Print this Article


සියලු දුකෙන් එතෙරවීමේ අසිරිමත් මඟට පිවිසෙමු

සියලු දුකෙන් එතෙරවීමේ අසිරිමත් මඟට පිවිසෙමු

සියලු සත්ත්වයා පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍ය දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්‍ෂණ අතුරින් දෙ වැන්න වන්නේ දුක්ඛතාව හෙවත් දුකයි.

භයට්ඨේන දුක්ඛං යනුවෙන් සිදු කෙරෙන විග්‍රහයට අනුව සත්ත්වයා සහ ලෝකය වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වන නිසා බිය වන්නේ ය යන අරුතින් දුක නම් වේ යැයි කියනු ලැබේ.

දුක්ඛ යන පදයේ විරුද්ධ පදය සුඛ යන්න යි. නමුත් දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ යන්නෙන් පැවසෙන පරිදි ලෝකය දුකෙහි පිහිටා ඇත යන්නෙන් දාර්ශනික අර්ථයක් ප්‍රකාශ වෙයි. ජීවිතය හා ලෝකය ගැන බුදුහිමියන්ගේ අදහස පළ කෙරෙන චතුරාර්ය සත්‍යයන් අතුරින් පළමු වන දුක්ඛ ආර්ය සත්‍යය තුළ දුක්ඛ යන පදයෙන් අපරිපූර්ණතාව, අනිත්‍යතාව, තුච්ඡතාව, අසාරතාව, හිස් බව යනාදි ගැඹුරු අරුත් ද ගෙන දෙයි.

අනන්ත ලක්ඛණ හෙවත් අනාත්ම ලක්‍ෂණ සූත්‍රයේ දී බුදුහිමියන් දේශනා කර ඇත්තේ යමක් අනිත්‍ය නම් එය දුක් සහිත බව ය. සංයුක්ත නිකායේ 5 (1) 128 පිටුවේ ඇතුළත් දුක්ඛතා සූත්‍රයට අනුව දුක තෙ වැදෑරුම් බව මෙසේ දක්වා ඇත.

දුක්ඛ ස්වභාවයන් තුනකි. එනම්, සග දුක්ඛ දුක්ඛතා, සසග සංඛාර දුක්ඛතා සසසග විපරිණාම දුක්ඛතා යනු යි. මෙය ම සංයුක්ත නිකායේ 4 හි 484 පිටුවේ දුක්ඛ සූත්‍රයේ ද දේශනා කර තිබේ. එහි දී සැරියුත් හිමියන් බුදුහිමියන්ගෙන් විමසා සිටින වැදගත් කරුණ වන්නේ මේ දුක්ඛ ස්වභාවය මුළුමනින් ම අවබෝධ කර ගැනීමට මඟක් තිබේ ද කියා යි. එවිට බුදුරදුන් දේශනා කර ඇත්තේ දුක්ඛතාව මුළුමනින් වටහා ගැනීමට මඟක්, පිළිවෙතක් ඇති බවත්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් ය. බුදුහිමියන් ඉහත දැක්වූ සූත්‍ර දෙකින් ම දක්වා ඇති පරිදි දුක්ඛ ස්වභාවයේ පළමු ප්‍රභේදය දුක්ඛ දුක්ඛතාව යි. මේ කොටසට ගැනෙන්නේ ඕනෑ ම කෙනකුගේ සිතට සහ කයට දැනෙන දුකයි.

කෙනකුගේ ආදරණීයයා, ඉතා සමීපතම මව, පියා, සැමියා, බිරිය හෝ වෙනත් එවන් අයකු මිය ගිය විට හිතට ඇති වන වේදනාකාරී දුකත්, අපේක්‍ෂා නොකළ මොහොතක ඇති වන දත් කැක්කුම, හිස කැක්කුම ආදී වේදනාත් කවුරුන් හෝ තියුණු ආයුධයකින් පහර දෙන විට අපගේ ශරීරයට එම වේදනාව දරා ගත නොහැකි වීමත් නිසා දැනෙන දුකත් දුක්ඛ දුක්ඛතාව ලෙස දැක්විය හැකි ය.

