Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 22 කොටස: නොසන්සුන්කාරී බව ස්වභාවයෙන්ම අස්ථිරයි නොකඩවා භාවනාවේ යෙදෙන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 22 කොටස

නොසන්සුන්කාරී බව ස්වභාවයෙන්ම අස්ථිරයි නොකඩවා භාවනාවේ යෙදෙන්න

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

අකුසල විතර්කයන් පටන්ගත් තැන සිට නුවණින් මෙනෙහි කරද්දිත් පාපි අකුසල විතර්ක ඇතිවුණොත්, ඒවා එක්කො රාගයෙන් හැදිච්ච දේ. එක්කෝ ද්වේෂයෙන් හැදිච්ච දේ, එක්කෝ මුළාව නිසා හැදිච්ච දේ, එතකොට ඒ භික්ෂුව දත්මිටි කා ගෙන, දිව තල්ලට තද කර ගෙන කුසල් සිතින්, ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කළ යුතුයි. තදින් මැඬලිය යුතුයි. හොඳට වෙහෙසවිය යුතුයි. එහෙම කරන කොට ඒ කියන්නේ ඒ භික්ෂුව දත් මිටි කා ගෙන, දිව තල්ලට තද කර ගෙන, කුසල් සිතින් ඒ අකුසල් සිතට හොඳ හැටියට නිග්‍රහ කරන කොට, තදින් මැඬලන කොට, හොඳට වෙහෙසවන කොට රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මෝහ සහිත වූ, පාපී අකුසල නැති වෙලා යනවා. අභාවයට පත්වෙනවා. පාපි අකුසල විතර්ක නැති වෙලා යනවා. අභාවයට පත් වෙනවා. ඒ අකුසල විතර්ක නැති වීමෙන් තමන් තුළ ම සිත පිහිටනවා. තැන්පත් වෙනවා. එකඟ වෙනවා. සමාධිගත වෙනවා.

මනෝභාවයන් නිරීක්ෂණය කරන්න

උදාසීන බව දෙස එළැඹි සිහියෙන් බලන්න. උදාසීන බව යනු කුමක් ද? එය ඔබට දැනෙන්නේ කෙසේ ද? එහි මානසික සංඝටක මොනවා ද? එයට භෞතික දැනීමක් තිබේ ද? එය ඔබගේ සිතිවිලි ක්‍රියාවලියට කුමක් කරයි ද? එම තත්ත්වය නවක අත්දැකීමක් ලෙස සලකා උනන්දුවෙන් ඒ දෙස බලන්න.

සමහර අවස්ථාවල දී, වටහා ගත නොහැකි ලෙස භාවනාවේ දී බියකරු හැඟීමක් ඇතිවිය හැක. මෙය සුලභ සිද්ධියක් වන අතර, විවිධ කාරණා මෙයට හේතු කාරක වීමට ඉඩ ඇත. දීර්ඝ කාලයක් මුළුල්ලේ යටපත් වී තිබූ යම් කරුණක් ඔබ අත්දකිනවා විය හැකියි.

සිතිවිලි පළමුව හටන්නේ අපගේ අවිඥානයේ බව මතක තබා ගනිමු. සිතිවිලි සමුදායක චිත්තවේග එය සිතිවිල්ලක් ලෙස ප්‍රකාශ වීමට පෙර ඔබගේ විඥානයට සෙමෙන් ගලා එනු ඇත. ඔබ එම බය පහව යන තෙක් ම එයට මුහුණ දුන් විට, එහි මතකය දරාගත හැකි මට්ටමකට ළඟා වෙයි.

දෙවන හේතුවක් විය හැක්කේ, අප සියලු දෙනා ම පාහේ බියක් දක්වන “නොදත් දේ පිළිබඳ බිය” සමඟ ඔබ ඍජු ව ගනුදෙනු කිරීම විය හැකි ය. ඔබගේ භාවනා ජීවිතයේ දී යම්කිසි අවස්ථාවක දී ඔබ සැබැවින් ම නිරත ව සිටින කාර්යයේ බැරෑරුම්ක ම ඔබට දැනෙනු ඇත. තමාට ම ජීවිතය පිළිබඳ විස්තර කිරීම සහ තමා යථාර්ථයේ ගැඹුරෙන් වසා තැබීමට යොදාගත් මායාවේ බිත්ති ඔබ ඉරා දමමින් සිටියි. පරම සත්‍යයට මුහුණට මුහුණලා හමුවීමට ඔබ සමීප වෙමින් ඇත. එය බියකරු ය. නමුත් එය සමඟ කුමන මොහොතක හෝ ඔබ ගනුදෙනු කළ යුතුයි. උත්සාහවන්ත ව ඒ පිළිබඳ ගැඹුරෙන් විමසා බලන්න.

