Print this Article


අවබෝධයෙන් හඳුනාගත යුතු නිවනෙහි ස්වභාවය

අවබෝධයෙන් හඳුනාගත යුතු නිවනෙහි ස්වභාවය

නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ

පුද්ගලයකුගේ සිත තුළ ඇති වන රාග, ද්වේශ, මෝහ යන අකුසලයන්ගෙන් එම පුද්ගලයා සසර පුරාවට දවන, තවන බැවින් , රාග ද්වේශ මෝහයන්ගේ නිවීයාම “නිබ්බාන” හෙවත් නිවනයි.

නිවීයාමෙහි ආරම්භය සෝතාපන්න ඵලයයි. නමුත් එය රාග, ද්වේශ, මෝහ මුළුමනින් නිවීයාමක් නොවේ. අනුපිළිවෙළින් සකදාගාමී, අනාගාමී හා අරහත් යන ඵලයන්ට පත්වීමෙන් නිවීයාම සම්පූර්ණ වේ. සෝතාපන්න ශ්‍රාවකයා කිසිම අයුරකින් දුගතියට නොයන අතර, ආත්මභව අටකට පෙර අර්හත්වයට පත්වේ. (නතේ භවං අට්ඨමං ආදියන්ති - රතනසුත්ත)

සකදාගාමී පුද්ගලයාගේ රාග, ද්වේශ, මෝහ තනුක වී (ටිකක් අඩුවී) ඇති අතර එක් වරක් මිනිස් ලොව උපත ලබා දුක අවසන් කරයි. අනාගාමී ශ්‍රාවකයා මරණින් පසු සුද්ධාවාස බඹලොව උපත ලබා එහි දී ම අර්හත්වයට පත් වී සසර නිම කරයි. තෙල් හා වැටි අවසන් වීමෙන් පහනක් නිවී යන්නා සේ ම අනුපිළිවෙළින් කෙලෙස් (සිතෙහි ඇති කිලිටි) දුරුවීමෙන් සම්පූර්ණ නිවී යාම සිදුවන බව මෙයින් පැහැදිලි වේ.

සෝතාපන්න, සකදාගාමී හා අනාගාමී ශ්‍රාවකයන්ගේ තවදුරටත් කෙලෙස් ඉතිරි ව තිබුණත් නිවීයාම ආරම්භ වී ඇති බව සඳහන් කළ හැකියි. එසේම නිවී යාම ආරම්භ වූ පසු නැවත කිසි ලෙසකින්වත් ආපසු නොහැරෙන අතර, ටිකෙන් ටික නිවීයාම සම්පූර්ණ වන බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වේ.

මේ අයුරින් නිවනෙහි ස්වභාවයන් දෙකක් ඇති බව පැහැදිලි වේ. එනම් අනුපිළිවෙළින් ටිකින් ටික නිවීයාම හා සම්පූර්ණ වශයෙන් නිවීයාම වශයෙනි. ඛුද්දක නිකායට අයත් “නිබ්බානධාතු” සූත්‍රයෙහි මේ පිළිබඳ ව සඳහන් වේ. එසේ වුවත් නිබ්බානධාතු සූත්‍රයෙහි සඳහන් වන නිවනෙහි ස්වභාවයන් (නිබ්බාන ධාතු) දෙක ම රහතන් වහන්සේගේ නිවනෙහි අවස්ථා දෙකක් ලෙස විස්තර වේ. එම සූත්‍ර දේශනාවෙහි සඳහන් වන්නේ “සලඋපාදිසේස” නිබ්බාන ධාතු හා “අනුපාදිසේස” නිබ්බාන ධාතු වශයෙන් නිවනෙහි ස්වභාවයන් දෙකක් ඇති බවයි.

මෙහිදී සඋපාදිසේස නිබ්බාන ධාතුව ලෙස විස්තර වන්නේ සියලු ආස්‍රව ක්ෂය කළ රහතන් වහන්සේට ඇස, කන, නාසය, දිව, කය යන පංච ඉන්ද්‍රියයන් විනාශ නොවී ඇති බැවින් (අවිඝාතත්තා) මනාප අමනාප අරමුණු ලබන බවත්, සැප දුක් විඳින බවත් ය. එසේම රාග, ද්වේශ, මෝහ ක්ෂය වී ඇති බව විස්තර වේ.

