Print this Article


ජර්මනියේ ප්‍රධාන සංඝ නායක රත්මලේ පුඤ්ඤරතන නාහිමි

ජර්මනියේ ප්‍රධාන සංඝ නායක රත්මලේ පුඤ්ඤරතන නාහිමි

බෞද්ධ ධර්ම දූත සේවය වනාහි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේ ජීවමාන අවධියෙහිම ආරම්භ වූවකි. නූතන බෞද්ධ දේශනාකරණයෙහි නිරත භික්ෂූන් වහන්සේ අතර ජර්මනියේ ප්‍රධාන සංඝ නායක රත්මලේ පුඤ්ඤරතන නාහිමියන්ට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි.

ජනවාරි මස 26 වැනි දිනට උන්වහන්සේගේ 61වන ජන්ම දිනය යෙදී ඇත.

ජනවාරි 29 වැනි දින ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික ප්‍රාදේශීය සංඝසභා එකමුතුව මඟින් 138 වැනි ආදි කර්තෘ අනුස්මරණ මහෝත්සවයේ දී උන් වහන්සේ ගෞරව නාමයකින් ද පිදුම් ලබනු ඇත. අභිමානනීය යතිවර පරපුරක හිමිකම්ලත් උන්වහන්සේ විජේසිංහ මුදියන්සේලාගේ මුදියන්සේ රණසිංහ හා රණසිංහ ආරච්චිලාගේ කරුණාවතී යන දම්පතීන්ට දාව 1964 ජනවාරි මස 26 වැනි දින ජන්මලාභය ලද රත්මලේ පුඤ්ඤරතන නාහිමියන්ට අනෙකුත් බොහෝ භික්ෂූන් වහන්සේට සේ ම සුන්දර පිටිසර ගැමි දිවියක ආභාසය උපතින් ම හිමි විය.

පූජ්‍ය රත්මලේ ශ්‍රී ගුණරතන, පල්ලවදම්පිටියේ චන්ද්‍රජෝති හා රත්මලේ සෝමරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1979 මැයි මස 10 වැනි දින පැවිදි බිමට පත්වූහ.

එවක් පටන් උන්වහන්සේ තම ගුරුවරුන් සෙවණේ ලද අවවාද අනුශාසනා හා පිරිවෙන් අධ්‍යාපනය තුළින් ලත් දැනුම හා ශික්ෂණයෙන් සිය පැවිදි දිවිය හැඩගස්වා ගත් අතර, වර්ෂ 1990 ජුනි මස 23 වැනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. එතැන් සිට යහපත් ආකල්පයන්ගෙන් හා ගුණවත් ප්‍රතිපත්තියෙන් කටයුතු කළ උන්වහන්සේට දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන්පති ව සිට අපවත් වී වදාළ රඹුක්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසාර නාහිමි හා හිඟුරක්ගොඩ ජයමඟ මහ පිරිවෙන්පති ව සිට අපවත් වී වදාළ කුඹුක්කඩවල ශ්‍රී ධීරානන්ද නාහිමි යන මහා යතිවරුන්ගේ ඇසුර ද පරමාදර්ශී විය.

වාරණ මංගලගිරි පිරිවෙනෙන් හා දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයත් මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හදාරා 1984 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1990 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධියත්, 1993 වසරේ දී ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත් අතර වසර 2014 දී අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ග්ලෝබල් සරසවියෙන් ආචාර්ය උපාධියත් හිමි කර ගැනීමට සමත් වූහ.

අනතුරුව උන්වහන්සේ හිඟුරක්ගොඩ ජයමඟ පිරිවෙන හා දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙන්හි පරිවේණාචාර්යවරයකු ලෙස ද සේවය කළහ. උන්වහන්සේට තම ධර්ම ශාස්ත්‍රීය සේවය තව දුරටත් පුළුල් කර ගනිමින් ජාත්‍යන්තර ධර්ම දූත සේවයේ යෙදෙමින් ලෝකාර්ථ චර්යාවෙහි නිරත වන්නට අවකාශය උදාවන්නේ මේ අතරතුර දී ය. එනම්, උන්වහන්සේගේ කල්‍යාණ මිත්‍ර පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ මඟ පෙන්වීමෙන් ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කරවීම සඳහා ශ්‍රී ලංකා ජර්මන් ධර්ම දූත සංගමයෙන් ලද ආරාධනාවත් සමඟිනි. 1999 වසරේ දී ජර්මනියේ භාෂාව අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යාපනායතනය වන Goethe Institute ආයතනයෙන් ජර්මන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත. ඒ කාලපරිච්ඡේදයේ දී ඓතිහාසික බර්ලින් විහාරයේ විහාරාධිපති ධුරයට පත් වූ පුඤ්ඤරතන නාහිමියෝ ජර්මන් ධර්ම දූත සංගමයේ සහයෝගය ඇති ව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව ඇතුළු විදේශීය බෞද්ධ ජනයාටත් ස්වදේශීය ජ්ර්මන් ජාතිකයන්ටත් නිර්මල බුදුදහමෙහි අගය හා ඉන් සැනසීමේ මාර්ගය පහදමින් ධර්ම චාරිකාවෙහි නිරත වූහ.

බර්ලින්හි පාඨශාලා, ආරෝග්‍යශාලා හා සිරකරුවන් ද ඇතුළු ව බොහෝ සාමාන්‍ය ජන සමාජයටම බුදුදහම හා භාවනාවේ අගය පහදා දුන් අතර, 2002 වසරේ දී බර්ලින් ප්‍රාන්තයේ රජයේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන් අතරට බුද්ධ ධර්මය ද විෂයයක් ලෙස ඇතුළත් කර ගැනීමට උන්වහන්සේ සමත් වූහ.

2005 වර්ෂයේ දී බර්ලිනයේ සිට ෆ්රැන්ක්ෆර්ටි (Frankfurt) වෙත වැඩම කරන පුඤ්ඤරතන නා හිමියන් එහි පිහිටි බුද්ධ ප්‍රඥා (Pagode phat Hue) විහාරයේ වැඩ වෙසෙමින් එම නගරය ආශි‍්‍රත ව වෙසෙන ශ්‍රී ලාංකික, තායි, වියට්නාම් මෙන් ම බොහෝ ජර්මන් ජාතිකයන්ගේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නා බවට පත් වූහ.

තවද ආර්ථික පීඩාවන්ගෙන් මිරිකී සිටින සුවහසක් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශක්තියක් වෙමින් වසර 2004 දී කරුණා සමාධි සංවිධානය ආරම්භ කළහ. එම සංවිධානය අද වන විට ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් විශාල සමාජ සුබසාධන සේවාවන් රැසක් සිදු කරනු ලබයි. ඒ අතර ශිෂ්‍යාධාර පිරිනැමීම, පෙර පාසල් අධ්‍යාපන සේවාව සැපයීම, නිවාස ආධාර ලබා දීම, වෛද්‍යාධාර සැපයීම, ස්වයං රැකියා සඳහා උපකාර වීම, වෘත්තීය පුහුණු පාඨමාලා ලබාදීම ආදී සේවා දැකිය හැකි ය. එසේම උගත් බුද්ධිමත් භික්ෂු පරපුරක් උදෙසා සාමණේර කැපකරු දායක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ද පිරිවෙන් සංවර්ධනය සඳහා ආධාර ලබා දීමද සිදු කරනු ලබයි.

මෙලෙස ධර්ම දූත සේවයට අමතර ව සමාජ සේවයට ද කැප වූ පුඤ්ඤරතන නාහිමියන්ගේ ශාසනික මෙහෙවරෙහි තවත් වැදගත් අවස්ථාවක් වන්නේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කිරීමයි. උතුරු ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නගරාශි‍්‍රත රමණීය පරිසරයක පිහිටි ශ්නේෆඩින්ගන්හි (Schneverdingen) 2014දී ආරම්භ කෙරෙනු එහි අරමුණ වූයේ ද හැම්බර්ග් (Hamburg) බ්‍රේමන් (Breman) හා හැනෝවා (Hannover) වැනි නගර ආශි‍්‍රත ව වෙසෙන බෞද්ධ පින්වතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටු කර දීමයි.

තවද උන්වහන්සේ ථේරවාදී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් බුදුදහම දේශාටනකරණය කරමින් බුරුමය, වියට්නාමය, තායිවානය, ඉන්දියාව, මැලේසියාව හා සිංග්ප්පූරුව වැනි රටවල මෙන් ම චෙකොස්ලෝවැකියාව, අයර්ලන්තය හා මහා බ්‍රිතාන්‍ය වැනි රටවල පැවැති ජාත්‍යන්තර සමුළු රාශියක් නියෝජනය කරමින් ථේරවාදී බෞද්ධ දර්ශනය ලෝකය වෙත ගෙනයාමට ද දායක වී තිබේ. මෙයට අමතර ව ඔස්ට්‍රියාව, ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා ඉතාලිය ආදී රටවල ද ධර්ම දූතයන් වහන්සේ නමක ලෙස ක්‍රියා කරමින් ලෝකාර්ථචර්යාවෙහි නියැළී සිටින රත්මලේ පුඤ්ඤරතන නාහිමියෝ වර්තමානය වන විට ජර්මනිය තුළ සුපතළ භාවනා උපදේශකවරයකු ලෙස ක්‍රියා කරති.

විශේෂයෙන් Frankfurt නගරයේ පිහිටි බුද්ධ ප්‍රඥා විහාරය හා දකුණු ජර්මනියේ Siedelsbrunn නගරයේ පිහිටි බුදුමඟ විහාරය මෙන් ම Hum burg ශ්‍රී ලංකා මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන බෞද්ධ භාවනා වැඩසටහන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ ය.

එසේම 2005 වර්ෂයේ සිට ජර්මනියේ මයින්ස නුවර ජොහානස් ගුටන්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන පුඤ්ඤරතන නාහිමියෝ ඒ හරහා ජර්මන් ජාතික සිසුන්ට බෞද්ධ දර්ශනය පමණක් නොව, සිංහල භාෂාව හා පාලි භාෂාව පිළිබඳව ද යම් අවබෝධයක් ලබා දීමට කටයුතු කරති. ඒ සඳහා 2007 වසරේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ආයතනය ද ආරම්භ කළ නාහිමියෝ එහි ආයතනාධිපති වශයෙන් කටයුතු කරමින් ජර්මන් ජාතික සිසුන් හා මහායානික ආදී විදේශීය භික්ෂූන් වහන්සේ ද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සඳහා යොමු කරවති.

ශ්‍රී ධීරානන්ද ප්‍රභා, රස බණ කතා, සිත නිවන බණ කතා, විතාරන්දෙණියෙන් එක්සත් රාජධානියට, සම්මා වාචා, ධම්ම නදී, ධර්ම දූත ආදී වශයෙන් උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළහ.

ඒ වගේ ම උණගලාවේ උපරතන හිමි, කිරම චන්දරතන හිමි, මහදමනේ ජනානන්ද හිමි, මහදමනේ අස්සජී හිමි, පුංචිවැව සිරිනන්ද හිමි, ගාලේකොලුවේ විජිතවංශ හිමි හා මැදගම්පිටියේ සුමංගල හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ප්‍රධාන විශාල සිසු පිරිසක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස සම්බුද්ධ ශාසනයට දායාද කර ඇත.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කැපවී ඇති රත්මලේ පුඤ්ඤරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙස් විදේස් ධර්ම දූත මෙහෙවර තවත් බොහෝ කාලයක් ඉටු කිරීමට නිදුක් නිරෝගීභාවය හා දීර්ඝායුෂ ලැබේවා!