Print this Article


තථාගත දහමේ අසිරිමත් පණිවුඩය ලොව සුපතළ කරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

තථාගත දහමේ අසිරිමත් පණිවුඩය ලොව සුපතළ කරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලංකාවේ පමණක් නොව පෙරදිග, අපරදිග රටවලට ද තථාගත ධර්මය ව්‍යාප්ත කරන කීර්තිමත් බෞද්ධ විශ්වවිද්‍යාලයකි. විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර හතළිස් දෙකක් පිරීම නිමිත්තෙන් ‘විශ්වවිද්‍යාල දිනය -2025’ මෙම 20 වැනි දින උත්සවාකාරයෙන් සැමරේ.

ශ්‍රී ලාංකේය පිරිවෙන් අධ්‍යාපනයට නව පණක් ලබාදීමේ පරමාර්ථයෙන් මහාචාර්ය වල්පොළ ශී‍්‍ර රාහුල නා හිමියන් විසින් මේ විශිෂ්ට ගණයේ විශ්වවිද්‍යාලය පිහිටුවන ලදී.

විහාරාරාම, පිරිවෙන්, පන්සල් පරිසරයෙන් වෙන් නොකොට භික්ෂූන්ට ගෝචර වූ, කැප වූ ඒ ආරාම පරිසරයේ ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම පරමාර්ථය වී ඇත.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ‘බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, විද්‍යෝදය ආයතනය’, ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පෑලියගොඩ විද්‍යාලංකාර ආයතනය’,’ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය - සද්ධර්මාකර ආයතනය’, ‘ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බලගල්ලේ සරස්වතී ආයතනය’ යන ආයතන හතර බිහිවේ. මේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ධුරය ආචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නා හිමියන් විසිනුත්, කුලපති ධුරය මල්වතු පාර්ශ්වයේ මහානායක සිරිමල්වත්තේ ආනන්ද මහ නාහිමියන් විසිනුත් උසුලා තිබේ. වර්ෂ දහතුªනක් ආයතන හතරක් ලෙස පැවැති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 1997 වර්ෂයේ පෙබරවාරි මස 20 වැනි දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ක්‍රියාවලිය එක් ආයතනයක් බවට පත් කර හෝමාගම, පිටිපන ගුරුළුගෝමි පරිශ්‍රයේ පිහිටුවා තිබේ.

විශ්වවිද්‍යාලයේ අරමුණූ බවට පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකාවේ හා විදේශවල බුද්ධ ධර්මය පතුරුවාලීම හා ධර්මදූත කටයුතු පෝෂණය කිරීම, ශ්‍රී ලංකාවේ හා විදේශවල පාලි භාෂාව හැදෑරීම තව තවත් වර්ධනය කිරීම, පිරිවෙන්වල, පාසල්වල, මහා විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල හා වෙනත් එබඳු අධ්‍යාපන ආයතනවල බුද්ධ ධර්මය හා පාලි භාෂාව ඉගැන්වීම සඳහා භික්ෂූන් වහන්සේ පුහුණු කිරීම හා භික්ෂූන් වහන්සේගේ චරිත වර්ධනය හා උන්වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. මේ අරමුණූ ඉටුකර ගැනීම වෙනුවෙන් බෞද්ධ අධ්‍යයන පීඨය, භාෂා අධ්‍යයන පීඨය හා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යනුවෙන් දැනට අධ්‍යයන පීඨ තුනක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර හා බාහිර වශයෙන් අධ්‍යයන කටයුතුවල නිරත දේශීය විදේශීය ශිෂ්‍ය විද්‍යාර්ථීන් සංඛ්‍යාව පන්දහසකට අධික ය.

තථාගත ධර්මය ලෝක ප්‍රජාව වෙත ගෙන යාමට සිංගප්පූරුව, මැලේසියාව, ඕස්ට්‍රියාව, ජර්මනිය, එංගලන්තය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් දොළහක අනුබද්ධ ආයතන පිහිටුවා සක්‍රිය ව පාඨමාලා පවත්වා ගෙන යනු ලබයි.

මෙලෙස ඉමහත් සේවයක් සපයන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ‘විශ්වවිද්‍යාල දිනය - 2025’ වෙනුවෙන් ගෞරවාර්හ මහෝපාධ්‍යාය නෙලුවේ සුමනවංස නාහිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති විනේතෲ මහාචාර්ය හෝමාගම ධම්මානන්ද හිමි, භාෂා අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කොටියාගල උපරතන හිමි සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ පූර්ණ කැපවීමෙන් මෙවර විශ්වවිද්‍යාල දිනය සැමරුම පෙබරවාරි මස 20 වැනි දින ප.ව. 2.00ට විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් ව පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතියි.