Print this Article


පීඩාව දැන - දැකත් එහිම ගිලීමේ විපාකය බරපතළයි

පීඩාව දැන - දැකත් එහිම ගිලීමේ විපාකය බරපතළයි

ගත යුතු මඟ, හළ යුතු මඟ පැහැදිලි ව නිවැරැදි ව හඳුනාගත යුතුයි. ගතයුතු මඟ, එයින් ලැබෙන යහපත් ප්‍රතිඵල හා හළ යුතු මඟ, එයින් ලැබෙන, සැලසෙන අයහපත හඳුනාගෙන කටයුතු කිරීම සතුටට සැපයට හේතු වන බව බුද්ධානුශාසනය යි.

මිථ්‍යා සංකල්පනාවක් ඔස්සේ කටයුතු කිරීම විපතට, පසුතැවිල්ලට හේතුවන බවත්, සම්‍යක් සංකල්පනාවන්ට බැසගෙන ක්‍රියාකිරීම යහපත දැකීමට හේතුවන බවත් බුදු දහමේ ඉගැන්වෙ යි.

“අසාරෙ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා”

නිසරු දෙය, සරු වශයෙන් ගෙන වැලඳ ගැනීමත්, සරු දෙය, නිසරු - අසාර වශයෙන් ගෙන බැහැර කිරීමත් පරිහානියට හේතු වේ. එබඳු වැරදි - මිථ්‍යා සංකල්පනාවන්ගෙන් යුක්ත වූවන් සරු දෙයක්, දහමක්, යහපතක් නොලබන බව, නො දකින බව මෙයින් කියැවේ.

සාරංච සාරතො ඤත්වා
අසාරංච අසාරතො
තෙ සාරං අධිගච්ඡන්ති
සම්මා සංකප්ප ගෝචරා

සරු දේ සරු ලෙස ම දැන, නිසරු අසාර දේ නිසරු - අසාර වශයෙන් ම දැන, නිවැරැදි ව වටහාගෙන, අවබෝධ කොටගෙන කටයුතු කරන සම්‍යක් සංකල්පනාවන්ගෙන් යුතු පුද්ගලයා සරු දෙයක්, යහපත් දහමක් ලබන බව, දකින බව, අවබෝධ කොට ක්‍රියා කරන බව සැපතට පත්වන බව, බුද්ධ දේශනාවයි.

මිථ්‍යා සංකල්පනාවන්හි පැටලී අවිද්‍යාන්ධකාරයෙහි ගිලී කටයුතු කරන මනුෂ්‍ය සමාජයට යහපත උදාකරන මාර්ගය පැහැදිලි කරන මෙම දේශනාව බුදුරදුන් වදාළේ අද වැනි පෝය දිනයක අගසව් තනතුරු ලැබූ සාරිපුත්ත - මොග්ගල්ලාන උතුමන් අරමුණු කර ගෙන ය. සංජය පරිබ්‍රාජකයාගේ අතවැසියන්, අනුගාමිකයන් බවට පත්ව සිටි කෝලිත, උපතිස්ස පරිබ්‍රාජක දෙදෙනා තමන් වැලඳ සිටි දෘෂ්ටියේ නිස්සාරත්වය දැන ගත්තේ අස්සජි මහරහතන් වහන්සේගේ දේශනාවෙනි.

හේතුඵල දහම සම්බන්ධයෙන් වූ එම දේශනාව ශ්‍රවණයත් සමඟ ම මෙතෙක් දරා සිටි දෘෂ්ටීන්ගෙන් නිදහස් ව සත්‍යාවබෝධයට මඟ හෙළි වූ බැවින්, දෙදෙනා වහන්සේ ම බුදුරදුන් වෙත පැමිණි බව පෙනේ.

නූතන ශ්‍රී ලාංකේය සමාජය ද මිථ්‍යා සංකල්පනාවන් හි පැටලී, සරු දෙය - නිසරු දෙස වටහා ගත නො හැකි ව ක්‍රියා කරනු පෙනේ. ප්‍රාණඝාතය, හොරකම, කාම මිථ්‍යාචාරය, බොරුව, (වංචාව) කේලම නිරර්ථක බස් දෙඩීම, සිත් බිඳෙන නපුරු බස් දෙඩීම, අසීමිත ආශාව, ද්වේෂය, වැරැදි දැක්ම (මිථ්‍යාදෘෂ්ටිය) යන මනුෂ්‍ය සන්තානය දූෂණය වන, සමාජයට අහිතකර වූ ක්‍රියාවන්ගෙන් වැළකීම, සමාජයටත්, පුද්ගලයාටත්, යහපත, සැනසීම උදාකරන ක්‍රියාවලිය බව වටහා ගැනීමට මෙතෙක් මේ සමාජය සමත් වී නැති බව පෙනේ. මිථ්‍යා සංකල්පනාවන්හි ගැලී, ආත්මාර්ථකාමී ව විනාශය, පරිහානිය කරා ම ගමන් කරන්නේ එබැවිනි. තාවකාලික ව ලැබෙන ලෞකික සම්පත්තීන්ගෙන් මුසපත් වූ, ආධ්‍යාත්ම ශක්තියක් නැති නූතන සමාජයේ බහුතරය විපත හඳුනාගත නොහැකි ව, විපත සැපතක් සේ ගනිමින් සිටී.

