Print this Article


සමන්තකූට වණ්ණනා

සමන්තකූට වණ්ණනා

පරිච්ඡේද විසිහතරකින් පරිමිත සමන්තකූට වණ්ණනා නම් වූ පාලි පද්‍ය ඓතිහාසික කාව්‍ය සිරිපා කරුණා කරන මෙම සමයේ ශ්‍රී පාද පද්මධාතුව පිළිබඳ ව දැන, දැක සතුටු වන කාගෙත් ගෞරවාදරයට පාත්‍ර වන්නකි.

භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික සහ උද්දේසික උභය චේතියස්ථානයක් වූූ ශ්‍රීපාදය ලෝකයා ලද මහත් ලාභයක් ම ය. තථාගත ගෞතම ශ්‍රීපාද ලාඤ්ඡන සතරක් මේ පෘථිවි තලයේ පිහිටි බව ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ.

සංයුත්ත නිකායට්ඨකතාවෙහි දැක්වෙන පරිදි බුදුරදුන්ගේ එක් ශ්‍රී පාද ලාඤ්ඡනයක් ඉන්දියාවේ නර්මදා නදී තීරය අසල විසූ නා රජුගේ ඇරයුමෙන් එහි තබන ලදී.

තවත් පා සටහනක් දකුණු ඉන්දියාවේ මදුරාසිය සමීපයෙහි සච්චබද්ධ පර්වතය මුදුනෙහි පිහිටා තිබේ. අද එම ස්ථානය ශීවනඩි පාදය ලෙස සලකා හින්දු ලබ්ධිකයින් විසින් අයත් කොට ගෙන මහත් ගරු බුහුමන් පවත්වනු දක්නට ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන දෙකක තබන ලද ශ්‍රීපාද ලාඤ්ඡන පිළිබඳ ව සමන්තකූට වණ්ණනාවේ සඳහන් වේ.

මීට අමතර ව පසුව ලියැවුණු පාලි සාහිත්‍යයෙහි තායිලන්තයේ යෝනක පුරයෙහි ද තවත් සිරිපා සටහනක් පිහිටුවා ඇතැයි සැලකේ.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයෙහි දී බුදුරජාණන් වහන්සේ් තෙවන වරට කැලණියට වැඩි ගමනේ දී සුමන සමන් දෙවිඳුන්ගේ කාරුණික ඇරයුමින් කැලණියේ සිට සමනල පර්වතය මුදුනට ඍද්ධියෙන් වැඩම කොට එහි ශ්‍රීපාද ලාඤ්ඡනය පිහිටුවන ලද බව දීපවංස, මහාවංස, සමන්තපාසාදිකාදී ඓතිහාසික වාර්තාවන්හි සඳහන් වේ.

ක්‍රි.ව. 5 වැනි සියවසේ දී ෆාහියන් නමැති චීන ජාතික භික්ෂූන් වහන්සේ ලංකාවට පැමිණි අවධියේ දී බුදුරදුන්ගේ ලංකා ගමන් තුන පිළිබඳ ව ප්‍රසිද්ධ ව පැවතුණි. ෆාහියන් හිමියන් ලංකාවේ එකල තිබූ සිරිපා සටහන් දෙකක් පිළිවෙළට සටහන් කර තිබේ. ඉන් එකක් ලංකාවේ කඳු ශිඛරයක් මත ද, අනෙක උතුරේ නගරයක තිබූ බව ද සඳහන් වේ. පැරැණිතම සිරිපතුල් ගලක් ලෙස යාපනයේ කන්ද රෝඩෙයි (කඳුරුගොඩ) විහාරයේ කැණීම්වලින් පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇති ස්ථානය මෙය ලෙස හඳුනා ගෙන තිබේ.

ක්‍රි.ව. 7 වැනි සියවසේ දී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් වූ හියුං සාං සඳහන් කරන පරිදි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කොට එහි නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කොට ඇත. එම 7 වැනි සියවසේ දී ම ලංකාවට පැමිණි වජිරබෝධි හිමි සිරිපා සටහන තිබුණු කන්දට නැඟ එහි භාවනා කොට ඇත. චීන වාර්තාවන්ට අනුව එය සමනල පර්වතය යි. කෙසේ වුව ද බුදුපිළිම නිර්මාණය කිරීමට පෙර සිට සිරිපතුල් සටහන් වන්දනා කිරීම ආරම්භ වී ඇති බවට සැකයක් නොමැත.

පළාපත්ගල ප්‍රතිරාජ ආරාමාධිපති ආරඤ්ඤක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි කතුවරයා බවත්, උන්වහන්සේ ආනන්ද වනරතන සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු බවත්, සමන්තකූට වණ්ණනාවෙහි ම නිගමන ගාථාවන්හි සඳහන් වේ.

සමන්තකූට වණ්ණනාවෙහි අන්තර්ගත කරුණුූ බොහෝ ය. බුද්ධ චරිතයේ බොහෝ සුවිශේෂී සිදුවීම් ද මෙහි ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ලක්දිව ප්‍රාග්මහින්ද යුගයේ තොරතුරු ද මෙහි ඇතුළත් වේ.

