Print this Article


සසුන් පිළිවෙත් සුරකින ආදර්ශවත් සඟරුවන මීරිගම ගෝතම නාහිමියෝ

සසුන් පිළිවෙත් සුරකින ආදර්ශවත් සඟරුවන මීරිගම ගෝතම නාහිමියෝ

“නිරතුරුව කාය - චිත්ත විවේකය පි‍්‍රය කරන, සන්සුන් සිත් ඇති, යහපත් දහම් කරුණුූ විමසා බලන භික්ෂුවට නිරතුරුව විදර්ශනාව පිළිබඳ මනා ඇල්මක් ඇතිවෙයි”. (ධ.ප.භික්ඛු ව:)

මේ සසුන් මඟට පිළිපන් භික්ෂු සමාජයට බුදුරදුන් වදාළ දහම් කරුණකි. පරාර්ථය උදෙසා තම මුළු දිවිය ම කැප කරන භික්ෂුව නිරවුල් මනසින් ද, අව්‍යාජ ව නිර්මාණය කරගත් සිතුවිලිවලින් ද උපශෝභිත ව ධර්ම - විනය දෙකෙහි හා භාෂා ශාස්ත්‍රයන්හි කිමිද ස්වීය ඥානය පොහොසත් කර ගැනීමට අනලස් ව ප්‍රයත්න දරන භික්ෂුව සසුන මනාව බබළවන අයුරු බුදුරදුන් වදාළහ.

යථෝක්ත චින්තාවන්ගෙන් පමණකුදු නොව කාර්යයන්ගෙන් ද හෙබි සුපසන් මහා යතිවරයකු ලෙස ගල්කිස්ස ශ්‍රී ධර්මේන්ද්‍රාරාමාධිපති මීරිගම ගෝතම නාහිමියන් ගිහි, පැවිදි දේශීය - විදේශීය සියලු පර්ෂදයන්හි නොමඳ සම්භාවනයට බඳුන් වෙයි.

යථෝක්ත නාහිමියන්ගේ පෙබරවාරි මස 06 වැනි දිනට යෙදෙන ජන්ම දිනය වෙනුවෙන් කරනු ලබන සම්මර්ශනයෙකි.

තම පැවිදි භූමිකාව හැඳින සසුන් පිළිවෙත සුරකින නාහිමියන් සන්සුන් මනසින් හා මනා චරණයෙන් ද ආශි‍්‍රත කවුරුන් වුව ද වසඟයට දස්කම් ඇති යතිවරයෙකි. පැවිදි - ගිහි උභය පසෙහි යහපැවැත්ම උදෙසා මෙහෙවර සපයන ආදර්ශවත් සඟරුවනකි.

1940.02.06 දින උපන් මෙම පින්බර කුමරු” ඇල්ලගේ ජයසේකර” නම් විය. එවක ධර්මේන්ද්‍රාරාමාධිපති ව වැඩ විසූ, තත් විහාර පරපුරට පහන් ටැඹක් වූ, වියතුන් අතර මිණි පහනක් වූ, ශාසනාම්බරයෙහි දිදුලන තාරකාවක් වැනි වූ ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී කරගම්පිටියේ ජිනරතන නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස 1955 වසරෙහි දී පැවිදි වූ ගෝතම සාමණේරයන් වහන්සේ ශ්‍රමණ දිවියට ඇවැසි පෙළදහම් හා වත්පිළිවෙත් හදාරන්නට විය.

එවකට ධර්මේන්ද්‍රාරාමය ධර්ම ශාස්ත්‍රීය තක්ෂිලාවක් බඳු විය. යථෝක්ත කරගම්පිටියේ නා හිමියන් සාහිත්‍යධර දේශනයෙහි ද සුසැදි දේශකයාණන් වහන්සේ නමකි. උන්වහන්සේගෙන් දැනුම් පිපාසය සංසිඳුවා ගැනීමට පැමිණි වියතුන්, සාහිත්‍යධරයන් මෙන් ම මෙම ලක්දිවට සෙනෙහසැති දේශානුරාගීන් ද ධර්ම ශාස්ත්‍ර විචාරයෙහි ප්‍රාමාණික විද්‍යාර්ථින් ද නිරතුරුව ම මෙම විහාරයට ජිනරතන නා හිමියන් හමුවීමට පැමිණියහ. මෙම උතුමන්ගේ දර්ශනය මෙන් ම, සාකච්ඡා සම්මන්ත්‍රනාදිය ගෝතම හෙරණපාණන්ට ද අසන්නට දකින්නට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකා තම “පුංචි සිත” සවි කරගත් ගෝතම කුඩා හිමියෝ තමන් ද කවදා හෝ වියතකු හා දෙස බස රැසට අවැසි කෙනෙකු වන්නෙමි'යි අදිටන් කර ගත්හ.

අපේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය නොලබා, කරගම්පිටියේ යතිඳුන්ගෙන් ම දහම් විනය මෙන් ම, භාෂා ශාස්ත්‍ර මැනවින් හදාරා ස්වෝත්සාහයෙන් ම පණ්ඩිතෝපාධිය ඉහළින් සමත් වීම තම දිවි මඟෙහි අගනා සන්ධිස්ථානයෙකි.

1963 වසරෙහි ජයවර්ධනපුර සරසවියට පිවිස ශාස්ත්‍රවේදී උපාධිය හා ඉංගී‍්‍රසි බස පිළිබඳ විශාරදත්වයක් ද ලැබීය.

අප නාහිමියන් දැයේ දූ - දරුවන් උදෙසා කළ ශාස්ත්‍රීය මෙහෙවර සුළුපටු නොවේ. 1973 වසරෙහි රජයේ ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස මහත් මෙහෙයක් ඉටු කළහ. 1990 වසරෙහි ගුරු සේවයෙන් ඉවත්ව තම ගුරු දෙවිඳුන්ට උවටැන් කරමින් විහාරස්ථානයෙහි සංවර්ධන කාර්යයෙහි යෙදෙන්නට විය.

පරමාදර්ශී ගුරු ඇසුරක් ලැබීමත් පූර්වෝක්ත යහපත් අත්දැකීම් සමුදායත්, දහර කළ හුරු කරගත් යහපත් ආකල්ප ගොනුවත් පාදක වීම නිසා නිරතුරු ව කාය- චිත්ත විවේකය පි‍්‍රය කළ ගෝතම හිමියෝ යොවුන් අවදියේ සිට ම ස්වාධීන මතධාරියෙක් මෙන් ම නිදහස් චින්තකයකු ද වීමට වග බලා ගත්හ.

එහි අග ඵල ලෙස තත්කාලීන පුවත්පත් සඳහා ලිපි සැපයීම මඟින් පාඨක ජනයාගේ අපමණ ප්‍රසාදයට බඳුන් විය. එලෙස ම අගනා කෘතීන් කිහිපයක් රචනා කොට කෘතහස්ත ලේඛකයකු බවට පත් විය.

කාලීන ප්‍රබන්ධ කතා සාහිත්‍යයට පණ පොවමින් “කිරි මුට්ටිය ගඟේ ගියා” නම් කෙටි කතාව හා “භව සරණ” නම් නවකතාව ද, දළදා කතාව, බුදුන් වදාළ උපමා, “මොක්පුර නොදත් දෙව්දත්” යන මා හැඟි ග්‍රන්ථය ද “පුරාණ අරාබියේ හා ඊශ්‍රායලයෙහි බුදුදහම” (BUDDHISM IN ANCIENT ARAB AND ISRAIAL) නම් කෘතියට සිංහල පරිවර්තනයක් සැපයීම ද මඟින් පාඨක ලෝකයා සාහිත්‍ය රසාස්වාදයෙහි නිමග්න කරවීම කොතරම් අගනේ ද?

පූර්වෝක්ත බුදුරදුන් වදාළ උපමා කතා 1 -2 කෘති දොරට වැඩුමේ උලෙළෙහි දී මහැදුරු සුමනපාල ගල්මන්ගොඩ ශූරීන් පැවසුවේ “මෙවැනි මාහැඟි ග්‍රන්ථයක් ලිවීමට නම් ත්‍රිපිටකය පිළිබඳ හසල පරිඥානයෙකින් අනූන පාණ්ඩිත්‍යයක් තිබිය යුතු බවයි.” එහි පිටකවරයට පසුවදනක් සපයන මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් පවසනුයේ

“බුදුරදුන් තම ශ්‍රාවකයන් ආකර්ෂණය කරගනු සඳහා විවිධ උපමා යොදා ගෙන ඇත. පාලි, සකු හා හෙළ බස් පිළිබඳ විධිමත් සුවිශේෂී අධ්‍යයනයක් නොලබා පාඨකයන්ට එබී බැලිය හැකි අගනා රුවන් ආකරයෙකි. බුදුන් වදාළ උපමා” යනුවෙනි. අප කතානායක මීරිගම ගෝතම නාහිමියන් මෙම රුවන් ආකරයෙහි කිමිද එහි පත්ලෙහි එක පිට එක තැන්පත් ව ඇති මහඟු මිණි බඳු උපමා ජාලය කලක් මුළුල්ලෙහි කරන ලද පර්යේෂණයෙකින් පසු එක් රැස් කොට “බුදුන් වදාළ උපමා” නමින් මෙම හස්තසාර කෘතිය සම්පාදනය කොට තිබේ

