Print this Article


සසර මඟ කෙටි කර ගන්නට ඉන්ද්‍රිය භාවනාව

සසර මඟ කෙටි කර ගන්නට ඉන්ද්‍රිය භාවනාව

ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ඉන්ද්‍රියයන් තුළින් අරමුණක් ලැබුණු විට සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවෙමින් නැතිවෙමින් යාම ය. උදාහරණයක් ලෙස ගතහොත්, රූප අරමුණක් හමුවූ විට ප්‍රථමයෙන් චක්ඛු විඤාණය හට ගනී. ඉන් පසුව පිළිවෙළින් වේදනා, සඤ්ඤා, සංඛාර යන නාම ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් දිගට ගලා ගෙන යයි. මෙය සිතෙහි ඇතිවන හුදු ක්‍රියාවලියකි. එය අපට කිසිසේත් පාලනය කළ නොහැකි ය

බෞද්ධයන් වන අපගේ අරමුණ වන්නේ සසර දුක් නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය යි. සසර දුක් නැති කිරීමට ඒ දුක්වලට හේතු තේරුම් ගෙන, ඒ හේතු නැති කළ යුතුයි.

අප නිරන්තරයෙන් කරන්නේ කර්ම රැස්කිරීමයි.

අවිද්‍යා සහගත ව අප විසින් ඇස, කන, දිව, නාසය, ශරීරය සහ මනස යන ස්පර්ශ ආයතන හය ඔස්සේ ගන්නා අරමුණු නිසා, මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද දුක් මෙන් ම සැප විපාක ගෙනදීමට සමත් වන කර්ම රැස්වේ. මේ කර්ම රැස් කිරීම වැළැක්විය නොහැකි ය. එය නැවැත්විය හැක්කේ අර්හත් මාර්ගඵල ලැබ, සියලු කෙලෙස් ප්‍රහීන කිරීමෙනි.

එහෙත් එතෙක් කරන ලද කර්මයන්ට විපාක දීම ස්කන්ධ පරිනිර්වාණය දක්වා ම පවතියි. එම නිසා අප විසින් කළ යුත්තේ සතියෙන් සහ යෝනිසෝමනසිකාරයෙන් යුක්ත ව ස්පර්ශායතන ඔස්සේ ගන්නා අරමුණූු කෙරෙහි ත්‍රිලක්ෂණයෙන් බැලීමයි.

කර්ම සහ විපාක

සියලු සත්ත්වයෝ ම කර්මය ස්වකීය කොට, දායාද කොට, ඥාති කොට, පිහිට, පිළිසරණ කොට සහ සැප දුක් වේදනා ගෙන දෙන මූල හේතුව කොට ඇත්තෝ ය. යමෙක් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම්, ඔහු විසින් ඒ කළා වූ කර්මයා ගේ විපාක ද ඔහුට ම දායාද වන්නේ ය.

කර්මයන්ගේ විපාක, ප්‍රතිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙවැදෑරුම් වේ. ඇතැම් කුසලාකුසල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිට සත්ත්වයා සුගති සහ දුගතියට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍රතිසන්ධි විපාකය යි. උපන් සත්ත්වයාට වරින්වර සැප, දුක් ගෙන දෙන්නේ කර්මයේ ප්‍රවෘත්ති විපාකයෝ ය.

අති දීර්ඝ වූ මේ අනවරත සංසාරය පුරාවට ම අප පැමිණියේ නොයෙකුත් බැඳීම් සමඟ ය. ඒ බැඳීම් නිසා සිදු කරගත් කර්ම විපාකයන් අද ද, මේ මොහොතේ ද විඳිමින් සිටින්නෙමු. මේ මොහොතේ සිදු කරන්නේ ද හට ගන්නා නොයෙකුත් අරමුණු සසර විපාක පිණිස කර්ම සකස් කිරීමකි.

