Print this Article


ලක් ඉතිහාසය බැබළවූ අමරණීය නාමය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලක් ඉතිහාසය බැබළවූ අමරණීය නාමය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණෝ

පත්තර කලාවේ මහ ගෙදර ලෙස විරුදාවලිය ලද, ශ්‍රී ලාංකේය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ රන් අකුරින් නම රැන්දූ ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘවර, ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 139 වැනි ජන්ම දිනය මෙම 23 වැනි දිනට යෙදී තිබේ. මේ කෘතෝපහාරය එතුමාණන්ගේ උත්කෘෂ්ට ව්‍යායාමය වෙනුවෙනි.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මාතෘ භූමියට නිදහස ලබා ගැනීම පිණිස උරදුන් කණ්ඩායමේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි. උගතුන්, බුද්ධිමතුන් තම දේශයට දායාද කළ මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාණන් ය.

අදින් වසර 139කට පෙර වර්ෂ 1886 පෙබරවාරි 23 වැනි දා සේදවත්තේ විසූ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස ජන්ම ළාබය ලබා ඇති දොන් රිචඩ් විජයවර්ධනයන් මෙරට ජනතා සිත්හි වීරවරයකු වන්නේ ය. කුඩා කල සිට ආගමික පසුබිමක් ඇති ව හැදුණු වැඩුණු ඔහු ජාතික හැඟීමෙන් ද පෝෂණය විය.

ඉතාමත් පැහැදිලි වූ පැතිකඩ දෙකක් ඔස්සේ එතුමන් ශ්‍රී ලාංකේය විරුවන් ගොඩට එකතුවීමට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ රටට නිදහස දිනාදීම උදෙසා නිදහසේ බලමුළුව හා එක්ව, විවිධ බුද්ධිමය අරගලවලට ක්‍රියාකාරී ව නායකත්වය සැපයීමෙනි. තමන් ආරම්භ කළ පුවත්පත් ව්‍යාපාරය ඔස්සේ, දේශයත්, ජාතියත් පරාධීන බවින් නිදහස් කර ගනු පිණිස ගෙන ගිය දැවැන්ත අරගලය උත්කෘෂ්ඨ ය.

මෙතුමා එංගලන්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයෙන් පසු 1912 දී නැවත මෙරට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු ලෙසිනි.

අධිරාජ්‍යවාදී පාලනයේ අකටයුතුකම් නොබියව විග්‍රහ කොට, ජනතාව එක් මතයකට ඒකරාශී කිරීමට කටයුතු කළ කණ්ඩායමේ ප්‍රධාන චරිතය වූයේ, ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ ය. එතුමා දක්ෂ කථිකයෙක් හෝ පෙරළිකාර චරිතයක් ද නොවී ය. එහෙත් නිදහස සඳහා කටයුතු කළ කණ්ඩායමේ වෙනත් කිසිදු සාමාජිකයකුට හැකියාවක් නොතිබූ ස්ථානයකට නිදහස් සටන රැගෙන යෑමට විජයවර්ධනයෝ සමත් වූහ. ඒ ස්වකීය පුවත්පත මඟින් නිදහසෙහි වටිනාකම පිළිබඳ ව ජනතාව දැනුම්වත් බවට පත් කිරීමෙනි. පුවත්පත මඟින් දේශානුරාගයත්, දේශ වාත්ශල්‍යයත් වගා කිරීමෙනි.

ජාතික නිදහස් සටනට බට තරුණ විජයවර්ධනයන්ට 1913 ඔක්තෝබර් 13 වැනි දා නිදහසේ කණ්ඩායම සංවිධානය කළ සමිතියකට සහභාගිවීමට අවස්ථාව උදාවිය. එම සමිතියේ ලේකම් බවට පත්වීම ඩී.ආර්. විජයවර්ධනයන් මෙරට දේශපාලනයට ක්‍රියාශීලී ව පිවිසි මුල් අවස්ථාව ලෙස එකල දේශපාලන විචාරකයෝ හැඳින්වූහ.

මෙම අවධියේ දී විජයවර්ධනයන් ස්වකීය පුවත්පත් ව්‍යාපාරය ආරම්භ කොට තිබිණි. නිදහසේ කණ්ඩායම සමඟ සමිති සමාගම් මඟින් ක්‍රියාකාරී ව සම්බන්ධකම් පවත්වන අතරතුර පුවත්පත් ව්‍යාපාරය තුළින් අධිරාජ්‍යවාදීන්ගේ පරිපාලනයේ අඩු ලුහුඬුකම්, හා පරිපාලන රහස් උපායශීලී ව ලබා ගෙන පුවත්පත් මඟින් ප්‍රසිද්ධ කළේ නිර්භීතව ය.

අප රටෙන් පැහැරගෙන එංගලන්තයට රැගෙන ගොස් තිබූ ශ්‍රී ලංකා ධජයේ මුල් පිටපත නැවතත් සොයා ගැනීම පිණිස ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා සමඟ සමීප ව කටයුතු කළේ ද විජයවර්ධන ශ්‍රීමතාණන් ය.