තුන්වනුව, එය තමා විසින් ම ඇති කර ගත් බියක් වීමට ද ඉඩ කඩ ඇත. නිවැරැදි නොවන සිත එකඟ කිරීමකින් එය මතුවනවා විය හැක. සමහරවිට “මතුවන දේ විභාග කිරීම” සඳහා ඔබ අවිඥානික ව (යටිසිතේ) වැඩපිළිවෙලක් සකස් කර ගන්නට ඇත. බියජනක මනඞකල්පිතයක් මතුවන විට සිතේ එකඟ බව එයට ආධාරක වී එම අවධානයේ ශක්තියෙන් මනඞකල්පිතය වර්ධනය වේ. මෙහිදී පවතින සැබෑ ගැටලුව එළැඹි සිහිය මඳ බවයි. ශක්තිමත් අවදිමත් බවක් තිබුණා නම් අවධානය අන් අතකට යන මොහොතේ දී ම එය දැකගෙන, සාමාන්‍ය ආකාරයෙන් එය නිවැරදි කරනවා ඇත. කවර ආකාරයේ බියකට වුව ද පිළියම අවදිමත් බවයි. බිය පවතින ආකාරයෙන් ම එය නිරීක්ෂණය කරන්න. එය ඔබට ඇති කරන්නේ කවර හැඟීමක් ද? එය සිරුරට කරන බලපෑම දකින්න. බියජනක සිහිනයක ඔබ හසුවී සිටිනා බව දැනගත් විට එවැනි දේ නිරීක්ෂණය කරන්න. රූප, රූප අයුරින් ම සහ මතකයන්, මතකයන් ලෙස ම දකින්න. පැමිණෙන චිත්තාවේගාත්මක ප්‍රතික්‍රියා දෙස බලා ඒවා ඇති සැටියෙන් දැක ගන්න. එම ක්‍රියාවලියට හසු නොවී, ඔබ පසෙකට වී සිටින්න. උනන්දුවෙන් බලා සිටින්නකු සේ මුළු ක්‍රියාවලිය ම සලකන්න. විශේෂයෙන් එම තත්ත්වය සමඟ සටන් නොවදින්න. මතකයන්, හැඟීම් හෝ මනඞකල්පිතයන් හෝ යටපත් නොකරන්න. ඒවාට මතුවී, ඔබ පසුකර යෑමට ඉඩ සලසමින් ඔබ පාරෙන් ඉවත්වන්න. එයට ඔබ ව රිදවිය නොහැක. එය හුදෙක් ම මතකයක් පමණකි. එය සිතින් මවා ගත්තකි. ඒ බිය මිස අන් කිසිවක් නොවේ. විඥානික මතකයේ (උඩු සිතේ) සැරිසරන්නට බියට ඉඩ හැරිය විට, එය නැවත යටිසිතෙහි නොගිලෙනු ඇත. පසුව එය පැමිණ හොල්මන් නොකරනු ඇත. එය සදහට ම ඉවත් ව යනු ඇත.

නොසන්සුන් බව

බොහෝවිට, චංචල බව ඔබගේ යටි සිතේ සිදුවෙමින් පවතින ගැඹුරු අත්දැකීමක් සැඟවීමකි. මනුෂ්‍යයන් වන අපි දේවල් යටපත් කිරීමෙහි දක්ෂයෝ වෙමු. අමිහිරි සිතිවිලිවලට මුහුණ දෙනවා වෙනුවට අපි ඒවා වළලා දැමීමට උත්සාහ කරමු. මෙහිදී ප්‍රශ්නය සමඟ ගනුදෙනු කිරීමට අපට සිදු නොවේ. අවාසනාවකට එය මුළුමනින් ම සාර්ථක ක්‍රමයක් නොවේ. අප සිතිවිල්ල සඟවන නමුදු, එය සැඟවීම සඳහා යොදවන මානසික ශක්තිය ඒ මත සිට බුබුළු දමමින් පැසවයි. එහි ප්‍රතිඵලය චංචල බව ලෙස හෝ කලබලකාරී බව ලෙස හෝ හඳුන්වන අපහසු ගතියයි. එයට නිශ්චිත හේතුවක් අපට දැක්විය නොහැක. නමුත් ඔබ සිටින්නේ අපහසුවෙනි. ඔබ නොසන්සුන් ය. භාවනාවේ දී ඇතිවන මෙම තත්ත්වය දෙස හොඳීන් බලන්න. ඔබ ව පාලනය කිරීමට එයට ඉඩ නොදෙන්න. පැනලා නොදුවන්න. එයට පවතින්නට ඉඩ හැර, සමීප වී එය දෙස බලන්න. එවිට යටපත් වූ කාරණය ක්‍රමයෙන් මතු වී ඔබගේ සිතට පීඩා කළේ කුමක්ද කියා ඔබ දැන ගනියි.

ඔබ මඟහැරීමට උත්සාහ දරන අමිහිරි අත්දැකීම් කුමක් හෝ විය හැකි ය. වරදකාරී හැඟීම්, කෑදරකම හෝ වෙනත් ඕනෑම දෙයක් විය හැකි ය. එය සුළු වේදනාවක් හෝ සියුම් රෝගී තත්ත්වයක් හෝ ඔබ කරා පැමිණෙමින් පවතින ව්‍යාධියක් හෝ වීමට ද ඉඩ තිබේ. එය කුමක් වුව ද එයට එන්නට ඉඩ හැර, සිහියෙන් එදෙස බලන්න. නිසල ව වාඩි වී, ඔබගේ නොසන්සුන්තාව දෙස බලා සිටින විට, එය ඉබේ ම නැතිවී යයි. චංචල භාවය නොතකා, නොකඩවා භාවනාවේ යෙදී සිටීම ඔබගේ භාවනා දිවියේ සුළු දියුණුවක් ලැබීමකි. එය ඔබට බොහෝ දේ උගන්වයි. නොසන්සුන්කාරී බව සිතෙහි මතුපිටින් දුවන මානසික තත්ත්වයක් බව ඔබට පෙනෙයි. එය ස්වභාවයෙන් ම අස්ථිර ය. ඔබ වෙත පැමිණෙන එය ඔබගෙන් ඉවත් ව යයි. එය කෙසේවත් ඔබ ග්‍රහණය කර නොගනී.

මීළඟ කොටස මැදින් පුර පසළොස්වක පෝදා කලාපයේ