ඇතිවීම හා නැතිවීම යන දෙකින් පීඩාවට පත් වීම සංඛාර දුක්ඛතා නම් වේ. වරින් වර, කලින් කල විවිධ හේතු නිසා ඇති වන දුක විපරිණාම දුක්ඛතා නම් වේ. සිත කය දෙකේ හට ගන්නා සුවය සතුට නැති වී යාම නිසා එම දුක ඇති වෙයි.

මේ ආකාරයට භවාග්‍රයේ පටන් අවීචි මහා නරකය තෙක් පවතින ලෝකවල වාසය කරන ලොකු කුඩා සියලු සත්ත්වයන්ගේ ස්කන්ධයන් පෙළන අර්ථයෙන් ද, නැවත නැවත උපදවන අර්ථයෙන් ද, සන්තාප හෙවත් තැවෙන හා තවන අර්ථයෙන් ද වෙනස්කම්වලට හෙවත් විපරිණාමයට ලක් වන අර්ථයෙන් ද යන සිව්වැදෑරුම් දුක්ඛ ස්වභාවයෙන් යුක්ත වන නිසා, ජීවිතය දුක් ගොඩක් බව බුද්ධ දේශනාවේ දැක්වෙන්නේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ යනුවෙනි.

නමුත් ලෝකයේ සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ අදුක්ඛමසුඛ වේදනා (සැපදුක් දෙක ම ඇති) යනුවෙන් ආකාර 3ක් ඉගැන්වේ. ඒ අතුරින් සැප වේදනා වෙනස් වීමෙන් දුක් වේදනා බවට පත් වෙයි. මධ්‍යස්ථ වේදනා හෙවත් අදුක්ඛමසුඛ වේදනා වෙනස් වී දුක් වේදනා බවටත් පත් වෙයි. එමගින් පැහැදිලි වන්නේ ලෝකයේ ඇත්තේ දුක් වේදනා පමණක් ම යැයි බුදුදහම නො පිළිගන්නා බවයි. ඊට හේතුව බුදුසමයේ සුඛ වේදනා සහ මධ්‍යස්ථ වේදනා ඇති බවට පිළිගැනීම යි.

ලොව සැප හා ආස්වාදයක් ඇති බව අංගුත්තර නිකාය 1 හි 462 පිටුවේ බුදුහිමියන්ගේ දේශනාව වන අස්සාද සූත්‍රයේ මෙසේ දැක්වේ.

මහණෙනි, යම් හෙයකින් ලෝකයේ ආස්වාදයක් නැත්නම් සත්ත්වයෝ ලෝකයේ නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් ලෝකයේ ආස්වාදයක් ඇද්ද, එහෙයින් ලෝකයෙහි සත්ත්වයෝ ඇලෙති යනුයි.

අනිත්‍යතාවෙන් ලොව වසන සියලු සත්ත්වයා සහ සියල්ල වෙනස් වන බව කියැවේ. ඒ අනුව හැම සුඛ වේදනාවක් ම, හැම දුක්ඛ වේදනාවක් ම, හැම අදුක්ඛම සුඛ හෙවත් මධ්‍යස්ථ වේදනාවක් ම වෙනස් වන සුළු ය. මේ වෙනස් වීමේ ස්වභාවය හෙවත් අනිත්‍යතාවට කිසිවෙක් සතුටු නො වෙති. කිසිවෙක් කැමැති නො වෙති. කිසිදා කිසිවෙක් එය ප්‍රාර්ථනා නො කරති. මේ ස්වභාවය නිසා සිදුවන්නේ සෑම කෙනකු ම අපේක්‍ෂා භංගත්වයට පත්වීම යි. එවිට ඇතිවන්නේ මානසික අසහනයකි. එය දුකකි. දුක්ඛ වේදනා හා අදුක්ඛම සුඛ වේදනා ද, සුඛ වේදනා සේ ම වෙනස්වීමට ලක් වීමෙන් අසහනය ඇති කරයි.