මිනිසුන්ට ගැළවීමේ, යහපත දැකීමේ, සරු දෙය ශාක්ෂාත් කිරීමේ වුවමනාවක් නැත. දුක් පීඩාව දැන දැන ම එහි ම සිරවී සිටී. මෙය මෝහය බලවත් ලෙස යෙදීම ලෙස අර්ථ ගැන්විය හැකි වුවත් බුදුරදුන්ගේ විවරණය දැක්වීම මැනවැයි සිතේ.

වරක් බුදුරදුන් භික්ෂූන් අමතා මෙසේ වදාරා ඇත. මහණෙනි ඔබ ද මම ද මෙතෙක් මේ දුක් සහිත සසරෙහි දීර්ඝ කාලයක් සැරි සරන්නේ, සැරි සරමින් ආවේ, සතර ධර්මයක් නොවැඩූ නිසාවෙනි. ඒ ඡන්ද, චිත්ත, වීරිය, විමංස යන සතර සෘද්ධිපාද ධර්මයෝ ය.

ඡන්ද යනු කැමැත්ත ය. ගැලවීමට, නිදහස්වීමට ඇති කැමැත්තයි. දුකින් නිදහස් වීමට කැමැත්තක් තිබිය යුතු ය.

දෙවැන්න ඒ සඳහා වූ අධිෂ්ඨානය යි. තුන්වැන්න ඒ වෙනුවෙන් දරන ව්‍යායාමය යි. වීර්යය යි. සිව්වැන්න විමංසා නුවණ යි. ප්‍රඥාවයි. මේ දියුණුවට, සාර්ථකත්වයට හේතුවන ධර්මයන් අනුගමනයෙන් යහපත දැකිය හැකි බවට පැහැදිලි ය.

මාර්ගය, දේශනාව, ඉගැන්වීම, ආදර්ශය, ක්‍රියා මාර්ග සාවද්‍ය නම්, වැරැදි ප්‍රතිඵල ගෙන දෙන්නේ නම්, අපේක්ෂිත විමුක්තිය නොසැලසෙන්නේ නම්, ගුරුවරයා වුව ද අත් හළ යුතු බවත්, යහපත සලසන නිවැරැදි මඟ ගැනීමට පසුබට නොවිය යුතු බවත් මෙහි දැක්වෙන තවත් උපදේශයෙකි.

විශාල ශ්‍රාවක පිරිසකට නායකත්වය දුන් සංජය පරිබ්‍රාජකතුමා අත් හැර යාම, කෝලිත - උපතිස්ස තරුණ පරිබ්‍රාජක දෙදෙනාට දුෂ්කර වුවත්, සත්‍යය, විමුක්තිය, නිවැරැදි දෙය වෙනුවෙන් ඕනෑම දෙයක් අත් හැරීමට සම්‍යක් සංකල්පනාවෙන් යුතු නුවණැත්තාට හැකි විය යුතු බව මෙහිදී තහවුරු වී ඇති බව ද පෙනේ.

සාර ධර්ම සහ අසාර ධර්ම මෙහි දී නිවැරැදි ලෙස පැහැදිලි කර ගත යුතු වේ. දහමෙහි එය විස්තර වන්නේ, තමාට යහපත පිණිස, අනුන්ට යහපත පිණිස, දෙ පිරිසට ම යහපත පිණිස හේතුවන දෙය සාරධර්ම ලෙස ය. තමන්ටත්, අනුන්ටත්, දෙපිරිසටමත් අයහපත පිණිස හේතුවන දෙය අසාර ධර්ම ලෙස ය. නූතන භාවිත සමාජය මේ සංකල්ප පටලවා ගෙන ඇති බව ඉතා පැහැදිලි ය. නිසරු දේ සරු ලෙස සිතන, සරු දේ නිසරු ලෙස දකින සමාජයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

ළිප ගිනි මොළවන තෙක් කකුළුවා සැළියේ දිය කෙළින්නාක් මෙන්, අන්ධ බාල, පෘථග්ජන මනසින් සිටින්නා වූ, තමා තාවකාලික ව සතුටු කරන්නා වූ, ආත්ම ලාභය ම පරම සැපත ලෙස සිතන්නා වූ මේ සමාජයට ගැළවීමක් ලැබිය නොහැකි ය. අන්ධකාරයෙන් මිදී, ආලෝකය ලැබීමට නම් එම මිථ්‍යාවෙන් මිදිය යුතු ය. සරු නිසරු දේ තත්ත්වාකාරයෙන් වටහා ගත යුතු ය. පරිහානී ධර්ම හා අභිවෘද්ධි දායක ධර්ම පැහැදිලි ව දත යුතු ය.

තම සිතිවිලි සන්තර්පනය වන දේ ම යහපත්, හොඳයි වශයෙන් සලකන නූතන සමාජය කෙලෙසුන්ගෙන් ආතුර ව ඇති සැටි පෙනේ. එයින් මිදී, නිදහස් විය හැක්කේ යථාර්ථ වශයෙන් සරු නිසරු දේ වෙන් කර දැන ගැනීමේ සම්‍යක් සංකල්පනාවෙන් යුතු අයට පමණි. ඒ සඳහා මේ සමාජයට මඟ පෙන්වීම දැනුවතුන්ගේ, විශේෂයෙන් භික්ෂූන් වහන්සේගේ යුතුකම ය. වගකීම ය.

අග්‍රශ්‍රාවක දෙනම වෙනුවෙන් කළ මෙම දේශනාවට අනුව අප කළ යුතු නිසරු දේ, නිසරු දේ හැටියට ම දැන, දැක බැහැර කොට, සම්‍යක් සංකල්පනා දියුණු කොට යහපත ළඟා කර ගැනීමට උත්සාහ වීම ය.