සෘණාත්මක චිත්තවේග කළමනාකරණයට
බෞද්ධ ආකල්ප
රෝපණය කරමු
පුද්ගල චිත්තවේග ධනාත්මක සහ සෘණාත්මක වීම අසාමාන්‍ය දෙයක් නොවේ. දුක, කලකිරීම,
කෝපය, කාංසාව, ඉච්ඡා භංගත්වය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග පුද්ගල මනසෙහි
නිර්මාණය වීම සාමාන්‍ය ස්වභාවයකි.
නමුත් එවැනි සෘණාත්මක ආවේග කළමනාකරණය කර ගැනීම හා දුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි.
සෘණාත්මක මානසික ආවේගයන් මනසට පැමිණි විට ඒවා ප්‍රකාශවීමට ඉඩ හැරීම හෝ යටපත් කිරීම
හෝ නිවැරැදි ප්‍රතිකාරයක් නොවේ. මේ සම්බන්ධයෙන් බෞද්ධ ආකල්පය අධ්‍යයනය කිරීමේ දී
බුදුසමය විශේෂයෙන් දක්වනු ලබන්නේ සෘණාත්මක මානසික ආවේගයන් මැනවින් හඳුනාගෙන ඒවා
ක්‍රමානුකූල ව දුරු කළ යුතු බව ය.
බුදු දහමට අනුව තමා තමා වටහා නොගැනීමෙන් දුක්ඛ දෝමනස්සයන්ට පුද්ගලයා පත්වන බවත්,
පුද්ගලයා තුළ ගොඩනැඟෙන සෑම දෙයක් ම පුද්ගල මනස මූලික කොටගෙන ගොඩනැඟෙන බවත් “
නිබ්බේධිකපරියාය සූත්‍රය” තුළදී , “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං
කරොති....” ලෙස දක්වා තිබේ.
පුද්ගල මනසට පැමිණෙන සෘණාත්මක ආවේග දුරු කිරීමට” සබ්බාසව සූත්‍රයේ “දී ක්‍රමවේද
හතක් පෙන්වා දී ඇත.
දස්සනා පහාතබ්බා - සෘනාත්මක මානසික ආවේගයන් අවබෝධයෙන් දුරු කිරීම. එනම් පුහුදුන්
පුද්ගලයන් තමන් පිළිබඳවත් ලෝකය පිළිබඳවත්, ආත්ම කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයකින් යුතු ව
ක්‍රියා කරනු ලැබේ. සෑම විට ම ඉන්ද්‍රිය ගෝචර වන අරමුණු කෙරෙහි අතීත, වර්තමාන,
අනාගත යන කාලත්‍රයෙහි සිත මෙහෙයවන අතර, එම සෘණාත්මක ආවේග නුවණින් මෙනෙහි කොට මේවා
දුරු කළ යුතු ය.
සංවරා පහාතබ්බා -
ඉන්ද්‍රියානුසාරී ව ලබන අරමුණු නුවණින් දැන ක්‍රියාත්මක වීම සංවරා පහාතබ්බා ලෙස
හඳුන්වනු ලැබේ. එනම් තමා කැමැති අරමුණු ගැනීම සිතෙහි ස්වභාවය වන අතර, එම අරමුණු සඵල
නොවීමෙන් මානසික ආතතියට පුද්ගලයා පත්වේ. එබැවින් ඉන්ද්‍රියයන්හි ගැටෙන අරමුණු
සිහියෙන් යුතු ව දැන කළමනාකරණය කර ගත යුතු ය.
පටිසේවනා පහාතබ්බා -
මිනිස් දිවියෙහි පැවැත්මට අවශ්‍ය වන ආහාර, නින්ද, නිවාස ආදිය නො ලැබී යාමෙන්
පුද්ගලයාට සෘණාත්මක ආවේගයන් ඇති විය හැකි අතර, ඒවා නැති කිරීමට අවශ්‍ය පිළියම් සකසා
ගැනීම මින් අදහස් කෙරේ.
අධිවාසනා පහාතබ්බා -
මිනිස් දිවියෙහි අවේග සියල්ල අපට පාලනයට නතු කර ගත නොහැකි ය. එම නිසා මෙවැනි
සංසිද්ධීන් පිළිබඳ නුවණින් දැන කටයුතු කිරීමෙන් ඇති වන සෘණාත්මක මානසික ආවේගයන්
දුරු කර ගත හැකි ය.
පරිවජ්ජනා පහාතබ්බා -
ඇතැම් පුද්ගලයන් උදෙසා සෘනාත්මක මානසික ආවේගයක් ඇතීවීමට යම් ස්ථානීය ගැටලු හා
පුද්ගල ගැටලු බලපෑ හැකි ය. මානසික ආතතිය ඇතිවන එවැනි ස්ථාන හා පුද්ගලයන් නිතර ඇසුරු
කිරීම තුළින් මානසික ආතතියෙහි වර්ධනය සිදු වේ. එබැවින් එවැනි මානසික මට්ටම් ඇතිවන
ස්ථාන හා පුද්ගලයන් දුරු කිරීම මින් අදහස් වේ.
විනෝදනා පහාතබ්බා -
සෘණාත්මක මානසික ආවේගයන් මනසෙහි වර්ධනය වීමට ඉඩ නොදී, පෝෂණය වීමට ඉඩ නොදී ඒවා දුරු
කිරීම මින් අදහස් වේ.