අනුපාදිසේස නිබ්බාන ධාතුව විස්තර වන්නේ සියලු ආස්‍රව ක්ෂය කළ රහතන් වහන්සේ මෙහි දී ම සියලු වේදනාවන් පිළිනොගෙන සිසිල් වී යාම (ඉධෙව සබ්බවේදයිතානි අනභිනන්දිතානි සිති භවිස්සන්ති) අනුපාදිසේස නිබ්බාන ධාතුව වශයෙනි. එනම් මෙයින් පැහැදිලි වන්නේ රහතන් වහන්සේගේ මරණය හෙවත් පරිනිර්වාණය මේ අයුරින් විස්තර වන බවයි. එමෙන් ම පසු කලෙක දී මෙම සඋපාදිසේස නිබ්බාන ධාතුව ක්ලේස පරිනිර්වාණය ලෙසත්, අනුපාදිසේස නිබ්බාන ධාතුව ස්කන්ධ පරිනිර්වාණය ලෙසත් හඳුන්වා දී ඇත. එසේ වුවත් එවැනි හඳුන්වා දීමක් සූත්‍ර පිටකයේ හෝ ඛුද්දක නිකාය අටුවාවෙහි ද නැත.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව බලන විට මෙම විස්තර කර දීමෙහි කිසිදු වරදක් ඇති බව නොපෙනේ. එසේ වුවත් “සඋපාදිසේස” යන වචනය අනෙකුත් සූත්‍ර දේශනාවල යෙදී ඇති ආකාරය විමසා බලන විට ගැටලුවක් ඇති වේ. “සතිපට්ඨාන” සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන පාඨයක් නම් සතිවා උපාදිසේසේ අනාගාමිතා” (උපාදිසේස නම් අනාගාමී වේ) යන්නයි. මෙසේ විස්තර වන්නේ කුමක්ද? යමෙක් ආස්‍රව ක්ෂය කිරීම පිණිස ප්‍රතිපදාවෙහි යෙදෙන විට උපදිසේස වූයේ නම් (මුළුමණින් කෙලෙස් ප්‍රහාණය නොවූයේ නම්) ඔහු අර්හත්වයට පත් නොවී අනාගාමී වන බවයි. මෙයින් පැහැදිලි වන්නේ උපදිසේස වීම කෙසේවත් අර්හත්වය නොවන බවයි. එනම් ඉතිරි මාර්ගඵලයන්ගෙන් එකක් විය යුතු වේ.

මෙම සඋපාදිසේස නිබ්බානය හා අනුපාදිසේස නිබ්බානය පිළිබඳ ව ඉතා වැදගත් විස්තරයක් “තිස්ස බ්‍රහ්ම” සූත්‍රයෙහි (අං.නි. 4) සඳහන් වේ.

භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතෙහි වැඩ සිටින අවස්ථාවක රාත්‍රී කාලයෙහි පැමිණි දෙවිවරුන් දෙදෙනකු අතරින් එක් දේවතාවකු, එක්තරා භික්ෂුණීන් වහන්සේ පිරිසක් පිළිබඳ ව මෙසේ ප්‍රකාශ කරයි. භාග්‍යවතුන් වහන්ස, එම භික්ෂුණියෝ කෙලෙසුන්ගෙන් මිදුනාහ. අනෙක් දේවතාවා ප්‍රකාශ කරන්නේ, භාග්‍යවතුන් වහන්ස, එම භික්ෂුණියෝ උපාදාන රහිත ව මිදුනාහ.

පසුදින බුදුරජාණන් වහන්සේ එම කාරණය භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළ විට, එය අසා සිටි මුගලන් මහරහතන් වහන්සේට මෙවැනි අදහසක් ඇතිවිය. එනම් දෙවියන් අතරින් කුමන දෙවි කෙනකුට සඋපාදිසේස බව හෝ අනුපාදිසේස බව පිළිබඳ ඤාණය තිබේද? යන්නයි.

ටික කලකට පෙර අපවත් වූ “තිස්ස” නම් භික්ෂුවක් මහා ඍද්ධි ඇති මහානුභාව ඇති බ්‍රහ්මයකු ලෙස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදී ඇත. මුගලන් මහරහතන් වහන්සේ එම බ්‍රහ්මයා වෙත පැමිණ මේ කාරණය විමසයි.

