Print this Article


තහවුරු කරගත් මමත්වය සක්කාය දිට්ඨිය

තහවුරු කරගත් මමත්වය සක්කාය දිට්ඨිය

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන් ලැබිය හැකි අග්‍රඵලය වන්නේ දහම් අවබෝධය හෙවත් නිවන යි. එම දහම් අවබෝධයෙහි පළමු පියවර සෝතාපන්න ඵලයයි. “සෝත” යනු සැඩ පහරයි.

මෙම දහම් සැඩ පහරට හසු වූ කෙනා කිසිදු අනතුරකට පත් නොවී නිවනින් සැනසීම ලබයි. සූත්‍ර දේශනාවල සෝතාපන්න ඵලයට පත්වීම විවිධ අයුරින් විස්තර කර ඇත. සංයෝජන දුරුවීමක් වශයෙන් සෝතාපන්න ඵලය විස්තර කිරීමේ දී සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත. පරාමාස යන සංයෝජන තුන දුරු වීම සෝතාපන්න ඵලයයි. සක්කායදිට්ඨිය දුරුවීම නිසා ම ඉතිරි සංයෝජන දෙක ද දුරු වන බව ඉතා වැදගත් කරුණකි. මෙම සංයෝජන වෙන් වෙන් වශයෙන් ප්‍රහාණය (දුරුකිරීම) කළ නො හැකි බව තේරුම් ගත යුතු ය. බොහෝ විට සීලබ්බත පරාමාස වශයෙන් විස්තර කරන්නේ අතීතයේ පැවැති “අජවෘත” (එළුවන් සේ හැසිරීම) “ගෝවෘත” (ගවයන් සේ හැසිරීම) ආදී සීල ව්‍රත පමණි. නමුත් තමන් සමාදන් වූ සීලය ද මමත්වයෙන් දැඩි ව අල්ලා ගැනීම සීලබ්බත පරාමාස බව දැන සිටිය යුතු ය. සීලය මුල්කොට තමා හුවා දැක්වීමත්, අන්අය හෙළා දැකීමත් එහි ම ලක්ෂණයකි. අතීතයේ මම සිටියෙම් ද? අනාගතයේ මම සිටින්නෙම් ද? වර්තමානයේ මම කොහි සිටි පැමිණියෙම් ද? ආදී වශයෙන් තමා පිළිබඳ සැක කිරීම විචිකිච්ඡාවයි.

මේ නිසා විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන දෙක ද මමත්වය මුල් කොට පැනනඟින බව පැහැදිලි වේ. එබැවින් මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය දුරු වීමෙන් එම සංයෝජන දෙක ද දුරු වී යයි.

“කාය” යන වචනයෙහි සමූහය (ගොඩ) යන අර්ථය ඇත. මේ නිසා සමූහයක් ඇත යන වැරැදි අදහස සක්කාය දිට්ඨිය යි. මෙය “ස්වකාය” (තමාගේ කය) දිට්ඨිය ලෙස හඳුන්වා දෙන අවස්ථා ද ඇත. නමුත් එය අවබෝධය දුරස් කරවන, අවබෝධයෙන් බැහැර කරවන වැරැදි අදහසකි. බුදුරජාණන් වහන්සේ, සූත්‍ර දේශනාවල දී සක්කාය දිට්ඨිය දේශනා කොට වදාළ ආකාරය පළමු ව විමසා බලමු. සක්කාය දිට්ඨිය විස්තර කිරීමේ දී කරුණු 20ක් ඇතුළත් වන බැවින් එය විසි ආකාර සක්කාය දිට්ඨිය ලෙස හඳුන්වයි. (මහා පුණ්ණටා සූත්‍රය. ම.නි. - 3) රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කරුණු පහට එකකට සතර බැගින් මෙම කරුණු 20 විස්තර වේ. රූපය මුල් කොට එම කරුණු සතර සඳහන් වන්නේ “රූපං අත්තඛෝ සමනුපස්සති, රූප වන්තං වා අත්තානං සමනුපස්සති, අත්තනි වා රූපං සමනුපස්සති, රූපස්මිං වා අත්තානං සමනුපස්සති” ලෙසින් ය.

