Print this Article


බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යතන යුගයේ අප්‍රමාණ මිනිසා

බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යතන යුගයේ අප්‍රමාණ මිනිසා

විශ්ව කීර්තියට පත් විශිෂ්ට ගණයේ බෞද්ධ විද්වතකු වන සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න සූරීන් වෙනුවෙන් පෙබරවාරි මස 02 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ‘සමාශංසා’ නමින් හරසර උලෙළ පැවැත්වුණි.

බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ මෑත ඉතිහාසයෙහි විස්මිත ජයග්‍රහණ රැසක් හිමි කර ගත් සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්නයන් විශිෂ්ට බෞද්ධ විද්වතකු බව පැවසීම අතිශයෝක්තියක් නො වනු ඇත. මහාචාර්ය අසංග තිලකරත්නයෝ වූ කලි පසුගිය සියවසෙහි බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයට සුවිපුල දායකත්වයක් ලබා දුන් මහැදුරු ගුණපාල මලලසේකර, මහැදුරු කේ.එන්. ජයතිලක හා මහැදුරු ඩී.ජේ. කලුපහන යන සන්නාමත්‍රයට පසුව එක්වන ශ්‍රී ලාංකේය බෞද්ධ විද්වත් ලකුණ යි.

තිලකරත්නයන්ගේ පර්යේෂණාක්‍ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍ර ගණනාවක ම විසිර පැතිර පවතී. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ කලාව හා සෞන්දර්ය, බෞද්ධ සම්ප්‍රදාය හා සාහිත්‍යය, පාලි සාහිත්‍යය අධ්‍යයනය, සංස්කෘත සාහිත්‍යය අධ්‍යයනය, මහායාන දර්ශනය, ථේරවාද දර්ශනය, බෞද්ධ විනය සම්ප්‍රදාය,බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තර්ක ශාස්ත්‍රය, බෞද්ධ ආචාර විද්‍යාව, බටහිර දර්ශනය, තුලනාත්මක දර්ශන අධ්‍යයනය, තුලනාත්මක ආගම් අධ්‍යයනය, හා බෞද්ධ නූතනත්ව අධ්‍යයනය ආදී පුළුල් පරාසයන්හි මහැදුරුතුමන් විදහාපාන ප්‍රාමාණික විද්වත්භාවය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ මෙතෙක් බිහි වූ කිසිවකු හා අසමසම බවක් උසුලන බැව් මැදහත් විද්වතුන්ගේ පිළිගැනීමයි.

හෙතෙම ගත් කතුවරයකු වශයෙන් පාඨක ලෝකයා වෙත පළමුව අවතීර්ණ වන්නේ 1974 වර්ෂයෙහි අනුරාධපුර භික්‍ෂු විශ්ව විද්‍යාලයෙහි ත්‍රිපිටකවේ දී උපාධි පාඨමාලාව පූරණය කිරීම් වස් ඉදිරිපත් කෙරුණු “මිනිස් ගැටලු පිළිබඳ බෞද්ධ විග්‍රහය” නමැති කෘතිය තුළිනි. 1979 වර්ෂයෙහි නානාවිධ විෂයයන් යටතෙහි ඉදිරිපත් වූ මෙය හොඳ ම කෘතිය වශයෙන් රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනා ගැනීමට ද සමත් වූ අතර, ඒ වූකලි එදා මෙදා තුර බෞද්ධ විද්වත් සමාජයෙහි හස්තසාර ග්‍රන්ථයක් වශයෙන් අතිශය සම්භාවනාවට පාත්‍ර ව තිබේ.

1992-2007 අතරතුර තිලකරත්නයෝ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවාදායකත්වය ලබා දුන් අතර, 2004-2007 අතර කාලයෙහි එහි අධ්‍යක්‍ෂවරයා වශයෙන් ද කටයුතු කළහ. 2009 වසරෙහි සිට හෙතෙම බෞද්ධ අධ්‍යයන විඥාපක මහාචාර්යවරයා වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට බැඳුණු අතර, 2018 වර්ෂයෙහි දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස සරසවි ඇදුරු බවින් ඉසිඹුලන තුරු ම කටයුතු කොට එම සරසවියෙහි බෞද්ධ අධ්‍යයනාංශය පිහිටුවීමේ පුරෝගාමී වූ හෙතෙම එහි සමාරම්භක අධ්‍යයනාංශාධිපති වශයෙන් ද විශිෂ්ට සේවාවක් සිදු කළේ ය.