සත්ත්වයා නිරන්තරයෙන් ම ස්පර්ශායතන ඔස්සේ අරමුණු ගෙන ඒවාට ඡන්දය, රාගය, ආදිය ඉපදවීමෙන් තවදුරටත් කර්ම රැස් කර ගනු ලැබේ. එසේ නොවුණු මොහොතක් මේ සංසාරය පුරා නොමැත. එතෙකින් ම මේ සසරේ නිමාවක් නොමැති ව අපට ගමන් කරන්නට සිදු වී ඇත. අපේ අධිෂ්ඨානය විය යුත්තේ කෙලෙස් ප්‍රහීන කර ගැනීම සඳහා වීර්යය වැඩීම ය. මේ සඳහා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳ ව අවබෝධය වැදගත් වේ.

පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය

සත්ත්වයකුගේ පැවැත්ම යනු පංචස්කන්ධයේ පැවැත්මයි. මිනිසකු, දෙවියකු ආදී ලෙසින් හැඳින්වුව ද ඇත්තට ම මෙහි පවතින්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම පමණකි. නිරන්තරයෙන් ඇති වෙමින්, නැති වෙමින් යන පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම හැර සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ මම කියා කෙනකු හෝ ආත්ම වශයෙන් ගතහැකි කිසිවක් හෝ සත්‍ය වශයෙන් නොමැත.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ආකාරයට, මෙම පංචස්කන්ධ ධර්ම සෑම එකක් ම ඇති වූ විගස ම පැවැතී එතැන ම නිරුද්ධ වී යයි. අතීතයේ අප අත්දුටු වේදනා, සංඥා, සංස්කාර, විඤාණ වැනි ස්කන්ධ ධර්ම එකක්වත් දැන් ශේෂ වී නොපවතී. මෙම අනිත්‍ය ස්වභාවය නිසා ම මෙම ධර්ම, මම ය, මගේ ය කියා කිසිවක් ගැනීමට නො හැකි අනාත්ම ධර්ම වේ. තව ද ඒවායේ පැවැත්ම දුකක් ම වේ. මන්ද යත්, පංචස්කන්ධයේ යථා තත්ත්වය නම්, ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ, අසාර සහ ශුන්‍ය බවයි. එහෙත් අවිද්‍යාව හේතු කොට ගෙන පංචස්කන්ධයේ නියම තත්ත්වය නොදකින නිසා සත්ත්වයා ඒවා මම ය, මගේ ය, මගේ ආත්මය යැයි උපාදාන කර ගෙන හටගන්නා පංච උපාදානස්කන්ධ කෙරෙහි ඇලී, බැඳී කටයුතු කරයි.

මෙලෙස පංචස්කන්ධය කෙරෙහි උපාදානය කරමින් සත්වයා සසරේ ගමන් කරන ආකාරයත්, ඉන් මිදිය හැකි ආකාරයත් මධුපිණ්ඩික සූත්‍රයෙහි දක්වා ඇත.

සත්ත්වයාගේ සසර පැවැත්ම සහ ජරා, මරණ හටගන්නා ආකාරය බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. හේතු ඇති කල්හි ස්කන්ධ පංචකයක් හටගෙන හේතු නිරුද්ධ වූ විට එය වහා නිරුද්ධ වන ආකාරය නුවණින් නොදුටුවහොත් උපාදාන ගොඩනැඟෙන ආකාරය මධුපිණ්ඩික සූත්‍රයෙහි මැනවින් විස්තර කොට ඇත. අප ලෝකය හා සම්බන්ධ වන්නේ ඇස, කන ආදී ආයතන ඔස්සේ රූප, ශබ්දාදී අරමුණු දැනගැනීම් වශයෙනි. ඇස ආදී ආයතන සහ රූප ආදී අරමුණු හමුවන අවස්ථාව අතීත කර්මයනට ලැබෙන විපාක අවස්ථාවකි. මෙම අවස්ථාව පෙර නොතිබී හටගෙන ඉතිරි නොමැති ව වහා නිරුද්ධ වේ. මේ සමඟ ම රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකය අපගේ පාලනයෙන් තොරව ම පහළ වේ.