තිස්ස බ්‍රහ්මයා (දෙවියන්) පිළිතුරු දෙන්නේ බඹලොව වෙසෙන බ්‍රහ්මයන් අතරින් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් හා අධිපති භාවයෙන් සතුටු වන, එසේ ම මතු නිදහස් වීමක් (නිස්සරණ - නිවනක්) පිළිබඳ ව නො දන්නා අයට සඋපාදිසේස බව හෝ අනුපාදිසේස බව පිළිබඳ ව දැන ගත හැකි ඤාණයක් නැති බවයි. එසේම බ්‍රහ්මයන් අතරින් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් හා අධිපති භාවයෙන් තෘප්තිමත් නොවන මතු නිදහස් වීමක් (නිවනක්) පිළිබඳ ව දන්නා (මාර්ග ඵලලාභී) බ්‍රහ්මයන් හට සඋපාදිසේස බව හෝ අනුපාදිසේස බව පිළිබඳ දැන ගත හැකි ඤාණය ඇති බවයි. එසේම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ යම් භික්ෂුවක් උභතෝභාගවිමුක්ත (අෂ්ට සමාපත්ති සහිතව) හෝ පඤ්ඤාවිමුක්ත වශයෙන් අර්හත්වයට පත්වී ඇති නම්, ඒ භික්ෂුවගේ කය තිබෙන තාක් දෙවි මිනිසුන්හට දැකගත හැකි බවත්, කය බිඳී මරණයෙන් පසු දෙවි මිනිසුන් හට දැකගත නොහැකි බවත් ඒ අනුව සඋපාදිසේස බව හෝ අනුපාදිසේස බව පිළිබඳ ව දැන ගත හැකි ඤාණයක් ඇති බවයි.

එසේ ම කායසක්ඛී, දිට්ඨප්පත්ත, සද්ධාවිමුත්ත යන යම් මාර්ගඵලයකට පත් භික්ෂුවක් වෙයි නම්, එම භික්ෂුව තවදුරටත් නිවන් මඟ පුහුණු කරමින් (ආර්ය අෂ්ටාංගික මාර්ගය) අර්හත්වය කරා යන බවත්, ඒ අනුව සඋපාදිසේස බව හෝ අනුපාදිසේස බව පිළිබඳ ව දැන ගත හැකි ඤාණය ඇති බවයි.

සම්පූර්ණ සූත්‍ර දේශනාව ම ඉතා හොඳින් විමසා බැලීමේ දී පෙනී යන්නේ, බුදුරජාණන් වහන්සේ හමුවෙහි භික්ෂුණීන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව ප්‍රකාශ කළ දෙවියන් අතරින් “අනුපාදිසේසා සුවිමුත්තාති” වශයෙන් සඳහන් කරන ලද්දේ පිරිනිවන් පෑමක් නොව අර්හත්වයට පත් වූ බවයි. එසේම තිස්ස බ්‍රහ්මයා මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ අයුරින් අර්හත්වයට පත් වූ භික්ෂූන් මෙන්ම අනෙකුත් මාර්ග ඵලයන්ට පත් වූ භික්ෂූන් පිළිබඳ ව ද සඋපාදිසේස වශයෙන් හෝ අනුපාදිසේස වශයෙන් දැනගත හැකි ඤාණයක් මාර්ගඵලලාභී දෙවියන්ට ඇත. මෙයින් පැහැදිලි වන්නේ රහතන් වහන්සේ අනුපාදිසේස (උපධි සේස නැති)නිවන ලබා ඇති බවත්, අනෙකුත් මාර්ගඵලලාභී උතුමන් සඋපාදිසේස (උපධිසේස ව ඇති) නිවන ලබා ඇති බවත් ය. නමුත් “නිබ්බාන ධාතු” සූත්‍රයෙහි මෙම අනුපාදිසේස හා සඋපාදිසේස යන දෙක ම රහතන් වහන්සේ උදෙසා විස්තර වේ.

“සෝපාදිසේස” සූත්‍රයෙහි ද (අං.නි.5) මෙම කරුණ ඉතා පැහැදිලි ලෙස විස්තර වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝපාදිසේස ව (උපධිසහිත ව) කලුරිය කරන පුද්ගලයන් නව දෙනකු දුගතියට නොයන බවයි. මෙහිදී අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, උද්ධංකේත අකනිට්ඨගාමී වශයෙන් අනාගාමී ඵලයට පත් පස් දෙනක් ද, සකදාගාමී ඵලයට පත් කෙනා ද, ඒකබීජී, කෝලංකෝල, සත්තුක්ඛත්තපරමෝ වශයෙන් සෝතාපන් තිදෙනෙක් ද නිරය ආදී දුගතියට නො යන බව දැක්වේ. මෙම සියලු ම දෙනා සඋපාදිසේස නිවනට පැමිණ ඇති බව සඳහන් වේ. මෙයින් ද පැහැදිලි වන්නේ අර්හත්වයට පත් නොවූ මාර්ගඵලලාභී උතුමන් වහන්සේ සඋපාදිසේස නිබ්බාන ධාතුව අවබෝධ කොට ඇති බවයි.