2013 වසරෙහි කොළඹ සරසවියෙහි ශාස්ත්‍ර පීඨයෙහි විශිෂ්ටතම පර්යේෂකයාට හිමි ත්‍යාගය දිනා ගනු ලබන තිලකරත්නයෝ ඉගැන්වීම හා පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් ද සුවිශේෂ වාර්තාවකට උරුමකම් කියති. 2014 වසරෙහි සරසවි උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කවුන්සිලය මඟින් සමාජවිද්‍යා හා මානවවිද්‍යා විෂය ක්‍ෂේත්‍රයන්හි විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ පර්යේෂකයාට හිමි සුවිශේෂ ඇගයීම් ත්‍යාගයට හිමිකම් කියන ඔහු දෙස්-විදෙස් පළමු උපාධි හා පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ගේ අත්‍යන්ත භක්ත්‍යාදරයට පාත්‍රව සිටින අතර, මේ තාක් උපදේශකත්වයෙන් දායක වී ඇති පර්යේෂණ ආචාර්ය උපාධි සංඛ්‍යාව තිහකට අධික ය.

නූතන බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ ලෝකයෙහි වඩාත් ම සුපතළ කීර්ති නාමයක් දිනා සිටින තිලකරත්නයෝ සිංහල හා ඉංග්‍රීසි භාෂාද්වයෙන් මේ තාක් රචනා කොට හෝ සංස්කරණය කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව තිහකට ආසන්න වන අතර, දෙස්-විදෙස් පිළිගත් ශාස්ත්‍රීය ප්‍රකාශනවල ලියා පළකොට ඇති පර්යේෂණ ලේඛන සංඛ්‍යාව එකසිය හැත්තෑපහකට නොඅඩු ය. තිලකරත්නයන් විසින් රචිත මෑත කාලීන කෘති අතර, හවායි විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් ප්‍රකාශිත ඊඩඥපචමචඤච ඕභඤඤඩඪඵථ ඊඩඥ මඪඥඹ ධට බඩඥ ඡ්තඤඥපඵ (2012) නමැති කෘතිය මෙහිලා සුවිශේෂ වේ. ඔහු විසින් රචිත රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ තවත් පර්යේෂණ ග්‍රන්ථයකි, “ශූන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය.’ තිලකරත්නයන් විසින් රචිත ග්‍රන්ථ අතුරින් මඩිහේ නාහිමි චරිතය හා චින්තනය, බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව, බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය, බෞද්ධ නූතනත්ව අධ්‍යයනය, න්‍යාය බින්දුව හැඳීන්වීම (බෞද්ධ තර්ක ශාස්ත්‍රය) යනාදී සිංහලෙන් ලියැවුණු ස්වාධීන පර්යේෂණ ග්‍රන්ථ රැසක් පාඨක සමාජය අතර බෙහෙවින් ජනප්‍රිය ව පවතී. ඉංග්‍රීසි බසින් ලියැවුණු ග්‍රන්ථ බොහෝය ආදී ග්‍රන්ථ රැසක් වේ.

තිලකරත්නයන්ගේ අධ්‍යයන ක්‍රියාවලියේ වැදගත් කඩඉම් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැක්කේ 1980 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ බාහිර ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ප්‍රථම පන්තියේ විශිෂ්ට සාමර්ථයක් සහිත ව ලබාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණය අදටත් අනභිභවනීය ව පැවැතීම යි.

ඉතා ළාබාල වියේ දී දිවයිනෙන් ම ප්‍රමුඛයාට හිමි ත්‍යාග සහිත ව ප්‍රාචීන පණ්ඩිතෝපාධිය හිමි කර ගැනීමට ද හේ සමත් විය.