අවිද්‍යාව නිසා මේ බව නොදැන සිටියහොත් නිරුද්ධ වූ ආයතන සහ අරමුණුවලට අදාළ වූ වේදනා, සංඥා සහ චේතනා ස්කන්ධයන් නිත්‍ය, සැප, අනාත්ම වශයෙන් ගෙන උපාදානස්කන්ධ පංචකයක් ගොඩනැඟේ. උපාදාන, ස්කන්ධ පංචකය හේතුවෙන් රාග, පටිඝ, දිට්ඨි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිජ්ජා හට ගැනීම වැළැක්විය නොහැකි ය.

නිරුද්ධ වූ ලෝකය ඇති දෙයක් සේ ගත්විට කුසල් කළ ද, අකුසල් කළ ද, අප සිටින්නේ ලෝකය ඇත යන අන්තය තුළයි. එවිට අවිද්‍යාවේ ප්‍රමාණයට ඇලීම්, ගැටීම් හටගෙන සත්ත්වයාට දිගින් දිගට ම සසරෙහි ගමන් කිරීමටත්, ජරා, මරණාදී දුක් විඳීමටත් සිදුවන බවත් මෙම සූත්‍රයෙහි දේශනා කොට ඇත.

අතීත කර්මයන්ට ලැබෙන විපාක වශයෙන් ඇස, කන ආදී ඉන්ද්‍රියයන් ඔස්සේ හඳුනාගන්නා රූප ශබ්ද ආදී අරමුණු පිළිබඳ නිර්මාණය වන ස්කන්ධ පංචකය පිළිබඳ අවිද්‍යාවෙන් සිත බැස නොගතහොත් දුක හට නොගනී. දැකීම, දැකීමක් පමණක් වශයෙන් අවබෝධ වූ විට ප්‍රපංච ගොඩනොනැඟේ. එවිට හටගෙන නිරුද්ධ වන ස්කන්ධ පංචකයෙහි සතුටුවීමක්, ගුණකීමක්, බැසගැනීමක් සිදු නොවේ. ඒ සමඟ ම රාග, පටිඝ, දිට්ඨි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිජ්ජා යන අනුසය වශයෙන් ඇති සියලු කෙලෙස් ප්‍රහීන කිරීමෙන් සසර ගමන කෙටි කර ගත හැකි ය. මෙලෙස අනුසය ධර්ම හට නොගැනීමට නම්, ඇස, කන ආදී ආයතන ඔස්සේ රූප ශබ්දාදී අරමුණු දැනෙන ආකාරය පිළිබඳ ව දැනගත යුතු ය.

ඇසට රූපයක් පෙනෙන හැටි

ඇසෙන් රූපයක් දකින විට කෙලෙස් නූපදින විදියට දකින්න නම් අපට රූපයක් පෙනෙනවා යන සිද්ධිය කුමන ආකාරයෙන් සිදුවන්නේ ද පිළිබඳ ව දැනගෙන සිටිය යුතු ය. ඇසට රූපයක් ගැටුණු විට එය අරමුණු කර ගෙන සිත් වැල් සමූහයක් හෙවත් චිත්ත වීථින් ඇති වේ. රූප අරමුණ සිතට වැද්දගැනීම සඳහා දොරක් ලෙස ඇස ක්‍රියා කරන නිසා මේ චිත්ත වීථිය “චක්ඛුද්වාරික චිත්ත වීථිය’ යැයි හැඳින්වේ. මෙලෙස ඇතිවන චිත්තවීථි අතරින් අති මහන්තාරම්මණ නම් වූ චිත්ත වීථිය පිළිබඳ ව සලකා බලමු.

රූප අරමුණ චක්ඛු ප්‍රසාදයෙහි ගැටෙනවිට ඒ මොහොතේ පවතින්නේ භවාංග චිත්තයකි. සාමාන්‍ය භවාංග චිත්තයක් ලෙස ම භවාංග චිත්තය ඇති වී නැති වී යයි. චිත්ත වීථියේ දෙවන සිත ද වන මෙය සාමාන්‍ය භවාංග සිතක් ම ය. ඇසට හෙවත් චක්ඛු ප්‍රසාදයට රූපයක් හමුවීම නිසා දෙවැනි භවාංග සිතේ ‘චලනයක්’ ඇති වෙයි.