භාවනා පහාතබ්බා -
භාවනා යනු වර්ධනය කිරීම වේ. එනම් සෘණාත්මක මානසික ආවේග දුරුකොට
ධනාත්මක මානසික ආවේගයන්හි වර්ධනය වීමට අවස්ථාව සලසා දීම මින් අදහස් වේ.
එමෙන්ම ඍණාත්මක මානසික ආවේග දුරු කිරීම සම්බන්ධයෙන් විතක්කසන්ඨාන සූත්‍රයෙහි කරුණු
පහක් විග්‍රහ කොට ඇත.
අඤ්ඤනිමිත්ත -
සෘණාත්මක මානසික ආවේගයක් මනසට පැමිණි විට එම සිතුවිලි යටපත් වන පරිදි වෙනත් ධනාත්මක
මානසික ආවේගයන් නිර්මාණය වන ක්‍රියාවක නිරත විය යුතු ය. උදාහරණ ලෙස වඩුවකු කුඩා
ඇනයකින් තවත් ඇණයක් ඉවත් කරන්නාක් මෙන් සෘණාත්මක මානසික ආවේග දුරු කළ යුතු ය.
ආදීනව නිමිත්ත -
එනම් වෙනත් අරමුණක් පිළිබඳ ව මෙනෙහි කළ පසුව ද නැවතත් සෘණාත්මක සිතිවිලි වර්ධනය වේ
නම් එම සෘණාත්මක සිතිවිල්ලෙහි ආදීනව මෙනෙහි කළ යුතු ය. උදාහරණ ලෙස සැරැසීමට කැමැති
වූ තරුණියක හෝ තරුණයකුගේ හෝ ගෙලෙහි දවටන ලද මළකුණ වහා ඉවත් කරන්නාක් මෙනි.
අසති අමනසිකාරය -
ආදීනව මෙනෙහි කරන අවස්ථාවෙහි සෘණාත්මක සිතිවිලි පහ නොවේ නම් එම ඍණාත්මක ආවේගයන්
පිළිබඳ මෙනෙහි නොකර සිටීම. උදාහරණ ලෙස ඇස් ඇති පුරුෂයකුට අකැමැති රූපයක් පෙන්නූ විට
ඒ දෙස නො බලා සිටින්නාක් මෙනි.
විතක්ක මූලභේද නිමිත්ත -
මෙනෙහි කරන අවස්ථාවේදීත් සෘණාත්මක ආවේග යටපත් නොවේ නම් එවැනි ආවේග ඇතිවීම සඳහා
බලපාන ලද සාධක කවරක් ද යන්න ආවර්ජනය කිරීම. උදාහරණ ලෙස වේගයෙන් ගමන් කරන පුද්ගලයකු
තමන් වේගයෙන් ගමන් කරන්නේ කුමක් නිසා දැයි මෙනෙහි කොට ප්‍රයෝජනවත් කරුණක් නිසා නොවන
බව දැන ගමන මන්දගාමී කිරීම.
අභිනික්ගණ්ඨ නිමිත්ත -
සෘණාත්මක ආවේග වර්ධනය වේ නම් දතින් දත ගටා හෝ දිවෙන් තල්ල පෙළා සිටිනාක් මෙන් දැඩි
වීර්යයෙන්, උත්සාහයෙන් සෘණාත්මක ආවේග දුරු කළ යුතු ය. ආදී වශයෙන් එම සූත්‍රය තුළදී
පෙන්වා දී ඇත.
එමෙන් ම ගිරිමානන්ද සූත්‍රයෙහි ඉතා පැහැදිලි ව සෘණාත්මක ආවේග මනසට පැමිණි විට
ක්‍රියා කළ යුතු අන්දම පියවර කිහිපයක් ඔස්සේ විස්තර කොට ඇත.
*
නාධිවාසේති - නො ඉවසීමෙන්,
*
පජහති - අත්හැර දැමීම,
*
විනෝදේති - වෙසෙසින් දුරු කිරීම
*
භ්‍යන්තිකරෝති - සහමුලින් විනාශ කොට දැමීම
*
අනභාවං ගමේති - අභාවයට පැමිණවීම
යනාදී කරුණු මඟින් සෘණාත්මක මානසික ආවේග දුරු කළ හැකි බව පෙන්වා දී ඇත.
පුද්ගලයාගේ යහපත් මානසික ස්වභාවය විනාශ කර දමන මෙම අයහපත් සෘණාත්මක ආවේග පුද්ගලයාට
මෙන් ම සමාජයට ද අහිතකර දෙයකි. චිත්තාවේග යන්න සෑම පුද්ගලයෙක් තුළ ම ඇතිවන කරුණක්
වන අතර, ඒවා යහපත් අන්දමින් ක්‍රියාත්මක කිරීම උදෙසා පුද්ගලයා ශක්තිමත් විය යුතු ය.
සෘණාත්මක මානසික ආවේග තුළින් ආසව හෙවත් කෙලෙස් පුද්ගල සන්තානය තුළ ගොඩනැඟෙන අතර,
පුද්ගලයා පාලනය කළ හැක්කේ පුද්ගලයාට පමණි. එබැවින් ද එය වෙන කිසිවෙකුටත් කළ නොහැකි
ක්‍රියාවක් වන නිසා සෘණාත්මක චිත්තාවේග මැනවින් කළමනාකරණය කොට ගෙන යහපත්, නිරවුල්
මනසක් සහිත පුද්ගලයකු වශයෙන් ජීවත්වීමට අප සෑම දෙනා ම කටයුතු කළ යුතු ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ
පී.එච්. ඉඳුරංගා තත්සරණි |