1984 දී අමෙරිකා එක්සත් ජනපදයෙහි හවායි ජනපදයෙහි ඡ්චඵබ එඥඵබ ඛ්ඥදබඥප ආයතනයෙන් ලද පශ්චාත් උපාධි ශිෂ්‍යත්වයක් කරණකොට ගෙන හවායි විශ්වවිද්‍යාලයෙහි දර්ශන අධ්‍යයනාංශයේ බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, යථාර්ථය හා භාෂාව පිළිබඳ බෞද්ධ න්‍යාය’ හා සම්බන්ධ ව සිදුකළ සුවිශේෂී පර්යේෂණාත්මක අධ්‍යයනය උදෙසා එම විශ්වවිද්‍යාලය මඟින් දර්ශන විශාරද (ර්‍ථඩ්ච්) උපාධිය ද මෙතුමා විසින් විශිෂ්ට අයුරින් දිනා ගන්නා ලදී.

2007-2008 අධ්‍යයන වර්ෂයේ දී කොරියාවේ යොන්සෙයි සරසවියෙහි විශේෂිත ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර, 2015 වර්ෂයේ දී නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයෙහි ද, 2017 වර්ෂයේ දී ඉන්දියාවේ ඵූලේ පූණේ සරසවියේ ද, 2018-2019 අධ්‍යයන වර්ෂයේ දී මියන්මාරයේ සගායිං හා මණ්ඩලේ නගරවල පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියෙහි හා පසුව වාර කිහිපයක දී ඉන්දියාවේ නාලන්දා සරසවිය ආදී සරසවි කිහිපයක ම සුවිශේෂී ආරාධිත මහාචාර්යවරයකු ලෙස අපමණ අධ්‍යාපන සේවාවක් සිදු කළේ ය.

තමනට භාර වූ කුදු-මහත් ඕනෑම භාරදූර වගකීමක් නො පිරිහෙළා අකුරට ම ඉටුකරන මහැදුරු තිලකරත්න ශාස්ත්‍රීය සේවාවන්ට අතිරේක ව වෘත්තීය හා සමාජසේවා කටයුතුවල ද නිරත වෙමින් 2010-2012 වර්ෂවල කොළඹ සරසවියෙහි ශාස්ත්‍රපීඨ ආචාර්ය සංගමයෙහි සභාපතිවරයා වශයෙන් ද ක්‍රියා කළේ ය.

2002 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි සියලු විද්වතුන් ඒකරාශී කරමින් ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යයන සංගමය බිහි කොට එහි සමාරම්භක සමලේකම් වශයෙන් හා 2017 වර්ෂයෙහි සිට එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. සමාජයෙහි අධ්‍යාපනික, සමාජීය, ආර්ථීක හා ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් දම්රිවි පදනම ලාභ සඳහා නොවන සංවිධානය බිහිකොට ආරම්භයේ සිට එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිදු කරන සේවාව අත්‍යුදාර ය.

දැනට බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයෙහි ක්‍රියා කරන මහැදුරු අසංගයෝ නොබෝ දා මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධායතනයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති වශයෙන් ද පත් ව උත්කෘෂ්ට ධර්ම-ශාස්ත්‍රීය සේවාවක් සිදු කරයි.

නූතන යුගයේ ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයේ අග්‍රඵලය ධර්ම-ශාස්ත්‍ර ශිරෝමණී සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්නයන් බව මැදහත් විද්වත් සැම අවිවාදයෙන් පිළිගනිති.

බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයේ අද්‍යතන යුගයේ ‘අප්‍රමාණ මිනිසා’ ලෙස විරුදාවලී ලත් සේවාර්චිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න සූරීනට ශතවර්ෂාධික කාලයක් ධර්ම-ශාස්ත්‍රෝන්නතිය සඳහා තත්පර වන්නට තුනුරුවන් සරණින් නිදුක්-නිරෝගී සුව හා දිගාසී වේවා’යි ඉත සිතින් පතමු !