මේ වනවිට ඇස ගැටුණු රූප අරමුණ තුන්වන චිත්තක්ෂණය ගතකරමින් පවතියි. එබැවින් රූප අරමුණ වැඩි වශයෙන් සිත් පරම්පරාවට දැනෙන්නට ගනී. මේ නිසා එතෙක් පැවති භවාංග සිත් නිමා වී චක්ඛුද්වාරයෙන් ගත් නව වර්ණ රූපය අරමුණු කර ගත් සිත් ඇතිවන්නට පටන් ගනී. මෙසේ භවාංග සිත් පරම්පරාව මෙතැනින් නවතින නිසා එය ‘භවාංග උපච්ඡේද සිත’ යැයි කියනු ලැබේ. අනතුරුව, ඇස ගැටුණු රූපය ම අරමුණු කර ගනිමින්, චිත්ත සන්තතිය නව රූප අරමුණට යොමු කිරීමට පෙරමුණ ගනිමින් ඇති වන චක්ඛු විඤ්ඤාණ සිත ඇති වේ.

චිත්ත සංතතියට ඇසට රූපයක් ගැටී ඇති බව මතක් කර, දැකීම යනුවෙන් හඳුන්වන ක්‍රියාව කරනු ලබන්නේ මේ සිත මඟින් ය. මෙය පෙර කරන ලද කර්මයන්ට විපාක වශයෙන් ඇතිවන සිතකි. එබැවින් කුසල විපාක සහ අකුසල විපාක ලෙස චක්ඛු විඤාණ සිත් දෙකකි. අරමුණ ඉෂ්ඨ, හොඳ, යහපත් දෙයක් නම් කුසල විපාක චක්ඛු විඤාණයත්, අරමුණ අනිෂ්ඨ නරක අයහපත් දෙයක් නම් අකුසල විපාක චක්ඛු විඤාණයත් ඇති වෙයි.

චක්ඛුද්වාරයෙන් ලබා ගත් අරමුණ තවදුරටත් විමසා බැලීම සඳහා චිත්ත වීථිය වෙත පිළිගනිමින් සම්පටිච්චන නම් වූ සිතක් ඇති වේ. සම්පටිච්චන සිතින් චිත්ත වීථිය වෙත පිළිගත් රූපාදී අරමුණු තවදුරටත් විමසීම, පරීක්ෂා කිරීම සන්තීරණ කෘත්‍යය යි. මෙයත් කුසල් විපාක, අකුසල් විපාක වශයෙන් දෙයාකාරයි. රූපාරම්මණයේ හැටි මෙබඳු යැයි විනිශ්චය කරමින් උපදින සිත වොත්ථපන චිත්තය යි. ආරම්මණය කෙරෙහි මෙසේ පිළිපැදිය යුතු ය යන අදහස ගන්නේ මේ වොත්ථපන සිතේ විනිශ්චය අනුව යි. මෙය උපේක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන සිතකි.

අනතුරුව, අතිමහන්තාරම්මණ චක්ඛුද්වාරික චිත්ත වීථියේ ජවන් සිත් හතක් පිළිවෙළින් ඇති වෙයි. මේ සිත් මගින් රූපාරම්මණයට අදාළ ව යම්කිසි කායික, වාචසික හෝ මානසික ක්‍රියාවක් කරනු ලැබේ. පසුව එන සිත් මුලින් එන සිත්වලට වඩා බලවත් ව උපදියි. ඇතිවන ජවන සිත කුමක් ද යන්න අපට සිහියෙන් සහ යෝනිසෝමනසිකාරයෙන් සිටිමින් වෙනස් කර ගත හැකි ය. මතු කලක විපාක දිය හැකි කර්ම බවට පත්වන්නේ මේ ජවන් සිත්වල යෙදෙන චේතනා චෛතසිකය යි. පළමු ජවන් සිතේ කර්ම ශක්තිය දිට්ඨධම්මවේදනීය ලෙස මේ භවයේ දී ම විපාක දෙන බවත්, සත්වන ජවන් සිතේ කර්ම ශක්තිය උපපජ්ජවේදනීය ලෙස ඊළඟ භවයේ දී විපාක දෙන බවත්, දෙකේ සිට හය දක්වා ජවන් සිත්වල කර්ම ශක්තිය අපරාපරියවේදනීය කර්ම ලෙස පිරිනිවීම දක්වා සංසාරයේ කොතැනදී හෝ විපාක දෙන බවත්, එසේ විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්මයන් අහෝසි වී යන බවත් සඳහන් වේ.

