Print this Article


අප්‍රමාදී ව උතුම් දහම් මඟ හැසිරෙන්න ශ්‍රද්ධා ධනය උපයා ගන්න

අප්‍රමාදී ව උතුම් දහම් මඟ හැසිරෙන්න ශ්‍රද්ධා ධනය උපයා ගන්න

අපගේ භාග්‍යවතුන් වහන්සේ දිනක් ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මෙ තරම් අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, කුසල් දහම්වල යෙදීමට ප්‍රමාදවීම තරම් එයට හේතු වෙන වෙන එකම දෙයක්වත් මා දකින්නේ නැහැ. පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමට ප්‍රමාදවීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.

(අ.නි.)

මහා සාගරයක් බඳු මේ බුද්ධ ශාසනය සමඟ කායික ව මෙන් ම මානසික ව කටයුතු කරන ඕනෑම කෙනකුට පුළුවන් මේ උතුම් ශාසනයේ අප්‍රමාදී ව හැසිරී සසර දුකෙන් එතෙර වන්න.

දිනක් එක්තරා දේව පුත්‍රයෙක් මුළු ජේතවනාරාමය ම බබුළුවා ගෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට මෙසේ අසා සිටියා.

කිංසු සාධු පතිට්ඨිතං - ස්වාමීනි, කුමක් මත පිහිටා සිටීම ද යහපත් වන්නේ?

සද්ධා සාධා පතිට්ඨිතා - දේවේන්ද්‍රය, ශ්‍රද්ධාව මත පිහිටා සිටීම තමා වඩාත් යහපත් වන්නේ.

ශ්‍රද්ධාව කියන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම යි. ශ්‍රද්ධාව විස්තර වන්නේ මේ ආකාරයට යි.

මහණෙනි, යම් රජ කෙනකුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තර වැසියන්ගේ ආරක්ෂාව පිණිසත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිසත්, නො සැලෙන, නො වෙව්ලන ඒෂිකා ස්ථම්භයත් ඇත්තේ වේ ද? එසේම ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. මහණෙනි, ශ්‍රද්ධාව නම් වූ ඒෂිකා ස්ථම්භයෙන් යුතු ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දේ අතහරියි. නිරැවද්‍ය දේ වඩයි. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරන සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්තා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක යනුවෙනු යි.

එනිසා අපත් අප්‍රමාද විය යුත්තේ ශාස්තෘන් වහන්සේ වදාළ ඒ ශ්‍රද්ධාව නම් වූ ඒෂිකා ස්ථම්භයට නැඟ ගන්නට යි. එවිට අපට කලින් නො පෙනුන දුර ඈත සිටින කෙලෙස් සතුරන් පවා දැක ගන්නට පුළුවන්.

ඒ සුගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම තුළ මතු ජීවිතවල බොහෝ දුක් විපාක ගෙන දෙන අකුසල්වලින් ජීවිතය මුදවා ගන්නට අවස්ථාව උදාවෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවට පැමිණි ආර්ය ශ්‍රාවකයාගේ පවා සතර මහා ධාතුන්ගෙත් සකස් වූ දෙතිස් කුණුපවලින් යුතු ශරීරය අනිත්‍ය වෙලා පොළොවට පස් වෙලා යනවා. එහෙත් හදවතේ රඳවා ගත් ශ්‍රද්ධාව වෙනස් නොවී ඊළඟ ජීවිතයේ දී ඔහුට හමුවෙනවා. එනිසයි අචල ශ්‍රද්ධාව පුද්ගලයකුට තිබෙන උතුම් ම ධනය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

යම් කෙනෙක් තමන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, පේ‍්‍රම මාත්‍රයක් ඇති කර ගතහොත් ඒ සියලු දෙනා ම සුගතියේ උපදින බව බුද්ධ දේශනාවේ සඳහන්. එනිසා ශ්‍රද්ධා ධනය උපදවා ගැනීමට ශ්‍රාවක අප බලවත් වීර්යයක් ඇති කර ගත යුතු නොවේ ද?