1915 මාර්තු 02 වැනි දා සිංහලයේ අවසන් රජුගේත් අග බිසවගේත් ඡායාරූප සමඟ ඔටුන්න හා ජාතික කොඩියේ වර්ණ ඡායාරූපයක් ස්වකීය දිනමිණ පුවත්පතේ පිටකවරයේ පළ කර යටත් ජාතියක්වීමේ ආදීනව මෙරට ජනතාවට අභීතව සිහිපත් කොට දුන්නේ ද අපේ කථානායකයාණන් ය.

එතුමා උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණෙන විට මෙරට තිබුණේ නගරයට සීමා වූ ඉංගී‍්‍රසි පුවත්පත් අධිරාජ්‍යයකි. මෙරට බහුතර ජනතාව වූ සිංහල ජනතාවට කියවීමට දිපතා සිංහල පුවත්පතක් නොවීය.

1909 වර්ෂයේ ආරම්භ වූ දිනමිණ පුවත්පත එම කාලයේ දී මෙරට ජනපි‍්‍රයතම පුවත්පතක් ව තිබූ අතර එහි ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේ එච්.එස්. පෙරේරා මහතා ය. 1914 දී, ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් දිනමිණ මිලට ගනු ලැබුවේ ඩී.බී. ජයතිලකයන්ගේ ද උපදෙස් මත ය.

“සීලනීස්” නමින් පළ වූ ඉංගී‍්‍රසි පුවත්පත 1918 දී මිල දී ගෙන 1918 ජනවාරි 03 වැනි දා “ඩේලිනවුස්” ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

1923 දී ෆර්ගියුසන් පවුල සතුව තිබූ ‘සිලොන් ඔබ්සවර්’ පුවත්පත ද මිල දී ගෙන නව්‍යතාවයෙන් යුක්තව එදා මුද්‍රණය කළේ ය.

මේ ආකාරයෙන් පුවත්පත් ආරම්භ කළ ද ඒ ඒ, කර්තෘ මණ්ඩල කාර්යාල, දැන්වීම් අංශ හා බෙදාහැරීම් අංශ කොළඹ නගරයේ විවිධ තැන්වල පිහිටා තිබුණි. මේ සියල්ල කොළඹ නගරයේ ම සුවිශේෂී එක් ස්ථානයක එකම ගොඩනැඟිල්ලක පැවැත්වීමට හැකියාව තිබුණොත්, ඉතා ලාභදායක මෙන් ම ජනතා පහසුව පිණිස වූ ව්‍යාපාරයක් වනු ඇතැයි ඩී.ආර්. විජයවර්ධන මහතා අපේක්ෂා කරන්නට ඇත.

ඒ අපේක්ෂාව මත එතුමා 1926 දී කොළඹ කොටුවේ බේරේ වැව ආසන්නයේ සුන්දර භූමි භාගයක මෙරට ප්‍රථම වාණිජ පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් මන්දිරය විවෘත කළේ, ඩී.ආර්.විජයවර්ධන මහතා එහි සභාපතිවරයා ද වශයෙනි.

ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවිමට නොහැකි ලාංකේය දරුවන්ට ලබා දිය යුතු ය යන හැඟීමෙන් කටයුතු කළේ ය. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ප්‍රබල සහයක් දෙමින් තම සමාජ බලය හා මාධ්‍ය බලය ද යොදා ගනිමින් මේ සටනට සහාය ලබා දුන් අතර අවසානයේ සුන්දර පරිසරයක ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවිය. ඒ වෙනුවෙන් විශාල අනුබලයක් සැපයූ එතුමාට එම සේවය සිහිපත් කරමින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ද එතුමාගේ නමින් නම් කළේ ය. ඒ වගේ ම එහි පැවිදි ශිෂ්‍යයන් වහන්සේට නොමිලයේ නේවාසික පහසුකම් සඳහා සංඝරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ ය.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් බිහිකළ පුවත්පත් සමූහය සහ ඔහු ගොඩනැඟූ ලේක්හවුස් මන්දිරය අදත් නොසැළී පවතින අතර විජයවර්ධන නාමය සදාකාලික වන්නේ මෙම පුවත්පත් සමූහය හා ලේක්හවුස් මන්දිරය පමණක් නොව විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති හා දර්ශනය පෙරට රැගෙන යෑම නිසා ය.

රටට නිදහස ලබා ගැනීමට මෙන් ම රට තුළ අපට ම ආවේණික පුවත්පත් කලාවක් බිහිකිරීම හා මෙරට ප්‍රථම සන්නිවේදන සමාගම ලෙස ලේක්හවුස් ආයතනය පිහිටුවා තරුණ පරපුරටත් ආදර්ශයක් දුන් දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණන් 1950 ජූනි 13 දින වසර 64ක් ආයු ලැබ වියෝ වූයේ එතුමාගේ ශ්‍රී නාමය ලක් ඉතිහාසයේ අමරණීයත්වයට පත් කරමිනි.