එකම අරමුණක් අරභයා ඒ ඒ සත්ත්වයාගේ අවිද්‍යාවේ ප්‍රමාණය අනුව, වෙනස් ජවන් සිත් ඇති කර ගත හැකි ය. අදාළ චිත්ත වීථියේ චක්ඛු විඤාණය කුසල විපාක වුවත්, අකුසල විපාක වුවත් එයින් ස්වායක්ත ව කුසල හෝ අකුසල ජවන උපදවා ගතහැකි ය.

ලොව්තුරා බුදුවරයෙක් දකින්නට ලැබීම ම කුසල විපාක දීමකි. ඒ දකින බොහෝ දෙනා සිත පහදවා ගෙන මහා කුසල් කර ගනිති. වක්කලී වැන්නවුන් ඒ රූපය ම දැක ලෝභ මූල සිත් ඇති කර ගන්නා ලදී. දෙව්දත් වැන්නවුන් ඒ රූපයම දැක ද්වේශමූල සිත් ඇති කර ගත්තේ ය.

මෙම චිත්තවීථියේ දී, අවසාන වශයෙන් ජවන් සිත්වලින් ගත් අරමුණ ම ගනිමින්, තදාරම්මණ නමින් සිත් දෙකක් උපදී.

මේ වනවිට චක්ඛු ප්‍රසාදයෙන් ගත් රූප අරමුණ චිත්තක්ෂණ දාහතක් ගෙවී අවසන් ය. ඒ රූපාරම්මණය නිරුද්ධ වනවාත් සමඟ ම චක්ඛුද්වාරික අතිමහන්තාරම්මණ චිත්ත වීථිය ද අවසන් වෙමින්, නැවතත් භවාංග සිත් ඇති වීමට පටන් ගනු ලැබේ. මේ ආකාරයට ම ශබ්දය ඇසීම, ගඳ සුවඳ දැනීම ආදිය සඳහා ද එක් වරකට එක ආරම්මණයක් බැගින් ගනිමින්, චිත්තවීථි නිරන්තරයෙන් හට ගනී. මේ ආකාරයෙන් අරමුණක් ගෙන ඇතිවන පංචස්කන්ධය කෙරෙහි නොඇලී, නොගැටී සිටිය ද, ඉන්ද්‍රිය භාවනාව වඩා ලෝකෝත්තර මගඵල වැඩිය හැකි බව, බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට වදාළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙහි දක්වා තිබේ.

ඉන්ද්‍රිය භාවනා සූත්‍රය

පාරාසරිය නම් වූ බ්‍රාහ්මණයා තම ශ්‍රාවකයන්ට ඇසින් රූප නොබැලිය යුතු ය. කනින් ශබ්ද නොඇසිය යුතු ය යැයි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වන ලදි. එය නිවැරැදි භාවනාවක් නම්, රූප නොපෙනෙන අන්ධයාත්, ශබ්ද නොඇසෙන බිහිරාත් ඉන්ද්‍රිය භාවනාව වඩන්නෙකි. පාරාසරිය බ්‍රාහ්මණයා උගන්වන ඉන්ද්‍රිය භාවනාව නිවැරැදි නොවන බව දේශනා කොට නිවැරැදි ව ඉන්ද්‍රිය භාවනාව වඩන ආකාරය ආනන්ද හිමිට බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කොට ඇත.

