Print this Article


බුදුරජාණන් වහන්සේ වදාළ සිත පිරිසුදු කර ගැනීමේ මඟ

බුදුරජාණන් වහන්සේ වදාළ සිත පිරිසුදු කර ගැනීමේ මඟ

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය මිනිස් සිත පිළිබඳ ව සිදු කර ඇති ගම්භීර පර්යේෂණයක් ලෙස සැකෙවින් හැඳීන්විය හැකි ය.

උන්වහන්සේ ලොව පහළ වූ සමය විවිධ මිථ්‍යාදෘෂ්ටිවලින් ජන සමාජය වෙළී ගත් යුගයකි. එවන් සමයක මෙවන් ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කිරීම මඟින් එකල සිටි ජන සමාජයට පමණක් නොව මෙකල සමස්ත ලෝකයට ම සත්ත්වයා හා ලෝකය ගැන අර්ථවත් විග්‍රහයක් ඉදිරිපත් වී ඇත.

චිත්ත පාරිශුද්ධිය හෙවත් සිත පිරිසිදු කර ගැනීමට චින්තනය පදනම් කර ගත යුතු ය. බුදුහිමියන් දේශනා කර ඇත්තේ තම දහම නුවණැතියන් සඳහා මිස අනුවණයන් සඳහා නො වන බවයි. ඒ බව පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස යනුවෙන් දේශනා කර තිබේ. ලෞකික සුවයෙහි ඇලී ගැලී, එහි ම නිමග්න වී සිටීමට වෙර දරන සත්ත්වයා ඉන් මුදවා ගෙන ලෝකෝත්තර සුවය ළඟා කර ගැනීමට අනුගමනය කළ යුත්තේ බුදුහිමියන් දේශනා කොට වදාළ ප්‍රතිපත්ති මාර්ගය හෙවත් චිත්ත පාරිශුද්ධිය උදෙසා බුදුහිමියන් දෙසූ අනුපූර්ව ප්‍රතිපත්ති මාර්ගය යි.

කෙලෙස්වලින් අවුල් වූ මනසින් යුතු ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් කෙලෙස්වලින් ගැට ගැසුණු සත්ත්වයා සසර සැරිසරන බව අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා යනුවෙන් බුදුහිමියන් දේශනා කර තිබේ. මිනිස් සිත කෙලෙස්වලින් අවුල් කරයි. අපිරිසුදු කරයි. අප සසර පුරා යන ගමන නිමා නොකර අඛණ්ඩ ව ගමන් කරන්නේ ලෝකයත්, තමා ගැනත් ඇති අනවබෝධයෙනි. යථාභූත ඥාන දර්ශනය හෙවත් ලෝකයේ ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කර ගැනීමෙන් කෙලෙස් අවුලින් හා කෙලෙස් කහටින් සිත පිරිසුදු වෙයි.

සීල සම්පන්න ව දිවි ගෙවීමෙන් සිතත්, ප්‍රඥාවත් දියුණු වීමෙන් කෙලෙස් නමැති අවුල් නිරවුල් වූ පිරිසිදු සිතක් උපදවා ගත හැකි බව,

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු
සෝ ඉමං විජටයේ ජටං

යනුවෙන් බුදුහිමියන් දේශනා කර තිබේ. ලෝක ස්වභාවය පිළිබඳ තත්ත්වාවබෝධය ලබා ගැනීම යථාභූත ඥාන දර්ශනය පහළ වීමට හේතු වේ. බුදුදහම පටිච්චසමුප්පාදය හෙවත් හේතුඵල න්‍යාය පදනම් කර ගත් දර්ශනයකි. හේතු ඵල දහමින් විවරණය කෙරෙන්නේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වරූපය යි. මුළු ලෝකය ම සංස්කාර සමූහයකි.

ඒවායේ විද්‍යමාන වන ලක්‍ෂණ තුනක් තිබේ. එනම්,

1. ඉපදීම (උත්පාද)

2. විනාශ වීම (වය)

3. එක සේ නොපැවැතීම (ඨිතස්ස අඤ්ඤතත්තං) මේ ලක්‍ෂණ සහිත කිසිවක් ස්ථිර නැත. සදාකාලික ද නැත. ඒ නිසා අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එහි සුවයක් අපේක්‍ෂා කළ නොහැක. අනිත්‍ය වන සියලු දේ දුක් දොම්නස් ගෙන දෙයි. තමාගේ අත්, පා, ඇස, කන ආදි ඉඳුරන් ද සමස්තයක් වශයෙන් ගත් කල තම මුළු සිරුර හා තමා සතු ඕනෑ ම දෙයක් අනිත්‍ය බවට පත් වනු දැකීමට කිසිවකු කැමති නැත. කවුරුන් අකැමැති වුවත් ලොව සෑම දෙයක් ම එලෙස අනිත්‍ය තත්ත්වයට පත් වන නිසා ආත්මීය ලෙස කිසිවක් සිදු නො වේ. ඒ නිසා ලෝකය අනාත්මයි. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යනු බුදුසමයේ ඉගැන්වෙන ත්‍රිලක්‍ෂණය යි.