සියලු වේදනා හෙවත් විඳීම් සැප වේදනා ම වීමට නම් ඒ සුඛ වේදනා නිත්‍ය හෙවත් ස්ථිර විය යුතු ය. වෙනස් නොවිය යුතු ය. සැම දා එක සේ තිබිය යුතු ය. නමුත් එලෙස වෙනස් නො වන ලොව කිසිවක් නැත. සබ්බේ සංඛාරා අනිච්චා යනුවෙන් දැක්වෙන්නේ එය යි. මේ අයුරින් සලකන විට හැම දෙයකින් ම අසහනකාරී බව ම ලැබෙන හා ලබන නිසාත් සියල්ල දුක් ගෙන දෙයි. දුකින් කෙළවර වෙයි. ඒ මත පිහිටා ලෝකය දුක යි. එය දුකෙහි ම පිහිටා තිබේ යැයි නිගමනය කළ යුතු ය.

බුදුහිමියන් යථාර්ථවාදී දර්ශනයක් දේශනා කරනු ලැබීය. සංයුක්ත නිකායේ තතිය අස්සාද සූත්‍රයෙහි ජීවිතය හා කම්සැප පිළිබඳ ව කරුණු තුනක් දක්වා ඇත. එනම්,

ඇලීම (අස්සාද) හා එයින් සිදු වන අනිටු ප්‍රතිඵල ආදීනව යි. එයින් මිදීම (නිස්සරණය) යනු යි.

පියකරු රූමත් රුවක් දුටු විට කෙලෙස් සහිත සියලු දෙනා තුළ ඒ රුව කෙරෙහි මනා ඇල්මක් ඇති වී එදෙස බලයි. වරින් වර බලයි. ඇතැම් විට නො පෙනී යන තුරු ම බලා සිටීමට ද පුළුවන. එමඟින් සිතෙහි සතුටක් ඇති වේ. මෙය ආස්වාදය හෙවත් ඇලීම යි. ඒ රූපය ස්ථිර ව හෙවත් නිතර දැකිය හැකි නො වේ. එහෙයින් ආස්වාදයෙන් ලැබු සතුටත් ස්ථිර නො වේ. අනිත්‍ය වේ. ඒ රුව දක්නට නොමැති ව දුකට පත් වේ. සිතේ අසහනය ඇති වේ. යළි කවදා කො තැන දී දක්නට ලැබේ දෝ'යි නො ඉවසිල්ලෙන් සිටිනු ඇත. ඒ ආස්වාදයේ නරක ප්‍රතිඵල යි.

ඒ රූමත්, පියකරු රුව දැක යළි යළි බැලීමට ආසාවක් උනන්දුවක් ඇති නො විණි නම් ඒ ආශාවෙන් මිදීම හෙවත් නිස්සරණ නම් වේ. මෙකී ආකාර තුන ජීවිතයේ සියලු ම ආස්වාදවලට පොදු වූවකි.

දුක නැති කිරීමට චතුරාර්ය සත්‍යය, අවබෝධ කර ගත යුතු ය. එහි හරය දුක්ඛ හෙවත් දුක ය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ යනුවෙන් දැක්වෙන ආර්ය හෙවත් උතුම් සත්‍ය හතරට ම දුක හරය වී ඇති බව එම ආර්ය සත්‍ය සතරේ නම්වල මුලට දුක යන පදය යෙදී තිබීමෙන් ම පෙනේ.

බුදුදහමේ උගන්වන පරම සුවය වන්නේ සියලු කෙලෙසුන් නසා අවබෝධ කර ගන්නා උතුම් නිවන යි. වාණතෝ නික්ඛන්තං නිබ්බාණං යනුවෙන් කෙරෙන විග්‍රහයට අනුව තණ්හාවෙන් මුළුමනින් ඉවත් වීම නිවන යි.

එහෙයින් සසර පැවැත්මට හේතු වන කුමන ආකාරයේ වුව දුක හඳුනා ගෙන එහි නැවැත්මට අවශ්‍ය කරන මඟ වන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට අප හැම ක්‍රියා කළ යුතු වෙයි.