“ආනන්දයෙනි, මේ සස්නෙහි මහණ වී සිටින භික්ෂුවක් රූපයක් දැක සතුටු වෙයි. නැත්නම් අසතුටු වෙයි. එසේත් නැත්නම් සතුටු - අසතුටු දෙක ම හෙවත් මැදහත් වෙයි. උපේක්ෂා වෙයි. ඒ භික්ෂුවගේ සිතේ සතුටක් ඇතිවිය. නැතහොත් අසතුටක් ඇතිවිය. එසේත් නැත්නම් මැදහත් බවක් ඇති වී යැයි දැන ගනියි. දැනගෙන ඒ රූපාරම්මණයෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මුළාවීමෙන් හෝ සිත කිලුටුවීමට ඉඩ නොදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ මෙනෙහි කරමින් සිත මැදහත් ව තබා ගනියි. ඒ මනාප, අමනාප හේතූන්ගෙන් හටගත් බැවින් වෙනස් වන සුළු ය. ඕලාරික ය. අනිත්‍ය සමුත්පන්න යැයි මෙනෙහි කරයි. විදර්ශනා උපේක්ෂාවෙහි සිත පිහිටුවා ගනියි. ඇස් ඇත්තෙක් ක්ෂණයකින් ඇසි පිය හැර ක්ෂණයකින් ඇසි පිය වසන්නේ ද එසේම යමකුට රූප දැක ඇතිවන මනාප, අමනාප හා වැදගත් බව ක්ෂණයකින් නිරුද්ධ වේ ද, විදර්ශනා උපේක්ෂාව සිත්හි පිහිටා ද, එය රූපාරම්මණ විෂයයෙහි ඉන්ද්‍රිය භාවනාව යැයි මම කියමි.”

ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රිය හයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ ආදී ආරම්මණ හය නිසා සිතේ ඇතිවන මනාප අමනාපයන් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් ක්ෂණයකින් විදර්ශනා උපේක්ෂාව ඇති කර ගත හැකි නම් එය බුදු සස්නෙහි උගන්වන අනුත්තර ඉන්ද්‍රිය භාවනාවයි.

මා විසින් මේ දේශනා කළේ හිතවත් වූ, අනුකම්පාව ඇති ශාස්තෘවරයකු විසින් තම ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් එය මා විසින් ඔබට කරන ලදි යැයි මහත් අනුකම්පාවෙන් ආනන්ද තෙරුන් වෙත අප බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

අපට ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ඉන්ද්‍රියයන් තුළින් අරමුණක් ලැබුණු විට සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති වෙමින් නැති වෙමින් යාම ය. උදාහරණයක් ලෙස ගතහොත්, රූප අරමුණක් හමුවූ විට ප්‍රථමයෙන් චක්ඛු විඤාණය හට ගනී. ඉන් පසුව පිළිවෙළින් වේදනා, සඤ්ඤා, සංඛාර යන නාම ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් දිගට ගලා ගෙන යයි. මෙය සිතෙහි ඇතිවන හුදු ක්‍රියාවලියකි. එය අපට කිසිසේත් පාලනය කළ නොහැකි ය. එනම්, රූප දකින්නෙක් ශබ්ද අසන්නෙක් නොමැත. රූප, ශබ්ද ආදී අරමුණූ දැන ගැනීම හුදෙක් සිතෙහි ඇතිවන ක්‍රියාවලියක් පමණි. මෙම නාම ධර්ම පෙර නොතිබීම හටගෙන වහා නිරුද්ධ වේ. එහෙත් පෘථග්ජන සිත්හි ස්වභාවය නම් මෙම අරමුණු අල්ලා ගැනීම ය. නැවත නැවත සොයා යාම ය. නැත්නම් ගැටීම ය. මෙම සිත් තුළින් ඇතිවන ‘අල්ලා ගැනීම’ උපාදානය ලෙස හැඳින්වේ. මෙහිදී හටගන්නා පංචස්කන්ධයන් නිසා සත්ත්වයා කායික, වාචසික, මානසික ක්‍රියා කරමින් කුසල් අකුසල් කර්ම රැස් කරයි. මේ සෑම දෙයකින් ම සිදුවන්නේ සත්ත්වයා දිගින් දිගට ම දුකට පත්වීම ය. දිගින් දිගට ම සසරේ යාම ය. මේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා බුදුන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මනා පිටිවහලක් කර ගත හැකියි.