ඒ නිසා බුදුහිමියන් විසින් නිවන් අවබෝධ කර ගැනීමට මෙම ත්‍රිලක්‍ෂණ පිළිබඳ අවබෝධය ප්‍රමුඛ කොට දක්වා තිබේ. එහි දී සිත ප්‍රධාන වෙයි. මිනිස් සිත පිරිසුදු කිරීම සඳහා බුදුහිමියන් දෙසූ මඟ නම් මධ්‍යම ප්‍රතිපදා මාර්ගය යි. එකිනෙක පියගැට නැඟ ගොස් අවසානයේ අපේක්‍ෂිත ස්ථානයට පා තබන්නා සේ බුදුදහමේ උගන්වා ඇති මධ්‍යම ප්‍රතිපදාවත් ක්‍රමානුකූල ව නැඟී යන අයුරින් එකිනෙකට සම්බන්ධ වූ අංග ඇතුළත් අනුපූර්ව ප්‍රතිපත්ති මාර්ගයකි. මේ මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි ද කියනු ලැබේ.

කෙනකුගේ සිත පිරිසුදු කර ගැනීම සඳහා උපකාරී වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් අංග අතර එකිනෙකට දැඩි සම්බන්ධයක් පවතී. එම සම්බන්ධය ගොඩනඟන්නේ අධිශීල, අධිචිත්ත හා අධිප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන්ට අනුව ය.

අරිඅටඟි මග ත්‍රිශික්‍ෂා යටතේ සංග්‍රහ වන සැටි

* සම්මා දිට්ඨි
* සම්මා සංකප්ප - අධි ප්‍රඥා ශික්ෂාව
* සම්මා වාචා
* සම්මා කම්මන්ත - අධි ශීල ශික්ෂාව
* සම්මා ආජීව
* සම්මා වායාම
* සම්මා සති - අධි චිත්ත ශික්ෂාව
* සම්මා සමාධි

ඉහත දක්වා ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිශික්‍ෂා යටතේ බෙදෙන අයුරුයි. අධිශීල ශික්‍ෂාව එහි පදනම යි. සීලය ඉතා හොඳීන් වර්ධනය නොකළ මනසක් කිසි දිනෙක උසස් නො වේ. උසස් සිතක් බවට පත් වන්නේ සීලයෙන් වර්ධනය වූ සිතක් පමණක් බව සීල පරිභාවිතං චිත්තං මහප්ඵලං හෝති මහානිසංසං යනුවෙන් බුදුහිමියන් මහාපරිනිබ්බාන සූත්‍රයේ දේශනා කර ඇත.

කය සහ වචනය වැරැදි ක්‍රියාවලින් මුදවා ගෙන, වළකාගෙන නිවැරැදි ක්‍රියාවල යෙදවීම මඟින් සීල නම් ශික්‍ෂාව සපිරෙයි.

හොඳ වචන, හොඳ ක්‍රියා යහපත් ජීවිත පවත්වා ගැනීමට මහෝපකාරී වන ක්‍රියා වශයෙන් එකිනෙක අතර සම්බන්ධයක් පවතී. ඊට ප්‍රධාන හේතුව හැම ක්‍රියාවක් ම සිතටත් සිතේ ඇති වන සිතිවිලි ක්‍රියා උදෙසාත් බලපෑම් ඇති කරන හෙයිනි.

නරක සිත සහ එම සිතින් සිතා කරන ක්‍රියා මඟින් අකුසල් රැස් කරන බව,

මනසා චේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං

යනුවෙන් ධම්මපදයේ යමක වග්ගයේ දැක්වෙන අතර, එම නරක ක්‍රියා ඔහු පසුපස එන්නේ කරත්තය අදින ගොනා පසුපස රෝදය යන්නා මෙනැයි ද කියා තිබේ. හොඳ සිතින් සිතා කරන ක්‍රියා නිසා කුසල් රැස් කරන බවත්,

මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායාව අනපායිනී

යනුවෙන් යමක වග්ගයේ ම දක්වා ඇති අතර හොඳ ක්‍රියාවල ඵලය එම ක්‍රියා කරන තැනැත්තා අත නොහැර සිටින සෙවණැල්ල වැනි බවත් කියා තිබේ.

එසේ ම කය සහ වචනය හික්මවා ගතහොත් සිතේ පවත්නා නො සන්සුන්කම බෙහෙවින් පහ වී යන බව විනයෝ සංවරත්ථාය සංවරෝ අවිප්පටිසාරත්ථාය යනුවෙන් බුදුහිමියන් දේශනා කර තිබේ.