‘උපධි’ යනු වත්කම් ලෙස හැඳින්විය හැකිය. වත්කම් යනු තමා උපදවාගත් දෙයයි. එයට හිමිකරුවකු ඇත. හිමිකරුවා වන අයකු නොව ‘මම’ යි. උපධි යම් තැනක ද ඒ සෑම තැනක ම ‘මම’ ඇත. ද්වයතානුපස්සනා සූත්‍රයෙහි (සුත්ත නිපාතය) උපධි දුකට මුල බව පෙන්වා දෙන්නේ “යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපධි පච්චයා” (යම් කිසි දුකක් හට ගන්නේ නම් ඒ සියල්ල උපධි ප්‍රත්‍යයෙහි) වශයෙනි. මේ අයුරින් බොහෝ සූත්‍ර දේශනාවල උපධි යනු දුක බව දේශනා කොට ඇත. එබැවින් උපධි සේසව ඇත යන්නෙහි තේරුම දුක සේස වී ඇත (ඉතිරි වී ඇත) යන්නයි. දේශනාවන්ට අනුව සත්‍යය මෙය නම් සඋපාදිසේස (ස + උපධි+ සේස) බව කෙසේ නම් සියලු දුක් ඉක්මවා ගිය රහතන් වහන්සේ පිළිබඳ ව කෙසේ ගළපන්නද?

ඉහත කරුණුවලට අනුව අපගේ පුද්ගලික අදහස නම් ඛුද්දක නිකායට අයත් නිබ්බාන ධාතු සූත්‍රයෙහි සඋපාදිසේස නිබ්බාන ධාතුව විස්තර කිරීමේ දී “නහේව අරහං හෝති ඛීණාසවෝ” (ආස්‍රව ක්ෂය කොට අර්හත්වයට පත් වී නැත) යනුවෙන් සංස්කරණය විය යුතු බවයි.

එසේ වුවත් අටුවාව ද දැනට නිබ්බාන ධාතු සූත්‍රයේ ඇති අයුරින් ම අටුවා සපයා ඇති බැවින් එවැනි සංස්කරණයකට කිසිවකු ඉදිරිපත් නොවේ. ඒ සඳහා අවසරයක් අපට ද නැත. නමුත් ඉහත “තිස්ස බ්‍රහ්ම” “සෝපාදිසේස” “සතිපට්ඨාන” ආදී සූත්‍ර දේශනාවල සඳහන් කරුණු අනුව එහි යම් ගැටලුවක් ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ. සූත්‍රයෙහි යම් වෙනසක් සිදු වී ඇති නම් එය අටුවා කාලයටත් පෙර ම සිදුවී ඇති බව නිගමනය කළ හැකි ය.

එසේම සඋපාදිසේස නිබ්බාන ධාතුව යනු රහතන් වහන්සේගේ රාග, ද්වේශ, මෝහ ක්ෂය වීම බවත් අනුපාදිසේස නිබ්බාන ධාතුව යනු රහතන් වහන්සේගේ මෙලොවදීම සියලු වේදනා සිසිල් වීම (ඉධේව සබ්බ වේදයිතානි සිති භවිස්සන්ති) බවත්, ඇතැම් අයගේ අදහස වේ. එසේ වුවත් “ධාතු විභංග“ සූත්‍රය (ම.නි.3) ආදී සූත්‍ර දේශනා හොඳින් විමසා බලන විට පෙනී යන්නේ ආස්‍රව ක්ෂය වීම ඉදිරිපත් කිරීම සඳහා පරියාය වශයෙන් මෙම ක්‍රම දෙක දේශනා කොට ඇති බවයි.

නිවනෙහි ස්වභාවයන් දෙකක් ඇති බව පෙන්වා දීම පිණිස එම කරුණු ඉදිරිපත් කර ඇති බව කිසිසේත් පිළිගත නො හැක. දැනට ඇති නිබ්බාන ධාතු සූත්‍රයට අනුව ම අර්ථ දැක්වීමට යාමෙන් මෙවැනි බොහෝ අදහස් ඉදිරිපත් කළ හැකි වුවත්, ඒවා සමස්ත බුද්ධ දේශනාවට ගැළපෙන්නේ දැයි නැවත නැවත විමසා බැලිය යුතු ය.

නිබ්බාන ධාතු සූත්‍ර දේශනාවෙහි අවසානයට සඳහන් වන ගාථාවල ඇති “සම්පරායික” යන යෙදුම ද ගැටලුවක් ලෙස බොහෝ දෙනකුගේ අදහසයි. බොහෝ විට දිට්ඨ ධම්මික, සම්පරායික යන වචන එක්ව යෙදෙන අවස්ථාවල දී මෙලොව හා පරලොව වශයෙන් අර්ථ දක්වනු ලැබේ. නමුත් “සම්පරායික” යන වචනයෙහි පසුවට (පසුකලෙක) යන අර්ථයක් ද ඇත. අප්පමාද සූත්‍රයෙහි (අං.නි.2) මෙසේ සඳහන් වේ.

යමෙක් කාය දුෂ්චරිතය ප්‍රහාණය කොට කාය සුචරිතය දියුණු කොට ඇත් ද වචී දුෂ්චරිතය ප්‍රහාණය කොට වචී සුචරිතය දියුණු කොට ඇති ද? මනෝ දුෂ්චරිතය ප්‍රහාණය කොට මනෝ සුචරිතය දියුණු කොට ඇති ද? මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය කොට සම්මාදිට්ඨිය දියුණු කොට ඇති ද? ඔහු “සම්පරායික” මරණයට බිය නොවේ. (න භායති සම්පරායිකස්ස මරණස්සාති)

මේ අනුව පරලොව දී මරණයට බිය නොවේ යනුවෙන් යෙදිය නොහැක. පසුකලෙක මරණයට ද බිය නොවේ යන්න ඉතා පැහැදිලි අර්ථයක් වේ. අප ඉදිරිපත් කරන මෙම අදහස අනුව නිබ්බාන ධාතු සූත්‍රයෙහි ගාථා මෙසේ පැහැදිලි කළ හැකි ය.

ඒකාහි ධාතු ඉධ දිට්ඨධම්මිකා
සඋපාදිසේසා භවනෙත්තිසංඛයා

එක් ස්වභාවයක් වනාහි භවයට නැවීමක් ඇතැයි කියන උපදිසේස වූ මෙහිදී ලබන නිවනයි.

අනුපාදිසේසා පන සම්පරායිකා
යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසෝ

යම් අයුරකින් පසුව ලබන සියලු භව නිරුද්ධ වූ උපධිසේස නොවූ නිවන (අනෙකයි)

මේ අයුරින් “සම්පරායික” යන්න පසුවට (පසුකලෙක) වශයෙන් ගෙන ගාථාවන් අර්ථ දැක්වීමෙන් ඉහත සඋපාදිසේස නිබ්බාන ධාතුව හා අනුපාදිසේස නිබ්බාන ධාතුව, අප ඉහතින් දැක් වූ අදහසට අනුව වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි ය. එමෙන් ම “සඋපාදිසේසා භවනෙත්තිසංඛයා” යන යෙදුම ද විශේෂ යෙදුමකි.” නෙත්ති යනු නැඹුරු වීමයි. එනම් සඋපාදිසේස නිවන භවයට නැඹුරුවක් ඇති නිවනකි. රහතන් වහන්සේගේ සියලු භව නිරුද්ධ වී ඇත. ඒ බව ඊළඟ ගාථාවෙහි “යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසෝ” යනුවෙන් පැහැදිලි ලෙස විස්තර වේ. මේ සියලුම කරුණුවලට අනුව සඋපාදිසේස නිබ්බාන ධාතුව යනු සෝතාපන්න, සකදාගාමී හා අනාගාමී උතුවන් ලබා ඇති නිවනයි.

අනුපාදිසේස නිබ්බාන ධාතුව යනු රහතන් වහන්සේ අත්විඳින නිවන බව ඉතා හොඳින් පැහැදිලි වේ.

මෙකල ව්‍යවහාර වන ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය යන ව්‍යවහාරය ද විමසා බැලිය යුතු ය. නිබ්බාන හා පරිනිබ්බාන යනු එකක් නොවන බව සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. පරිනිබ්බාන ලෙස දේශනාවල සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ හා රහතන් වහන්සේගේ අවසාන මොහොත (මරණය) පිළිබඳව යි. නිබ්බාන ධාතු සූත්‍රයෙහි සඳහන් වන්නේ එවැනි පිරිනිවන් පෑමක් (මරණයක්) නොවන බව ඉතා හොඳින් පැහැදිලි වේ. එබැවින් නිවනෙහි ස්වභාවයන් දෙකක් ඉහත අයුරින් පරිනිබ්බානය සමඟ ගළපා ව්‍යවහාරයට පැමිණීම පසු කලෙක සිදු වූ විකෘතියක් ලෙස සඳහන් කළ හැකි ය.