මෙයට දශක දෙකකට පෙර ලිඛිත "කිරිමුට්ටිය ගඟේ ගියා” කෘතියෙන් පසු ව වඩාත් මුහුකුරා ගිය නෛසර්ගික නිර්මාණ නිපුණතාවයකින් බිහි වූ “බවසරණ” නමැති කෘතිය මඟින් ගෝතම මාහිමියන් සුවිශේෂී කුසලතාවක් ප්‍රකට කොට තිබේ. තවත් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන “මොක්පුර නොදුටු දෙව්දත්” කෘතිය කෙරෙහි ද යම් විමසුමක් කළ යුතු ම ය.

බුදුසමය කෙරෙහි උන්වහන්සේ තුළ විද්‍යමාන පිවිතුරු ප්‍රඥාව හා යෝජිත භාෂා කදිමට නිරූපණය වෙයි.

කවදත් සමාජ මෙහෙයට හා ශාසනික පුනරුදයට උරදුන් ගෝතම හිමියෝ කළුබෝවිල මහරෝහලෙහි භික්ෂු වාට්ටුව ඉමහත් පිරිවැයකින් යුතු ව පිළිසකර කරවීම ද ඇගයිය යුතුම ය. තම ගුරු දෙවිදුන්ගේ නමින් “ශ්‍රී ජිනරතන සුවසේවා ගිලන් භික්ෂූ ආශ්‍රමය” ස්ථාපිත කොට පවත්වා ගෙන යමින් තමන් සතු භෞතික දෑ අනුන් සතු කොට නිරාමිස සතුටක් ලබන්නට තරම් ගෝතම නාහිමියෝ සමත්කම් දක්වති.

ස්වාධිපත්‍යයෙහි පැවති රත්නපුර මිල්ලකඩේ විවේකාරාමයෙහි පිරිවෙන් ආයතනයක් අරඹා දැනුමින් හා ශික්ෂණයෙන් සපිරි ගිහි - පැවිදි ශිෂ්‍ය පර්ෂදයක් දැයට - සසුනට තිළිණ කිරීම කොතරම් අගනේ ද?

අපගේ වෙහෙර විහාර වෙත ජනයා පිවිසෙනුයේ තම දැවෙන මානසිකත්වය නිරවුල් කොට පිළිවෙත් පිරීම උදෙසා ය. මේ බව පසක් කර ගත් නාහිමියෝ තම පැවිදි දිවියට සෙවන දුන් ධර්මේන්ද්‍රාරාමය චිත්තාකර්ෂණීය විහාරස්ථානයක් බවට පත් කළහ.

නාහිමියන්ගේ සසුන් පිළිවෙත කෙරෙහි ප්‍රසාදිත වූ අමරපුර මහා සංඝ සභාන්තර්ගත සිරි සද්ධම්ම යුක්තික මාතර පාර්ශ්වය මඟින් බස්නාහිර පළාතේ සම්මාන නායක පදවියකට පත් කර ගන්නා ලදී.

නාහිමියන් විසින් පැවිදි ශිෂ්‍යවරයන් කිහිප නමක් සම්බුදු සසුනට තිළිණ කිරීම ද ඇගයිය යුතු ම ය. ඒ අතර වත්මන් විහාරාධිකාරි බඹරපනේ සුගතනන්ද හිමියන් හා රත්මලාන බෝධිරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රවේදී රත්මලානේ රාහුල පඬි හිමියන් ප්‍රධාන ය.

අවසන මසිතට නැඟෙනුයේ බුදු වදනෙකි. එනම් “බලවත් පී‍්‍රති ප්‍රමෝදයෙන් යුත්, බුදු සස්නෙහි පැහැදුණ භික්ෂුව ඒකාන්තයෙන් නිවනට පැමිණෙන්නේ ය.” (ධ.ප.)

අප නිකායික අලුත්ගම සඟ පරපුරට මිණි පහනක් බඳු, මීරිගම ගෝතමාභිධාන යතිඳුන් හට චිර ජීවනය වේවා'යි ආශිසංසනය කරමි.

නාහිමි ජන්ම දිනය වෙනුවෙන් පෙබරවාරි මස 06 වැනි දින සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම හා කරගම්පිටියේ ජිනරතන නා හිමි ප්‍රමුඛ විහාරගණයේ අපවත් වී වදාළ හිමිවරුනට පුණ්‍යානුමෝදනාව ද සිදු කෙරේ.

අප නාහිමියන්ට ලෝ සසුන් වැඩ වැඩුමට ශතවර්ෂාධික කලක් චිර ජීවනය ලැබේවා'යි! ආශිංසනය පළ කරමි.