බාහිර ක්‍රියාවල පාලනයක් ඇති කිරීමෙන් ආභ්‍යන්තරික වශයෙන් චිත්ත ශක්තියක් වර්ධනය කර ගත හැකි ය. මේ චිත්ත ශක්තිය හැකි අයුරින් දියුණු කර ගත යුතු ය. ඒ සඳහා වෙහෙස නො බලා චිත්ත භාවනාව වැඩිය යුතු ය. සමාධි හා සමථ යන භාවනා මාර්ගවලින් සිත එකඟ කර ගත යුතු ය. සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි යන මාර්ග තුන පිළිපැදීම මඟින් අධිචිත්තය සපිරෙයි. යහපත්, නිවැරැදි උත්සාහය යෙදිය යුත්තේ අකුසල් දුරු කිරීමටත්, කුසල් රැස් කිරීමටත් ය. ඒ වායාමය හෙවත් ව්‍යායාමය නැති නම් උත්සාහය පහත දැක්වෙන අංග හතරින් යුක්ත විය යුතු ය.

නූපන් අකුසල් නො ඉපදවීම
උපන් අකුසල් දුරු කිරීම
උපන් කුසල් දියුණු කිරීම
නූපන් කුසල් ඉපිදවීම

සිතේ පවතින නීවරණ ධර්මයන් මෙසේ යටපත් කරන විට, දුරු කරන විට ධ්‍යාන ආදී චිත්ත ශක්තීන් පහළ වේ. එවිට සිතේ සැහැල්ලුව හා පිරිසිදු බව ක්‍රමානුකූල ව දියුණු වෙයි. හොඳ සිහියක් ඇතිවීමට ඉහත දැක්වූ සිව්වැදෑරුම් නිවැරැදි උත්සාහයක් තිබිය යුතු ය. අධිචිත්තයේ පළමු අවස්ථාව වූ සම්මා වායාමයත් දෙවන අවස්ථාව වූ සම්මා සතියත් අතර සබඳතාවක් පවතින බව එයින් පැහැදිලි වෙයි. සම්මා සමාධි යනු කුසල් සිතේ ඇති කර ගන්නා එකඟතාව බව ‘කුසල චිත්තේකග්ගතා සමාධි’ යන්නෙන් ද පැහැදිලි වේ.

අධිචිත්ත ශික්‍ෂාව සම්පූර්ණ වූ පසු අධි ප්‍රඥා ශික්‍ෂාව සපුරාලිය යුතු ය. එහි දී සමාධිය මඟින් යටපත් කළ සියලු කෙලෙස් මුලින් ම උපුටා දැමීමෙන් සම්පූර්ණ වශයෙන් සිත පිරිසිදු වේ. නැතහොත් චිත්ත පාරිශුද්ධියක් ඇති වේ. අවසාන වශයෙන් ඇති මේ පියවර වඩා බරපතළ මෙන් ම වැඩදායක බව පඤ්ඤා පරිිභාවිතං චිත්තං මහප්ඵලං හෝති මහානිසංසං යනුවෙන් දේශනා කර ඇත. මේ අවස්ථාව තෙක් සිත දියුණු කිරීම නිසා පිරිසිදු වීමෙන් ඒ සිත්වල ලෝකෝත්තර මාර්ග හා ඵල පහළ වෙයි. සිත පිරිසිදු වීම සඳහා දේශනා කර ඇති අවසාන කොටස වන අධිප්‍රඥා ශික්‍ෂාවට ඇතුළත් වන්නේ සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප යන අංග දෙක ය.

සත්ත්වයා තුළ මේ දක්වා පැවති වැරැදි අදහස් පහ වී සත්‍යය අවබෝධ වන්නේ ප්‍රඥාව ලැබීමෙනි. එහි පළමු අංගය සම්මා දිට්ඨිය යි. එය පස් වැදෑරුම් ය. ඉන් මග්ග සම්මා දිට්ඨි හා ඵල සම්මා දිට්ඨිය පහළ වන්නේ ලෝකෝත්තර සිත්වල පමණි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු ව සම්මා දිට්ඨිය දැක්වෙන්නේ ලෝකෝත්තර මාර්ගයේ පළමු පියවර නිසාත්, තිදොරින් සිදු කෙරෙන ක්‍රියා නිතර ම යහපත් වන්නේ සම්මා දිට්ඨිය ඇතිවීමට පමණක් නිසාත් ය. සම්මා සංකල්ප පහළ වන්නේ සම්මා දිට්ඨියක් ඇති විට පමණි. මේ අංග දෙක සම්පූර්ණ වීමේ දී සියලු කෙලෙස් ප්‍රහීන වී අවසන් ය. සිත පිරිසුදු කර ගැනීමේ මඟ බුදුහිමියන් දේශනා කර ඇත්තේ එලෙසිනි.