ශ්‍රීපාදය සම්බන්ධ වන්නේ බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනය සමඟ ය. මිණි අක් නයිඳු ලක්දිව සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පැමිණ කැලණියට වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට කරන ලද ආරාධනය පිළිගැනීම කරණ කොට ගෙන ශ්‍රීපාදය පිළිබඳ බුදු සිරිත නිර්මාණය වීම ආරම්භ වේ.

කැලණි ප්‍රදේශයේ බුදුපිරිස උදෙසා පැවැති නාගපූජා සඳහා පිරිවර සහිත ව සමනල ගලින් පැමිණ සිටි සුමන සුරේන්ද්‍ර තෙමේ බුදුන් වහන්සේට ඇඳිලි බැඳ එකත්පසෙක සිට, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සකල ලෝකයාට ම හිත වැඩ පිණිස ලොව පහළ වූ ඔබ වහන්සේ නාගයන්ට වැඩ පිණිස මෙහි වැඩියාක් මෙන් ම අපටත් වැඩ පිණිස ලංකාංගනාවගේ මෞලිමාණික්‍යශ්‍රීය උසුලන්නා වූ මෙයින් පෙරදිග උස්ව පෙනෙන තෙල සමන්තකූට පර්වතයට ද වැඩ මාගේ භවනයෙහි ඔබ වහන්සේගේ ශ්‍රීපාද රශ්මියෙන් අතිශයින් පවිත්‍ර වූ පා සටහනක් කළ මැනව'යි ආරාධනා කළේ ය.

මෙහි 725 වැනි ගාථාවෙන් සමන්තකූට පර්වත වර්ණනාව ඇරඹේ. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමඟ ශාරිපුත්‍ර මෞග්ගල්‍යායන, මහාකාශ්‍යප, උපාලි අනුරුද්ධ, උපවාන, බක්කුල, අංගුලිමාල ,රාහුල, භද්දිය, සෙල, මහානාම, සුභූති, තිස්ස, රාධ, භගු, දබ්බ උපසෙන, කොණ්ඩඤ්්ඤ, අස්සජි, සීවලී, උපසේන, පුණ්ණ, සෝණ, සෝභිත, රේවත, වංගීස, සාගත, නන්ද, භාරද්වාජ, ගවම්පති යන රහතන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ සමඟ තෙවැනි ලංකාගමනයට වැඩම කළ බව සමන්තකූට වණ්ණනාවේ 632 ගාථාවේ සිට 652 වැනි ගාථාව දක්වා ගාථා විසි දෙකක් පමණ භාවිත කරමින් දක්වා ඇත.

ශ්‍රීපාද ධාතුව ජීවමාන, බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයක් ලෙස සලකා සැදැහැවත් බෞද්ධයෝ වන්දනා කරති. ගෞතම බුදුරදුන්ගේ පමණක් නොව ඊට පෙර බුද්ධත්වය ලැබූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන් තෙනමගේ පාදලාඤ්ඡන සිරිපා කඳු මුදුනේ පිහිටුවා ඇති බව අඹගමුව ශිලා ලිපියේ සඳහන් වේ.

දඹදෙණි යුගයේ වෙදෙහ මා හිමියන් විසින් රචිත සමන්තකූට වණ්ණනාවෙහි ශ්‍රීපාදය හා සම්බන්ධ අද්භූත සිද්ධි රාශියක් ගැන ම සඳහන් වේ. වසරක් පාසා බැතිමත් පිරිස වන්දනා කොට පිටත්ව ගිය පසු මහා වැස්සකින් සේදී ගොස් පරිසරය මුළුමනින්ම පිරිසුදු වී යයි. විවිධ ගස් කොළංවලින් හා රිටිගල යක්දෙස්සාගල ආදි ගල්පර්වත, වනාන්තර ද, දිය දහර පිළිබඳව ද මහවැලි, කැලණි, වලවේ, කළු යන ගංගාවන් ගැන ද මේ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒවා රැක ගැනීම සමස්ත ජාතියේ ම වගකීම් වේ.

පූතිජලගල යනුවෙන් සමන්තකූට වණ්ණනාවෙහි සඳහන් වන්නේ ඒ කාලයේ සිට ම ජනප්‍රවාදයෙහි පවතින කුණුදිය පර්වතය යි.

එම ජනනුවාදය කෙටියෙන් මෙසේ ය. බුදුරජාණන් වහන්සේ සමනල පර්වතයේ සිරිපා සටහන තැබූ බව දැනගත් දෙව්දත් තෙරුන් ද, ඊට ආසන්න පර්වතයක් මත සිය පා සටහන තබන ලදී. පසු කලෙක එතැනින් දුගඳ හමන කුණුවතුර ගලා යන්නට විය. මේ නිසා මිනිසුන් එම ගල් පර්වතයට කුණුදිය පර්වතය යන නම ව්‍යවහාර කොට ඇත.

ඉහත කෙටියෙන් වුව ද දැක්වූ මෙම පාලි පද්‍ය කාව්‍යය ඓතිහාසික වශයෙන් ද පමණක් නොව සාහිත්‍යමය, සාමාජික, සංස්කෘතික ම ය වශයෙන් ද විශිෂ්ට ස්ථානයක් හිමි කර ගන්නා පාලි කාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් අගය කළ හැකි ය.