැරිසරමින්, දහම් ආලෝකය බෙදා දෙමින් වඩින විට දෙබත්ගම ග්‍රාමය ද උන්වහන්සේගේ නෙතට ලක්විය.

සියවස් එක හමාරකට පමණ පෙර වඳුරාගල ඉන්දජෝති නම් මහ තෙරනමක් දෙබත්ගම ගම් පියසෙහි කුඩා සංඝාවාසයක් ඉදිකරවා ගෙන වැඩ විසූහ. මෙම තෙරුන් වහන්සේගෙන් පැවිදි බව ලැබූ දෙබත්ගම රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු දෙබත්ගම පුරාණ විහාරයෙහි ආධිපත්‍යයට පත්වූහ.

උන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා විහාරස්ථානය දියුණු කරන්නට වූයෙන් කුඩා විහාර මන්දිරයක්, සංඝාවාසයක් හා ධර්මශාලාවක් ඉදිකළහ. ව්‍යක්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ රතනජෝති නාහිමියන් මේ ප්‍රදේශයට ඉටු කරන ලද සේවය අති මහත් ය. රතනජෝති නායක හිමියන්ගේ ශාසනික සේවය පැතිර යත් ම උන්වහන්සේ වෙතින් පැවිදි බව ලබා ගන්නට කුල කුමරුවෝ ඇදී ආහ. ඒ අතර උකුවෙල කුමාරසීහ මාහිමියන් හා අප කථානායක මාහිමියනුත් ප්‍රමුඛස්ථානයක් ගනිති. කුමාරසීහ මාහිමියන් හදිසියේ අපවත් වීම හා 1953 දී රතනජෝති නායක හිමියන්ගේ අපවත්වීම නිසා අප දෙබත්ගම සෝමරතන තිස්ස නාහිමියෝ දෙබත්ගම පුරාණ විහාරයෙහි ආධිපත්‍යයට පත් වූහ.

උසස් අධ්‍යාපනය හදාරන අවධියේ දී ස්වකීය විහාරස්ථානය පිළිබඳ ව නිතර සොයා බැලීමට නොහැකි නිසා විහාරාරාංග බොහෝ සේ දුර්වල තත්ත්වයක පවතින අයුරු දැක උසස් අධ්‍යාපනය හමාර කරමින් ස්වකීය විහාරස්ථානයට වැඩම කර විහාරස්ථානය යළි නඟාසිටුවීමට උන්වහන්සේ කටයුතු කළහ. විහාරස්ථ ශාසනාරක්ෂක සමිතිය, තරුණ බෞද්ධ සමිතිය හා එක්ව විහාරස්ථානයෙහි නවකම් කිරීම ආරම්භ කළහ.

විහාරස්ථානයට එක්වූ නවකම් අතර චෛත්‍ය කර්මාන්තය වැදගත් තැනක් ගනියි.

ආරම්භයේ දී ඉතා කුඩා විහාර මන්දිරයක් පැවති අතර, එම විහාර මන්දිරය වර්තමානයේ පවතින අයුරින් ප්‍රතිසංස්කරණය කර අලංකාරවත් කිරීමට දෙබත්ගම සෝමරතන නාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ. පෙහෙවස් සමාදන් වන උවසු උවසියන්ට ප්‍රමාණවත් ධර්මශාලාවක් නොතිබීම මහත් අඩුපාඩුවක් ව පැවතිණි. තෙමහල් ධර්ම මන්දිරයක් ඉදිකරවීම එම අඩුපාඩුව මඟ හැරවීමට හේතු වූ අතර, දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට ද එය මහත් රුකුලක් විය.

සංඝසෝභන ගුණයෙන් හා නායකත්ව ලක්ෂණයෙන් පිරිපුන් අප නා හිමියන් ස්වකීය ගුරු දේවයන් කෙරේ ඇත්තේ අචල ගුරු භක්තියකි. කලක් ‘වියන්එළිය පුරාණ විහාරය’ නමින් හැඳින් වූ මෙම විහාරස්ථානය පසු කලක දී ‘රතනජෝත්‍යාරාමය යනුවෙන් නම් කිරීමට ද, ධර්ම විද්‍යාලය “ශ්‍රී රතනජෝති ධර්ම විද්‍යාලය” නමින් හැඳින්වීම ද “පූජාච පූජනීයානං” යන බුදු වදන අපට සිහි ගන්වන්නකි.