මෙය රූපය ආත්මය ලෙස දකී. රූපවත් වූ ආත්මයක් දකී. ආත්මය තුළ රූපය දකී. දෙපස තුළ ආත්මය දකී. යනුවෙන් විස්තර කරයි. එසේම “රූපය මම ලෙස දකී.” යන අයුරින් ආත්ම යන වචනය වෙනුවට “මම” ලෙස යොදා ගෙන ද විස්තර කරනු දැකිය හැකි ය. සක්කාය දිට්ඨිය නිවැරැදි ව තේරුම් ගැනීමට නම් “ආත්ම” යන වචනය පිළිබඳ ව හොඳින් විමසා බලා තේරුම් ගත යුතු වේ. “මම” සහ ආත්ම (අත්තා) යන වචන දෙකෙහි වෙනසක් ඇත. මම යන්න දැකීම, ඇසීම ආදී ආයතන සකස්වීමේ දී ඇතිවන මූලික සකස් වීමයි (අදහසයි). එම සකස් වූ “මම” යන්නෙහි පැවැත්මක් ඇත යන අදහස ආත්ම වේ.” අනාත්ම ලක්ඛණ” සූත්‍රය විමසා බැලීමෙන් මේ බව තේරුම් ගත හැකි වේ.

ඉහත විස්තරය අනුව “රූපං අත්තතෝ සමනුපස්සති” යන්න රූපයෙහි පැවැත්මක් ඇතැයි සලකා ගනී ලෙස විස්තර කළ හැකි ය. මේ අයුරින් “රූපවන්තං වා අත්තානං සමනුපස්සති” යන්න රූපවත් වූ (රූපයෙන් සකස් වූ) පැවැත්මක් ලෙස හෝ සලකයි. “අත්තනි වා රූපං සමනුපස්සති” යන්න පැවැත්ම තුළින් (පැවැත්ම මුල්කොට) සකස් වූ රූපයක් ඇති ලෙස හෝ සලකයි. “රූපස්මිං වා අත්තානං සමනුපස්සති” යන්න රූපය තුළින් (රූපය මුල් කොට) සකස් වූ පැවැත්මක් ඇති ලෙස හෝ සලකයි ලෙස විස්තර කළ හැකි ය. මෙහිදී දෙවැනි, තුන්වැනි හා සතරවැනි කරුණුවල හෝ (මා) ලෙස යෙදී තිබීමෙන් පැහැදිලි වන්නේ එක් වරක දී මෙම කරුණු සතරෙන් එකක් පමණක් යෙදෙන බවයි. මේ අයුරින් ම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ සඳහා ද යෙදෙන බව තේරුම් ගත යුතු වේ. කෙසේ නමුත් මෙම විස්තරයෙන් සක්කාය දිට්ඨිය යනු කුමක්දැයි තේරුම් ගැනීම දුෂ්කර වේ. ඒ සඳහා මෙසේ විස්තර වන කරුණ එදිනෙදා ජීවිතය සඳහා ගළපා බැලීමට හැකි විය යුතු ය.

අප සියලු දෙනා ම එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයෙන් අරමුණු ලබා ගැනීමයි. එනම් ඇසින් රූප බැලීම, කනින් ශබ්ද ඇසීම ආදියයි. මෙම ආයතන හයෙන් අරමුණු ලබා ගැනීම හැර වෙනත් යමක් සිදු නොවේ. මෙම අරමුණු ලබා ගන්නා සෑම විටක ම සක්කාය දිට්ඨිය හෙවත් පැවැත්මක් ඇත යන වැරැදි අදහසට ම කොටු වේ.

ඇසින් රූපයක් දැකීම යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කරුණුවල එකතුවක් බව “මහාහත්ථිපදෝපම” සූත්‍රයේ විස්තර වේ. එසේම ශබ්ද ඇසීම, ගඳ සුවඳ දැනීම ආදී සියලු ආයතනවල සිදුවන ක්‍රියාකාරීත්වය මෙම කරුණු පහෙහි එක්රැස් වීමයි. එසේ සකස් වන පඤ්ච උපාදානස්ඛන්ධයට ස්ථිර පැවැත්මක් නැත. සෑම මොහොතක ම බිඳි, බිඳී නැවත සකස් වේ. එම බිඳි බිඳී නැවත සකස් වීම ප්‍රකෘතියෙන් අපට නො දැකිය හැකි නිසා එහි පැවැත්මක් ඇති බවට වැරැදි අදහසක් ඇති කර ගනී. සක්කාය දිට්ඨිය වන්නේ එම වැරැදි අදහසයි.

ඉහත විසි ආකාර සක්කාය දිට්ඨියෙන් පැහැදිලි කර දෙන්නේ මෙම කරුණ බව දැන් විමසා තේරුම් ගත හැකි වේ. රූප සංඥාවක් මුල් කොට රූපය පිළිබඳ පැවැත්මක අදහස ඇති කර ගනී. සැප, දුක හෝ දුක් සැප රහිත වේදනාවක් විඳින විට වේදනාව මුල් කොට ගෙන පැවැත්මක් පිළිබඳ අදහස ඇති කර ගනී. යමක් දැන හඳුනා ගන්නා විට සංඥාව මුල්කොට ගෙන පැවැත්ම පිළිබඳ අදහස ඇති වෙයි. සිතිවිලි පැවැත්වීමේ දී (චේතනා) සංඛාර මුල් කොට ගෙන පැවැත්ම පිළිබඳ අදහස ඇති කර ගනී.

ඉහත වේදනා, සංඥා ආදිය පිළිබඳ දැනුම්වත් බව මුල්කොට ගෙන විඤ්ඤාණයෙහි පැවැත්ම පිළිබඳ අදහස ඇති වේ. ආයතන ඇසුරෙන් අරමුණු ලබා ගැනීමේ දී, අරමුණු ගන්නා පුද්ගලයාත්, අරමුණත් දෙකක් ලෙස වෙන්කොට ගැනීම මුළාව හෙවත් අවිද්‍යාව යි. පැවැත්ම පිළිබඳ අදහස නිසා ම එහි ඇති මුළාව තේරුම් ගත නො හැකි වේ.

බුදුරජාණන් වහන්සේ මෙම පැවැත්ම පිළිබඳ වැරැදි අදහසින් නිදහස් වන ආකාරය ද ඉතා හොඳින් පැහැදිලි කොට දේශනා කර ඇත. රූපං නේතං මම - රූපය මගේ නොවේ, නේසෝහමස්මි - රූපය මම නොවේ, නමේසෝ අත්තාති රූපය මගේ ආත්මය (පැවැත්ම) නොවේ, යන ආකාරයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් දත යුතු බව (සම්මපඤ්ඤාය දට්ඨබ්බං) දේශනාවල සඳහන් වේ. මේ අයුරින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ද මගේ නොවේ, මම නොවේ, මගේ පැවැත්මක් නොවේ යනුවෙන් ප්‍රඥාවෙන් දතයුතු වේ. කෙසේ නමුත් මෙම දැන ගැනීම තර්කානුකූල ව කරුණු විග්‍රහ කර ගැනීමක් නොව සමාධිවත් සිතකින් ලබන ප්‍රත්‍යක්ෂ දර්ශනයකි. සමාධිං භික්ඛවේ භාවේත - මහණෙනි සමාධිය පුරුදු කරන්න. සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති - සමාහිත සිතක් ඇති කෙනා සකස්වීම ඒ අයුරින්ම දකී, යන සම්බුදු දේශනාවෙන් එය පැහැදිලි වේ.

අප ඇසින් රූපයක් දකිනවා. කනින් ශබ්දයක් අසනවා ආදී වශයෙන් අරමුණු ලබා ගන්නා සෑම අවස්ථාවක ම ඇත්තේ සමූහයක් ඇත යන වැරැදි අදහස හෙවත් සක්කාය දිට්ඨිය බව තේරුම් ගත යුතු ය. මේ නිසා සක්කාය දිට්ඨිය යනු අමුතු දෙයක් ලෙස නොසලකා එය ජීවිත පැවැත්ම වැරැදි ලෙස තේරුම් ගෙන ඒ අනුව රාග, ද්වේශ, මෝහ යන අකුසල් රැස් කිරීමක් බව විමසා තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු වේ. පැවැත්ම පිළිබඳ අදහස ඇති සෑම විටක ම එයට ඇලීමෙන් රාගයත්, ගැටීමෙන් ද්වේශයත් එය තේරුම් නොගැනීමෙන් මෝහයත් ඇති වේ. එදිනෙදා සියලු ගැටලු නිර්මාණය වන්නේ මේ නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. සක්කාය දිට්ඨිය ඇති සියලු ම දෘෂ්ටි මතවාදවලට හේතුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ නිසා ම ය. දකිනවා අසනවා ආදී සෑම තැනක ම ඇත්තේ නැති දෙයක් මවා පෙන්වීමක් බව විමසා දත යුතු ය. රාත්‍රී කාලයේ දී ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරකවන විට ගිනි රවුමක් මවා පෙන්වීම මෙයට හොඳම උදාහරණයකි. එම මවා පෙන්වීම නිසා සමූහයක් ඇත යන වැරැදි අදහස මුල්බැස ගනී. “අනිත්‍ය සංඥාව“ නිතර පුරුදු පුහුණු කළ යුතු බව දේශනාවේ සඳහන් වන්නේ මෙම සමූහය පිළිබඳ වැරැදි අදහස දුරු කර ගැනීම පිණිස ය.

දැකීම, ඇසීම ආදී අරමුණු බාහිර වශයෙන් සලකන සෑම අවස්ථාවක ම “මම වෙමි” යන පුද්ගල සංකල්පය තව තවත් තහවුරු වේ. මේ නිසා දැකීම, ඇසීම ආදිය හේතුන්ගෙන් හටගන්නා ක්‍රියාකාරීත්වයක් බව පටිච්ච සමුප්පාදය නුවණින් විමසා බැලීමෙන් දැන ගැනීම අවශ්‍ය වේ. ධර්මය නුවණින් විමසා බැලිය යුත්තේ අපගේ සංසාරික ගැටලුවෙන් නිදහස් වීම පිණිස ය. එබැවින් රාග, ද්වේශ, මෝහවලින් නිදහස් වන ආකාරයට, ඒවා පදනමක් නැති අනිත්‍ය දේ බව තේරුම් ගත හැකි ආකාරයට විමසා බැලීම ඉතා ම වැදගත් වේ. කෙසේ නමුත් අවබෝධය පිණිස ධර්මය නුවණින් විමසා බැලීමේ දී සාමාන්‍ය ලෝක ව්‍යවහාරයට වඩා මුළුමනින් ම වෙනස් අයුරකින් විමසා බැලීමට සිදු වේ. සම්මුති ලෝකය තුළ සත්‍ය වූ කිසිවක් ධර්මයට අනුව සත්‍ය නොවේ. ලෝක ව්‍යවහාරය තුළ විස්තර වන්නේ කෙලෙස් සහිත (සාමිස) සතුටකි. ධර්මයෙන් පෙන්වා දෙන්නේ කෙලෙස් රහිත (නිරාමිස) සතුටකි. මේ බව තේරුම් නොගෙන ලෝක ව්‍යවහාරයට අයත් වන අයුරින් විමසා බැලීමෙන් කිසි දිනෙක සත්‍යය කරා යා නොහැකි වේ. මමත්වය තහවුරු කර ගන්නා සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම එතරම් දුෂ්කර වන්නේ ද එම ලෝක ව්‍යවහාරය ඉක්මවා විමසීමට මැළිකම නිසා ම ය. ලෝකය අවබෝධ කොට ලෝකයෙන් එතෙර වන මූලික පදනම වන සක්කාය දිට්ඨිය දුරු කිරීමට සැමට විමසුම් නුවණ ලැබේවා.